වයසත් සමඟ මහලු නොවූ සොඳුරු කැදැල්ලක කඳුළු කතාවක්

  👤  2853 readers have read this article !
By mawbima 2018-03-21

සුන්දර මාදු නදියේ සිසිල් සුළං දැවටෙන මිටියාවතේ යෝධ රුක්අත්තන ගසක මුල තහඩු සෙවිලි කළ කුඩා නිවෙසකි.

කුඩා නිවෙසේ ආදරයෙන් පිරි මහලු යුවළක් දුක් වේදනා දහසක් මැද සිය පණ නල ගැට ගසා ගන්නට දැඩි වෑයමක් ගන්නා පුවතක් අපට දැන ගන්නට ලැබිණි.
මේ අදරණීය යුවළ සොයා ඔවුන්ගේ කැදැල්ල පිහිටි බළපිටිය - පාතමුල්ල ප්‍රදේශයට අපි ගියෙමු.

ලෑලි කැබැලි දෙක තුනකින් අටවා ගත් ‍ෙදාර අසල ඉතා ඕනෑකමින් බලා සිටි අසරණ පියාගේ මුහුණ දුටු ඕනෑම අයකුගේ හදවත් සංවේදී කිරීමට සමත් විය.
මුනන්ගල ආරච්චිගේ ධර්මසේන (76) පියා සිය දුක් වේදනා වචනවලට මුසු කළේ මෙසේය.

'මම මහත්තයෝ දෙලොවක් අතර තනිවෙලා ඉන්නේ. මගේ නෝනට මම හරි ආදරෙයි. එයාට තනියම කිසිම වැඩක් කරගන්න බැහැ.

ඒක නිසා එයා දාලා මට කොහෙවත් යන්න බැහැ. අපට දරවෝ කවුරුවත් නැහැ. කවුරු හරි දෙන දේකින් සහ වැඩිහිටි දීමනාවෙන් තමයි ජීවත් වෙන්නේ.

බෙහෙත්වලට හා සායනවලට යන ත්‍රිරෝද රථවලටත් ඒ මුදල ප්‍රමාණවක් නෑ'

එක දිගටම සිය වේදනාව පිට කරද්දී හතිය රෝගයෙන් පෙළෙන එතුමාට අපහසු බව වටහා ගත් මම තාත්තේ අපි වාඩිවෙලා සෙමින් කතා කරමු යැයි යෝජනා කළෙමි.

රෙදි බෑගයක් හා පොත් මිටියක් අතට ගත් ඔහු පැවැසුවේ මෙවැන්නකි. 'මම මහත්තයෝ ඉස්පිරිතාලේ නවතින්න යන්න තමයි මේ බඩු ලෑස්ති කරලා තියෙන්නේ. ඒත් මට මගේ බිරිය දාලා යන්න වාවන්නේ නැහැ.

අපි දෙන්නා මැරෙනවා නම් එක ළඟ මැරෙන්න ඕනේ. මම මැරුණොත් එයා බලා ගන්න කෙනෙක් නැහැ. එයා මැරුණොත් මම වැඩිකල් ජීවත් වෙන්නේ නෑ' යනුවෙන් පවසමින් ඔහු හඬන්නට විය.

සිය සැමියාගේ වදන් පෙළ හමුවේ සන්දා මරක්කල ලීලාවතී (79) බිරිය හඬා වැටෙන්නට වූවාය. ඇයගේ නෙතින් හැලෙන කඳුළු අත වූ රෙදි කැබැල්ලෙන් පිසදමමින් අපහසුවෙන් අපට මෙසේ කීවාය.

1990 මාර්තු 08 වැනිදා අපි විවාහ වුණා. එදා ඉඳලා බෙහොම සමඟියෙන් සතුටින් ජීවත් වුණා.

මගේ මහත්තයා පෙදරේරු රස්සාව කළේ. එයා මහන්සි වෙලා වැඩ කළා. අදත් මගේ හැම දෙයක්ම කරන්නේ එයා. මේ බැඳීම සංසාරගත බැඳීමක්. එයා මට දෙවි කෙනෙක්. පුළුවන් කවුරු හරි අපට උදවු කරනවා නම් බොහොම පින් සිදුවෙනවා යැයි ඇය හඬමින් පැවැසුවාය.

මේ මහලු යුවළට ලොකු බලාපොරොත්තු අපේක්ෂා නැත.

ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවත් වන්නට බෙහෙත් ටික ගන්නට වාරුවක් පමණි. කාරුණික ඔබටත් 0771526251 අංකයට අමතා ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

හික්කඩුව -
සංජීව මණික්කුවාවඩු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon