මහනුවර ඇසළ පෙරහරට පින්නවල අලි 5ක් පුහුණු කෙරේ

  👤  3659 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (29).jpg (600×350)

දමුණුපොළ - චමින්ද ජයලත්

පින්නවල අලි අනාථාගාරය තෝරාගෙන ඉදිරියේදී පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහරේ ගමන් කිරීමට පුරුදු පුහුණු කරමින් සිටින අලි පස්දෙනාගේ තත්ත්වය මේ වනවිට ඉතාමත් සාර්ථක බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බණ්ඩාරනායක මහත්මිය පෙරේදා (15දා) පැවැසුවාය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බණ්ඩාරනායක මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.

ඓතිහාසික මහනුවර දළදා මාලිගාව මඟින් පවත්වනු ලබන පෙරහර සඳහා වර්ෂයෙන් වර්ෂයට අලි ඇතුන්ගේ ගමන් කිරීම අඩු බවක් පෙනී යනවා. ඒ නිසා රජය මැදිහත්වී මේ වසරේ සිට පින්නවල අලි අනාථාගාරයේ සෙවණ ලබන අභය, කිරියා, ගගන, පිල්ලු මලෛ සහ ගැමුණු කණ්ඩුල යන අලි පස්දෙනා අපි තෝරා ගත්තා. මේ අලි පස්දෙනා අලි අනාථාගාරයේ සිටින දක්ෂ ඇත්ගොව්වන් යොදාගෙන පුරුදු පුහුණු කරවීම මීට මාසයකට පමණ ඉහතදී ආරම්භ කළා. අපි පළමුව අලි අනාථාගාරයේ ඇතුළත දිනපතා පුරුදු පුහුණු කළා වගේම පසුව දින 2-3ට වරක් ගම වටේද මේ අලි පස්දෙනා රැගෙන යමින් පුරුදු කරනවා.

මේ දිනවල අව්ව තද නිසා ඔවුන්ගේ ඇඟට ඇඳුම දාගෙන පුරුදු පුහුණු කරන්නෙ නෑ. පසුගිය ජූලි 06 සහ 07 දිනවල මාවනැල්ල අලුත්නුවර දේවාලේ පැවැති පෙරහර මංගල්‍යයට මේ අලි පස්දෙනා මුලින්ම රැගෙන ගියා. ඔවුන් ඒ අවස්ථාවේදී පෙරහරේ ඉතාමත් හොඳට ගමන් කළා. දැන් ඔවුන්ට බෙරහඬ, කසහඬ වගේම නිතරම මහජනතාව දැකලත් හුරුයි. ඒ පෙරහරේදී කිසිම කලබලයක් ඔවුන් කළෙත් නෑ.

ඉදිරියේදී පැවැත්වෙන මහනුවර ඓතිහාසික දළදා පෙරහරේ ගමන් කිරීමට මේ අලි පස්දෙනා ඉතාමත් සුදුසු තත්ත්වයේ පසුවෙමින් සිටින බවත් ලබන වසරේ පැවැත්වෙන පෙරහරට මීට වඩා අලි වැඩි සංඛ්‍යාවක් පින්නවල අලි අනාථාගාරයෙන් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බව නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බණ්ඩාරනායක මහත්මිය තවදුරටත් සඳහන් කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්