අර්බුදය එළියට පනී පොලිස් කොමිසමේ ලේකම් ගෙදර යවයි

  👤  3041 readers have read this article !
By mawbima 2018-03-21

චාමර අමරසූරිය

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඊයේ (20දා) ඉවත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන සේවා කොමිෂන් සභාවේ 2018/03 චක්‍රලේඛයට අනුව වයස අවුරුදු 60ට වැඩි නිලධාරීන් රාජ්‍ය සේවයේ තවදුරටත් නොසිටිය යුතුය යන්න සඳහන් කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ විධායක කමිටු තීරණයකට අනුව ඔහුට එම ලිපිය ඊයේ භාරදී ඇත.

මෙම තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ විධායක කමිටුව ඊයේ පෙරවරුවේ රැස් වී ඇති බවද සඳහන් වේ.

ඊට එහි සාමාජිකයන් කිහිප දෙනකු සහභාගි නොවී ඇතැයිද ජාතික පොලිස් කොමිෂන් සභා ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

මෙම ඉවත් කිරීමත් සමඟ ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන් දෙකට බෙදී ඇතැයිද එම ආරංචි මාර්ගයන් පවසයි. ආරියදාස කුරේ මහතා මීට ඉහතදී මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරමින් සිටියද එම කටයුත්තද සති කිහිපයකට ඉහතදී ජාතික පොලිස් කොමිසමේ විධායක කමිටුවේ තීරණයක් හරහා නවතනු ලැබීය.

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ප්‍රමාද වීම, පොලිසියට එරෙහිව ඇති විමර්ශන ප්‍රමාද වීම ආදී කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඉදිරියේදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරි මණ්ඩලයේ වෙනසක් සිදු වන බවටද ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

තෙල්දෙණිය හා දිගන සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලා සිටි හෙයින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් කුරේ මහතා ඉවත් කළ බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.තම සංවිධානය ද පසුගියදා මෙම ගැටුම පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ අකාර්යක්‍ෂමතාව පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියත් එයද ක්‍රියාත්මක නොවූ බව එහි අධ්‍යක්‍ෂ කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon