තෙල්දෙණියේ වැරැදිකරුවන්ට නීතියෙන් දඬුවම් දිය යුතුයි

  👤  2787 readers have read this article !
By mawbima 2018-03-21

මහනුවර - නදීක දයා බණ්ඩාර

දේපළ විනාශ කරමින් ජන ජීවිතවලට හානි කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබාදීම රජය සතු වගකීමක් යැයි ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහ නායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ සඳහන් කළහ.

වැරැදි කළ අයට කළ වරදට දඬුවම් ලබාදීම අත්‍යවශ්‍ය බවත්, එය නීතියෙන් ඉටුවිය යුතු දෙයක් බවත්, පෙරේදා (19දා) තෙල්දෙණිය හා ඒ අවට ප්‍රදේශවල නිරීක්‍ෂණයට එක්වෙමින් මහ නායක හිමියෝ සඳහන් කළහ.

පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් සිදුවූ හානිය සහ ජන ජීවිතවල වත්මන් තත්ත්වය විමසා බැලීම සඳහා මහ නායක හිමි ඇතුළු සර්ව ආගමික නියෝජිත පිරිසක් එම ප්‍රදේශවල නිරීක්‍ෂණයේ නිරතවූහ.

බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයට රැස්වූ මහ සංඝරත්නය ඇතුළු නියෝජිත පිරිස එහිදී සාකච්ඡා කොට අනතුරුව කෙන්ගල්ල ජුම්මා මුස්ලිම් පල්ලියද දිගනේ ස්ථාන කිහිපයකද නිරීක්‍ෂණයට එක් වූහ. පහරදීම නිසා මරණයට පත් අම්බාලේ පුස්ගෝවේ පදිංචිව සිටි තරුණයාගේ පවුලේ ඥාතීන් හමුවීමටද නියෝජිතවරු ගියහ. සුළු සිදුවීමක් මහ නොසන්සුන්තාවක් හා ජනවාර්ගික ගැටලුවක් දක්වා වර්ධනය වූ නමුත් පුස්ගෝව ග්‍රාමයේ ජනතාවගේ හැසිරීම ඉතා ආදර්ශවත් යැයි එහිදී කී ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ මෙසේද පැවැසූහ. සිංහල බෞද්ධයන් අන් ජාතීන්ට ආදර්ශවත් විය යුතුයි. දරුවන්ට පියෙක්, බිරියට සැමියා, පියාට පුතු අහිමිවුවත් මේ පවුලේ හැසිරීම ඉතාමත් බුද්ධිමත්. ප්‍රදේශයේ විහාරාධිපති හිමියන්ද ගම සන්සුන් කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබාදී තිබෙනවා.

මරණයට පත් තරුණයාගේ පාසල් වයසේ දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කිරීමට මේ නියෝජිත පිරිස ඉදිරිපත් වන බව මෙහිදී සඳහන් කළහ.
ශ්‍රී ලංකා මහ බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස, රත්විට රජමහ විහාරාධිපති සත් කෝරලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක මාගල්කඩවල පුඤ්ඤසාර, මැදදුම්බර, පාතදුම්බර ප්‍රධාන සංඝනායක තල්පොත ධම්මජෝති යන හිමිවරු සර්ව ආගමික සමුළුවේ ලේකම් කනක සංඛේ පියතුමා, සර්ව ආගමික සමුළුවේ විධායක සභික ජාවිඩ් යූසුෆ් මහතා ඇතුළු පිරිසක් මේ සංචාරයට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon