දියවන්නා ඇළේ දිය නෑ මොහොමඩ් හුසේන් රිමාන්ඩ්

  👤  2913 readers have read this article !
By mawbima 2018-03-21

මාලඹේ - රාජිකා රණසිංහ

තලවතුගොඩ නගරාශි්‍රත රාත්‍රි සමාජ ශාලාවක සිට පසුගිය 17 දින අලුයම තමාට අයත් නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයක් අධික වේගයෙන් පදවාගෙන ගොස් තවත් මෝටර් රථ දෙකක ගැටී කෝට්ටේ දියවන්නා ඇළට වැටී අනතුරකට ලක් වූ සිද්ධියේ සැකකරු තලංගම පොලිසිය මඟින් ඊයේ (20දා) කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 27 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
සැකකරු බොරැල්ල, ඔස්ටින් පෙදෙසේ අංක 22 ස්ථානයේ පදිංචි පසිරු මොහොමඩ් හුසේන් යන 43 හැවිරිදි අයෙකි. මොහු කොළඹ රථ වාහන අලෙවි හලක් අයිති ව්‍යාපාරිකයෙකි.

අපරික්‍ෂාකාරීව රිය ධාවනය කිරීම, අනතුරක්සිදුකිරීම, අනතුරක් වළක්වා නොගැනීම වෙනුවට එරෙහිව අනතුරක් පොලිසියට වාර්තා නොකර සැඟවී සිටීම යන චෝදනා යටතේ පැමිණිල්ල අධිකරණයට ගොනු කර තිබිණි.

පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටි තලංගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එන්.ඩී. කුලවර්ධන මහතා, අනතුරට ලක් වූ බී.එම්.ඩබ්ලිව්. නවීන පන්නයේ මෝටර් රථය නොබෝදා (මෙම මාර්තු 15 දින) සැකකාර පුද්ගලයා නමින් ලියාපදිංචි කර තිබූ එකක් බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් ලබාගත් වාර්තාවලින් අනාවරණය වූ බව ප්‍රකාශ කළේය.

මේ මෝටර් රථයේ රියැදුරුට අනතුර සිදුවූ දිනයේ තලවතුගොඩ රාත්‍රි සමාජ ශාලාව තුළ සිට එහි රථ ගාලේ තිබූ අනතුරට ලක් වූ මෝටර් රථය අධික වේගයෙන් පදවාගෙන යෑමේදී තවත් මෝටර් රථ දෙකක ගැටී වේගය පාලනය කර ගත නොහැකිව අසල තිබූ දියවන්නා ඔයට වැටී ඇතැයි පැවැසූ පොලිසිය අනතුර සිදු වීමෙන් පසුව සැකකාර රියැදුරු පලා ගොස් සැඟවී සිට ඇතැයි ද දන්වා සිටියේය.

එම වාහනයේ ගැටී අනතුරට ලක් වූ අනෙක් මෝටර් රථ අතරින් එකක් නීතිඥවරයකුගේ වන අතර අනෙක කොළඹ පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයකුට අයත් වන බවට හඳුනා ගෙන ඇතැයි ද එම වාහන දෙකේ රියැදුරන් අනතුර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ නමුත් අනතුර සිදුකළ රියැදුරු දින දෙකක් තිස්සේ පොලිසිය මඟ හැර සිටි බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සන්ධ්‍යා තල්දූව හා නීතිඥ කමල් විජේසිංහ යන මහත්ම මහත්මීන් කරුණු දක්වමින් තම සේවාදායක සැකකරු පැදවූ වාහනය පාර හරහා මාරුවෙමින් සිටි සුනඛයකු බේරා ගැනීමට ගොස් අනෙක් වාහන දෙකේ ගැටී එය පාලනය කර ගත නොහැකිව දියවන්නා ඔයට වැටී ඇතැයි ද දන්වා සිටියේය. ඒ අවස්ථාවේ ඔහු ත්‍රිරෝද රියැදුරුගේ උදව්වෙන් එම ස්ථානයෙන් ඉවතට පැමිණ ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හානි සිදුව ඇති මෝටර් රථ දෙක වෙනුවෙන් සුදුසු වන්දියක් ගෙවා සමථයකට පත් කර ගැනීමට අවස්ථාවක් ලබා ගත හැකි බව පෙන්වා දෙමින් සැකකාර රියැදුරු තැන සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට ද නීතිඥවරු ඉල්ලා සිටියහ.

මෙහිදී විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා අනතුර සිදුකළ බව කියන සැකකාර රියැදුරුවරයා රාත්‍රි සමාජ ශාලාවේ සිට තමන්ගේ වාහනය අධික වේගයෙන් පදවාගෙන පැමිණි බවට පැමිණිල්ලෙන් දක්වා ඇති නිසා එහි අවස්ථා දැක්වෙන සී.සී.ටී.වී. ආරක්‍ෂක කැමරා දර්ශන ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා සැකකරු අධිකරණ වෛද්‍යවරයකුට ඉදිරිපත් කර අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙසටත් පොලිසියට නියෝග කළේය.

සැකකරුට ඇප ලබා දුනහොත් අධිකරණයේ පවතින නීති පද්ධතියේ ස්වාධීනත්වයට, ගෞරවයට කැළලක් වන බව අවධාරණය කළ විනිසුරුවරයා ලබන 27 දින දක්වා සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩිදුරටත් නියෝග කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon