විමල් වීරවංශට ජයන්ත සමරවීරට වරෙන්තු

  👤  3121 readers have read this article !
By mawbima 2018-03-20

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර මහත්වරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (19දා) වරෙන්තු නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඇතුළු සත් දෙනකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකරුවන්ට මෙසේ වරෙන්තු නිකුත් කෙරිණි.

සැකකාර විමල් වීරවංශ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා අධිකරණයට එමින් සිටින බවය.

සැකකරුවන්ගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම සැකකරුවන්ට වරෙන්තු නිකුත් කරනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඉකුත් පෙබරවාරි 11 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ බව සනාථ කෙරෙන ලිපියක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකාර මන්ත්‍රිවරයාගේ ඇපකරුට නියෝග කර තිබූ අතර අදාළ ලිපිය ඊයේ (19දා) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එක්සත් රාජධානියේ හිටපු මහ ලේකම් සෙයිද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට විරෝධය ප්‍රකාශ කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණයක් පැවැත්වූ බවට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීර කුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනවිරත්න, මොහොමඩ් මුසම්මිල්, අරුණ ශ්‍රී සූරිය බණ්ඩාර, චමින්ද ජයලාල් යන අයවලුනට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය මඟින් නඩු පවරා තිබිණි.

නඩුව යළිත් 12 වැනිදා කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon