ඕමන්ත රක්ෂිතයේ මී කැඩීමට ගිය පිරිසකට වලස් ප්‍රහාරයක්

  👤  2824 readers have read this article !
By mawbima 2018-03-20

මුලතිව් - ශෂිකුමාර්,

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ සහ ඕමන්ත ශේෂලා අමරසිංහ
වවුනියාව, ඕමන්ත, කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පිරිසක් පෙරේදා (18දා) සවස වලස් ප්‍රහාරයට ලක්වීමෙන් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පැවැසුවේය.

ඕමන්ත, මදර්පනික්කමහිලන්කුලම ප්‍රදේශයේ පදිංචි සෙල්වම් මහේන්ද්‍රන් නමැති 42 හැවිරිදි පුද්ගලයකු එලෙස වලස් ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ඇත.
තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ මී පැණි සෙවීමට ඔහු කැලෑවට ගොස් සිටියදී 6 දෙනකුගෙන් යුත් වලස් පැටවුන් සමඟ සිටි වැලහින්නියකගේ ප්‍රහාරයට පුද්ගලයා ලක්ව ඇති බව පොලිසිය පැවැසීය.

තුවාලකරු සමඟ කැලෑවට පිවිසි පුද්ගලයකු පැවැසුවේ තමන් මී පැණි කැඩීමට ගිය අවස්ථාවේ වලස් පැටවුන් හය දෙනකු සමඟ වලස් රංචුවකට හසු වූ අතර එහිදී වලස් දෙන විසින් තම සගයාට පහරදුන් අතර තමන් සිදු කළ කෑ ගැසීම් හමුවේ වලසුන් පසු බෑ බවයි.

තුවාල ලැබූ සගයාද සමඟ තමන් ගසකට නැඟ ඥාතීන්ට දුරකතනයෙන් කතාකොට තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලූ අතර ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිස් නිලධාරීන් දැනුවත් කොට පොලිසිය සමඟ පැමිණ තමන් බේරාගත් බවද සිද්ධියට මුහුණ දුන් පිරිස පැවැසූහ. සිද්ධියෙන් තුවාල ලැබූ තැනැත්තාගේ පාදවල වලස් ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල සිදුව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. ඕමන්ත පොලිසිය පැවැසුවේ සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව වනජීවී කාර්යාල නිලධාරීන් දැනවත් කොට ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon