දේශපාලන බලය ගන්න ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කරනවා

  👤  3091 readers have read this article !
By mawbima 2018-03-20

දේශපාලන බලය ලබා ගැනීම උදෙසා ඇතැමුන් පෞද්ගලික න්‍යායපත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත්, එහිදී රටේ ප්‍රශ්න විසඳීම හෝ ජාතික සමඟිය හා සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
යාපනය ශාන්ත පැටි්‍රක් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දීමේ හා උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (19දා) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

එම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
මා මිත්‍ර විපක්ෂ නායක ආර්. සම්පන්දන් මැතිතුමා එතුමාගේ කතාවේදී සඳහන් කළා උතුරේ ජනතාව මා හට ලබාදුන් සහයෝගය පිළිබඳව. ඒ දුන් සහයෝගය මගේ හිතේ තිබෙන නිසා ඊට කළගුණ සැලකීමක් ලෙස මා උතුරේ සියලු වැඩ කටයුතුවලට සහභාගි වෙනවා. අපිට විවිධ දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රශ්න රාශියක් මේ රටේ තිබෙනවා. ඒ තිබෙන ප්‍රශ්න අප විසින් විස¼දා ගත යුතු වෙනවා. ඉන් එහා ගිය තවත් වගකීමක් සහ යුතුකමක් අපට තිබෙනවා. ඒ, සියලු දෙනාගේ මනුෂ්‍යත්වය තුළ තිබෙන බැඳීම, මිනිසුන්ට ආදරය කිරීමත්, සෙනෙහෙබර වීමත් මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමත් මිනිසුන් තුළ තිබිය යුතු ප්‍රධාන ප්‍රතිපත්තියක් වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඒ ප්‍රතිපත්තියේ මා පිහිටා ඇති නිසායි මෙවැනි වැදගත් අවස්ථාවකට මම සහභාගි වෙන්නේ.

ලෝකයේ ඕනෑම රටක තිබෙන ප්‍රශ්න විස¼දා ගැනීමට වැදගත් වන්නේ ඒ රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි. අධ්‍යාපනය ලබන්න ලබන්න උගතුන් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ රටවල ප්‍රශ්න අඩු වෙනවා. උගතුන් වැඩිවන විට රටවල ප්‍රශ්න අඩුවෙනවා. ඕනෑම රටක ආර්ථික, දේශපාලන සහ වෙනත් ප්‍රශ්න වැඩිවීමට හේතුවක් වන්නේ උගතුන් අඩුවීමයි. රටක ජාතියක අනාගතය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කළ යුතු ප්‍රධාන වගකීමක් වන්නේ, දෙයක් වන්නේ ජනතාවට අධ්‍යාපනය, දැනුම ලබාදීමයි. චීනය කියන්නේ දියුණුම රටක්. චීනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කිසිම ශිෂ්‍යයකුට නොමිලේ ලබා දෙන්නේ නැහැ. අපේ රටේ මොනතරම් සේවාවන් ජනතාවට සපයනවාද. රජය නිදහස් අධ්‍යාපනය නොමිලේ ලබා දෙනවා. සෞඛ්‍ය සේවය නොමිලයේ දෙනවා. දුප්පත් ජනතාවට සහනාධාර දෙනවා. රජය පාඩු ලබමින් ජනතාවට සේවය සපයනවා. ලෝකයේ බොහෝ රටවල් දියුණු වෙලා තියෙන්නේ අපි දෙන විධියට බොහෝ දේවල් නොමිලයේ දෙන්නේ නැති නිසායි. නමුත් එහෙම වුණා කියලා අපි නොමිලයේ දෙන කිසි දෙයක් පාලනය කරන්නේ නැහැ. ඉදිරියටත් දෙනවා. අධ්‍යාපනය ලබාදීමේදී අපේ වගකීමක් සහ යුතුකමක් තිබෙනවා නව අධ්‍යාපන ප්‍රතිපත්තීන් තුළ කටයුතු කිරීමට. අද මෙහිදී රැකියා විරහිත උපාධිධාරීන් 197කට නව පත්වීම් දෙනවා. ඔවුන් පළමු වසර පුහුණුවීම් සඳහා බඳවා ගන්නවා. ඒ වසරෙන් පසු ඔවුන් රාජ්‍ය සේවයේ ස්ථිර නිලධාරීන් බවට පත්වෙනවා. අද රටේ විශාල පිරිසක් සිටිනවා උපාධි ලබා රැකියා විරහිතව. ඔවුන් බොහෝ වේලාවට රැකියා ඉල්ලා උද්ඝෝෂණ, විරෝධතා කරනවා. ඒ අයට එහෙම කරන්න සිදුවුණේ එයාලගේ වැරැද්දක් නිසා නෙවෙයි. ඒකට හේතුව අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. අධ්‍යාපන ප්‍රතිපත්තිවල වැරැද්ද. අපි දැන් රජය විදියට ඒවා නිවැරදි කරගෙන යනවා.

අපේ රටේ තාක්ෂණික විෂයන් සඳහා උපාධිධාරීන් ඉන්නවා නම් ඔවුන්ට ජපානයේ හොඳ රැකියා තිබෙනවා. මම ඒ ගැනත් සාකච්ඡා කළා. ඒ නිසා අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී තාක්ෂණික විෂයන් මෙන්ම විද්‍යාත්මක විෂයන් සමඟ වෘත්තීය පුහුණුව ලැබෙන විෂයන් හැදෑරීමට මුල් තැන දීම තමයි අපේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ.

විපක්ෂ නායකතුමා හා විග්නේශ්වරන් මහතා මෙහිදී කරුණු කිහිපයක් සඳහන් කළා. ඒ කියපු කරුණු හා කාරණා පිළිබඳ අපි සැමවිටම වගකීමකින් කටයුතු කරනවා. අද අපේ රටේ දේශපාලනයේ ඇතිවී තිබෙන බොහෝ ගැටලු සහගත තත්ත්වයන් ඔබ දන්නවා. රටට ආදරේ කරන දේශපාලනඥයන් කොපමණ ප්‍රමාණයක් මේ රටේ සිටිනවාද කියන ප්‍රශ්නයක් තිබෙනවා. දේශපාලන බලය ලබාගැනීම සඳහා තම තමන් විසින් සකස් කරගත්ත පෞද්ගලික න්‍යාය පත්‍ර අද පවතිනවා. ඒ අයට අවශ්‍ය වන්නේ රටේ ප්‍රශ්න විසඳන එක නෙවේ. ඒ අයට අවශ්‍ය වන්නේ ජාතික සමඟිය ශක්තිමත් කරන එක නෙවේ. ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍රයේ තිබෙන්නේ කුමන ආකාරයෙන් හෝ බලයට ඒම. මේවාට රැවටෙන පිරිසක් ඉන්නවා. රටේ ප්‍රශ්න විසඳීමට අවංක දේශපාලනඥයන්ගේ එකමුතුවක් අවශ්‍ය වෙනවා. මීළඟට මේ රටේ කවුද ජනාධිපති වෙන්නේ, අගමැති වෙන්නේ කියන එක නෙවේ ජනතාවට වැදගත් වන්නේ. මේ විධියට දීර්ඝ කාලයක් සමහරු කටයුතු කරලා තිබෙනවා. ඉතා සුළු පිරිසක් රටට ආදරෙන් වැඩ කරලා තිබෙනවා. මේ සියල්ලෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. රට ගැන ආදරයකින් තොර, බලය ගැන පමණක් හිතන දේශපාලනඥයන් පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුයි. 2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනතාව මට ජය ලබාදුන්නා. ඒ විශ්වාසය මම කඩකරලා නැහැ. ඒ ප්‍රතිපත්ති මම වෙනස් කරලා නැහැ. වෙනස් කරන්නෙත් නැහැ. ජනතාව විසින් හඳුනාගත යුතු වෙනවා නිවැරදි දේ කරන්නේ කවුද කියලා. දේශපාලන අවස්ථාවාදීන් කවුද කියලා. ඒ පිළිබඳ අපි මනා අවබෝධයකින් කටයුතු කළයුතුයි. පළාත් පාලන ප්‍රධානීන්ගෙන් මම ඉල්ලා සිටිනවා රටට ආදරයක් ඇතිව වැඩ කරන්න කියලා. පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලට නෙවේ වැඩ කළ යුත්තේ. හෙට දවසේ රට කොතැනටද යන්නේ කියලා තමයි කටයුතු කළ යුත්තේ. අප එයයි විස¼දාගත යුත්තේ.

දැන් අද මම එනකොටත් අතුරුදන්වූවන් පිළිබඳ උද්ඝෝෂණයක් තිබුණා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවීම පනතකින් සම්මත කරලා අවශ්‍ය කටයුතු කළා. ඒ කාර්යාල මේ වන විට වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. අපි ඒ පිළිබඳව අපේ ප්‍රතිපත්තිය පැහැදිලි කරලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ මම තවදුරටත් කතාකළ යුතු නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon