මෝල්ගසින් පහර දී සැමියා මරා දරු දෙදෙනා නිවෙසේ දමාගිය කතට ඇප දීමට කිසිවකු නෑ

  👤  3324 readers have read this article !
By mawbima 2018-03-20

දමුණුපොළ - චමින්ද ජයලත්

සැමියාගේ රහස් ප්‍රදේශයට මෝල්ගසෙන් පහරදී ඝාතනය කර සිය දරු දෙදෙනාද නිවෙසේ දමා ගිය කාන්තාවට ඇප ලබාදීමට නියම කර සිටියත් කිසිවකු ඉදිරිපත් නොවූ නිසා තවදුරටත් ඇය අප්‍රේල් මස 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඊයේ (19දා) නියෝග කෙළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෑගල්ල පොලිස් වසමේ බෙලිගල, හත්නාගොඩ, හරන්කහව පදිංචිව සිටින පුෂ්පා ගුණරත්න නමැති (49) දෙදරු මවකි.
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කාන්තාවගේ පළමු විවාහක සැමියා මිය යෑමෙන් පසු හරන්කහව පදිංචිව සිටි ගොඩයලාගේ ප්‍රේමරත්න නමැති අය සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඔහුගේ ඉදිවෙමින් තිබූ නිවෙසට 2010 වර්ෂයේ සැකකාරිය පැමිණ තිබිණි. පසුව මෙම කාන්තාව 2011 වර්ෂයේදී සහ 2013 වර්ෂයේ පිරිමි දරුවන් දෙදෙනකු බිහිකර තිබුණු අතර ඔවුන් හට උප්පැන්නයද ලබාදී නොතිබිණි. සැමියා කුලීවැඩ කර උපයා දෙන සුළු මුදලින් දරු දෙදෙනා හදාවඩා ගෙන ඇති මෙම කාන්තාව සෑම දිනකම පුරුෂයා මත්පැන් පානය කර නිවෙසට පැමිණ දිනපතා සිදුකරන පහරදීම ඉවසා දරාගත නොහැකිව කාලයක් ජීවත්ව සිට ඇත. 2016 මැයි මස 19 වැනි දින රාත්‍රි අධිකව බීමත්ව නිවෙසට පැමිණි සැමියා සැකකාරියට පහරදී ඉදිවෙමින් තිබූ නිවෙසේ නින්දට ගොස් ඇත. පසුව බිරිය නිවෙසේ තිබූ මෝල්ගහෙන් සිය පුරුෂයාගේ රහස් ප්‍රදේශයට පහරදී ඝාතනය කර පිරිමි දරු දෙදෙනාද නිවෙසේ දමා රාත්‍රියේම කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි සහෝදරයකුගේ නිවෙසකට ගොස් තිබිණි.

පසුව සිය පියාගේ මෘතදේහය අසල දින 05ක් දිවා රෑ කෙසෙල් ගෙඩි කමින් හා පහළ තිබූ ළිඳෙන් වතුර පානය කරමින් දරු දෙදෙනා ජීවත්ව සිට ඇත. ඝාතනය කර දින 05කට පසු මැයි 24දා අසල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට අදාළ නිවෙස දෙසින් එන දුගඳ ඉවසා ගත නොහැකිව සොයා බැලීමේදී බෙහෙවින් නරක් වී තිබූ පිරිමි මළසිරුරක් හා දරු දෙදෙනා දැක කෑගල්ල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා තිබිණි. පසුව කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා අදාළ නිවෙසට ගොස් මූලික පරීක්ෂණ සිදුකර වැඩිදුර පරීක්ෂණ සඳහා මෘතදේහය කෑගල්ල මහ රෝහල වෙත යැවීමට කටයුතු කර ඇත. කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා කියා සිටියේ මොට ආයුධයකින් රහස් ප්‍රදේශයට වැදුණු තියුණු පහරවල් හේතුවෙන් මරණය සිදුව ඇති බවත්ය.

ඉන් අනතුරුව සැකකාරිය රන්දෙණිය ප්‍රදේශයේ වැඩිමහල් සහෝදරයකුගේ නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. සැකකාරියට මාස කිහිපයක සිට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට හැකි බව නියෝග කර සිටියත් ඇයට ඇප ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඊයේ (19දා) අප්‍රේල් මස 02 දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්.ඒ. කරුණාරත්න සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon