දඹුල්ල ශ්‍රී ලනිප සංවිධායක අස් වෙයි

  👤  3206 readers have read this article !
By mawbima 2018-03-19

දඹුල්ල - කේ.කේ. ආරියදාස

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දඹුල්ල ආසන සංවිධායක යූ.ආර්. දයා නන්දසිරි මහතා සිය ආසන සංවිධායක ධුරයෙන් 16 වැනි දින සිට ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

දඹුල්ල සිය කාර්යාලයේදී 16 දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දයා නන්දසිරි මහතා මේ බව දැනුම් දුන්නේය.
වසරකට වැඩි කාලයක් තමන් ආසන සංවිධායක ධුරය දැරූ බවත් තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරමින් ජනතාවට විශාල සේවාවක් ඉටු කළද සංවිධායක ධුරය හරහා තමන්ට කිසිදු සේවයක් ජනතාවට ඉටුකර දීමට අවස්ථාව ලබා නොදීමත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා ලැබුණු මන්ත්‍රි ධුර තමන් නම් කර යැවූ අය ඉවත් කොට වෙනත් කණ්ඩායම් පත්කිරීම ආදී කරුණු මේ ඉල්ලා අස්වීමට බලපා ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉවත් කොට නව සංවිධායක ලෙස පත් කළ දයා නන්දසිරි මහතා ව්‍යාපාරිකයෙකි.

පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන මාගේ ආසනයේ පුරන්වී ඇති වැව් ප්‍රතිසංස්කරණයට මුදල් ඉල්ලා සිටි නමුත් ඒවාද මෙතෙක් නොලැබුණු බවයි.

දයා නන්දසිරි මහතා අස්වීමේ ලිපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ මාතලේ දිස්ත්‍රික් නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් වෙත යවා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon