ගම්මිරිස් ආනයනය කරන බවට ඇතැමුන් ගෙනයන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයි

  👤  3593 readers have read this article !
By mawbima 2017-07-17

හර්ෂනී අර්සකුලරත්න

ගම්මිරිස් මෙරටට ආනයනය කර ඇති බවට ඇතැමුන් ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එලෙස ආනයනය කළහොත් අපේ ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වයට යම් හානියක් විය හැකි බවත් කිසිම අයුරකින් ගම්මිරිස් මෙරට වෙළෙඳපොළට පැමිණ නැති බවට තමා විශ්වාසවන්තව ප්‍රකාශ කරන බවත් ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ලොවම පිළිගත් ෆයිපරින් අගය ඉහළ මට්ටමේ පවතින මෙරට ගම්මිරිස් හා වෙනත් රටක ගම්මිරිස් මිශ්‍රකොට ලෝක වෙළෙඳපොළට මෙරටින් නිකුත් කිරීමට ඇති හැකියාව නිසා අන් රටකින් ගම්මිරිස් ආනයනයට මෙරටදී ඉඩක් නැති බවද හෙතෙම පැවැසීය.

තේ, රබර් වැනි අපනයන බෝගයක් වන ගම්මිරිස්වල මිලද තීරණය වන්නේ අපනයනය වෙළෙඳපොළත් සමඟ බව මෙරට ගම්මිරිස් වගාකරුවන් නොමග යවන ඇතැම් දේශපාලනඥයන් නොදන්නවා විය හැකි බවද ඇමැතිවරයා එහිදී පැවැසුවේය.
මෙරට ආයෝජන කලාපයේ ප්ලාන්ට් ලිපිඩිස් ආයතනය සඳහා පමණක් ගම්මිරිස් ආනයනය සඳහා ඉඩ ලබාදී ඇති බවත් එම ආයතනය ගම්මිරිස්වලින් අතුරු නිෂ්පාදන සිදුකොට අපනයනය සිදුකිරීමක් කරන බවද ඇමැතිවරයා පැහැදිලි කෙළේය.

එම ආයතනය හරහා හෝ මෙවැන්නක් සිදුවී ඇති දැයි පවා තමා සොයා බැලූ බවත් ගම්මිරිස් ටොන් පන්සියයක් ආනයනය කොට ඉන් ටොන් දෙසිය විස්සක් යොදා ගනිමින් සැකසුම් සිදුකොට එම නිෂ්පාදන අපනයනය කර ඇති බවද ඔහු පැවැසීය.
අනියමින් එම ආයතනය හරහා හෝ ආනයනික ගම්මිරිස් වෙළෙඳපොළට නිකුත් වී ඇත් දැයි සොයා බැලූ බවත් තොග පරීක්ෂාවේදී එවැන්නක් සිදුවී නොමැති බව පැහැදිලි වූ බවද ඇමැතිවරයා තරයේ සඳහන් කෙළේය.

ගම්මිරිස් මිල පහළ වැටීමට බලපා ඇත්තේ වියට්නාමයෙන් හෝ වෙනත් රටකින් සිදු කළ ආනයනය කිරීමක් නිසා නොවන බවද ලොව පුරා වැඩි ගම්මිරිස් අස්වැන්නක් ලැබීමෙන් රට රටවල ඇති වූ ගම්මිරිස් අතිරික්තය නිසා බවද ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්