ඉදිරි සති 2 තුළ එජාපයේ ලොකු වෙනසක් අකිල විරාජ් මහ ලේකම් ධුරයට

  👤  3256 readers have read this article !
By mawbima 2018-03-19

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර, මහනුවර - නදීක දයා බණ්ඩාර

එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඉදිරි සති දෙක ඇතුළත කිරීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.
පක්‍ෂ ප්‍රතිසංවිධානයේදී එක්සත් ජාතික පක්‍ෂ නිලධාරි මණ්ඩලයේ කැපීපෙනෙන වෙනසක් කිරීමට නියමිත අතර පක්‍ෂ මහ ලේකම් ධුරය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා...පත් කිරීමටත් නියෝජ්‍ය මහ ලේකම් ධුරය සඳහා අලුත්ම මුහුණක් ඉදිරිපත් කිරීමටත් තීරණය වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් පණිවුඩය තේරුම් ගෙන 2020 මැතිවරණ එක්සත් ජාතික පක්‍ෂයට ජයගත හැකි පසුබිම සකස් කිරීම සඳහා මෙම ප්‍රතිසංවිධාන කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කෙළේය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක් මාර්තු මස අවසන් වීමට ප්‍රථම සිදුවන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාද ප්‍රකාශ කෙළේය.
ඒ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැති බවත් තමන්ද ඉන් තුනකට සහභාගි වූ බවත් ඊයේ (18දා) මහනුවර පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා සඳහන් කෙළේය.
ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය, මහ ලේකම් යන තනතුරු ඇතුළු තනතුරු කිහිපයක් වෙනස්වී ඒ සඳහා තරුණ කණ්ඩායම් සඳහා අවස්ථාව හිමිවීමට නියමිත යැයිද අමාත්‍යවරයා කීවේය.

වත්මන් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට හෝ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දෝෂාභියෝගයකට ඡන්දය දෙන්නේ නම් ඔවුන් සමඟ ඉදිරියේදී ආණ්ඩු කිරීම ගැටලුවක් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

ආණ්ඩුවට තව තිබෙන්නේ මාස 18ක කාලයක් පමණයි. පළාත් සභා මැතිවරණයෙන් ජනතාව පුංචි රිදවීමක් කළා. ඒ ආණ්ඩුව ගෙදර යැවීමට නොව ආණ්ඩුවට නිසි මඟට ප්‍රවේශ වන ලෙස දැනුම්දීමක්. ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුව තිබුණා. නමුත් නායකයන් දෙපසට වී ගහගන්නවාට වඩා ජනතාවට දුන් පොරොන්දු දැන්වත් ඉටු කළ යුතුයි. ආණ්ඩුව දැන්වත් ජනතාව ඉල්ලන අරමුණ කරා යා යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon