රාජපක්ෂ ආණ්ඩුව වගේම මෛත්‍රි-රනිල් ආණ්ඩුවත් බල අහංකාරයෙන් ඉදිමිලා

  👤  3191 readers have read this article !
By mawbima 2018-03-19

පසුගිය දිනවල රටේ වාර්ගික ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේක මේ රටට අලුත් තත්ත්වයක් කියන්න පුළුවන්ද?

මේ ඇති වෙලා තිබෙන තත්ත්වය අලුත් එකක් නෙවෙයි. කාලයක් තිස්සේ සමාජයේ අළු යට ගිනි පුපුරක් වශයෙන් තිබූ දෙයක් තමයි මේ පුපුරා යන්නේ. ඉතිහාසයේදී අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමඟියෙන් ජීවත්ව තිබෙනවා. සිංහල රජවරු තමයි මුස්ලිම් ජනයාට නැඟෙනහිර පළාතේ ආරක්ෂා සහිතව ජීවත්වෙන්න අවස්ථාව සලසා දෙන්නේ පෘතුගීසීන්ගෙන් සිදුවන කරදර අතවර හමුවේ. අපේ රටේ අන්තිම රජ්ජුුරුවොත් සිංහල නෙවෙයි දෙමළ. ඒ රජුට එරෙහිව ජනතාව නැඟී සිටියේ ඔහු දෙමළ නිසා නෙවෙයි, ඔහුගේ කුරිරු ක්‍රියා නිසා කියලයි සාධක තියෙන්නේ. මුළු රටම එකසත් කළ අවසන් රාජධානිය වන කෝට්ටේ රාජධානියේ රාජ සභාවේ දෙමළ පුරෝහිතයනුත් සිටියා. ඉතිහාසයේදී සාහිත්‍ය සාධක සලකන විට ලංකාවේ දෙමළ භාෂාව සැලැකුණේ විදග්ධයන්ගේ භාෂාවක් ලෙසයි. ඒ කියන්නේ අපේ රටේ සියලු දෙනාම සමඟියෙන් සිටියා. ඉන්පසුව අපේ රට අධිරාජ්‍යවාදයට යටත් වුණා. අධිරාජ්‍යවාදීන්ට දිගටම රටවල් තුවක්කුවෙන් පාලනය කිරීම අපහසු වෙනකොට උපක්‍රමයක් ලෙස බෙදාවෙන්කොට පාලනය කිරීමට කටයුතු කළා. මේ බෙදීම පටන් ගත්තේ ඒ අවධියේ සිටයි. අධිරාජ්‍යවාදීන් අපට උරුම කරලා ගියේ ඔවුන්ගේ වාසිය සඳහා සැකසුණු විවිධාංගීකරණය නොවූ ආර්ථික රටාවක්. ඒ ආර්ථික රටාව උෟන සංවර්ධන ධනේශ්වර ක්‍රමයක් මතයි පදනම් වුණේ. අපේ රටේ ජනතාවට ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට තිබූ ඉඩ ප්‍රස්ථාව මේ ක්‍රමය විසින් අහිමි කළා. ඒ පරිසරයේදී වාර්ගික කණ්ඩායම් එකිනෙකා කෙරෙහි වෛරයෙන් සැකයෙන් බලන්න පටන් ගත්තා.

සිංහල දෙමළ ගැටුමට හේතු වුණෙත්් මේ හේතු නිසා කියලද ඔබ කියන්නේ?

ලංකාවේ දෙමළ ජනයා අතරින් සන්නද්ධ ව්‍යාපාරයක් පැන නඟිනවා දෙමළ ප්‍රභූ පන්තිය තමන්ට වෙනම පාලනයක් අවශ්‍යයි කියලා ඉල්ලා සිටීම නිසා. පස්සේ කාලේ සිංහල ආණ්ඩුවලින් සිදුවුණු ඇතැම් වැරැදි ඔවුන් උපයෝගි කරගත්තා තමන්ගේ අර මතය සාධාරණීකරණය කරගන්න. දෙමළ ජනයා තමන්ට අසාධාරණයක් සිදුවෙනවා කියල කල්පනා කිරීමට පෙලඹුණු එක හේතුවක් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම. නමුත් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය බිහි වෙන්නේ 1949 වසරේදී. සිංහල රාජ්‍ය භාෂාව කරන්න අවුරුදු පහකට කලින්. නිදහස ලැබෙන්න පෙර සිටම තමයි චෙල්වනායගම් වගේ දෙමළ නායකයන් කතා කළේ දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක් තිබිය යුතුයි කියලා.

මේ සියලු දේ විග්‍රහ කරනකොට අද ඇති වෙලා තියෙන ගැටලුව අලුත් දෙයක් නෙවෙයි.

සිංහල මුස්ලිම් සමාජ අතරත් මත ගැටුම් තිබෙන බව පේනවා?

සිංහල සමාජයේත් මුස්ලිම් සමාජයන් අතරත් වරින් වර සැකයක් පසමිතුරු බවක් තිබුණා. නමුත් සිංහල මුස්ලිම් මිනිස්සු එකට එකතු වෙලා ජීවත් වුණා. මෑත කාලීන මුස්ලිම් ජාතික දේශපාලනඥයන් වන ඒ.එච්.එම්. ෆවුසි, එම් එච් මොහොමඩ්, ෂාවුල් හමීඩ්, ඉමිතියාස් බාකීර්, මුජිබර් රහ්මන් වගේ අයද දිනන්නේ මුස්ලිම් ඡන්දවලින් විතරක්ද? මේ අය අතර සමඟිය තිබුණා. ලංකාවේ මුස්ලිම් ජනයාගෙන් භාගයක් ඇත්තටම නම් සිංහල, ඔවුන් විවාහ කරගත්තේ සිංහල ස්ත්‍රීන්. නමුත් ආර්ථීක සම්පත් මූලික වශයෙන් බෙදා ගැනීමේ වුවමවනා ජන කොටස් අතර වෛරයක් ලෙස සැඟවී වර්ධනය වෙමින් තිබුණා.

මේ පසමිතුරුකම්වල වාසිය හිමි වෙන්නේ කාටද?

මේ පසමිතුරුකම් ලෝකයේ බලවත් රාජ්‍යයන් ප්‍රයෝජනයට ගන්නවා අපේ රටවල් අවුල් කිරීම සඳහා. අපේ රටේ බොහෝ දෙනකු තේරුම් නොගන්නා කාරණය වන්නේ අදත් අපි ජීවත් වෙන්නේ අධිපතිවාදී ලෝකයක. ලෝකයේ බලවත් රටවල් සෙසු රටවල සම්පත් කොල්ලකෑම අදටත් සිදුවෙනවා. ඔවුන් මුදුනට පැමිණියේ එසේ සම්පත් නිර්දය ලෙස කොල්ලකමිනුයි. මේ කොල්ලය දිගටම පවත්වාගෙන යෑමට සෑම රටක්ම තමන්ගේ කීකරු සුවච, රාජ්‍යයන් ලෙස තබා ගැනීම ඔවුන්ගේ වුවමනාව. ඒ ස¼දහා උපයෝගි කරගන්න එක මෙවලක් තමයි රටවල් ඇතුළේ තිබෙන්නා වූ වාර්ගික ආගමික මතභේද අවුළුවාලීම.

ගල්ෆ් රටවලින් මතු වූ ඉස්ලාමීය මූලධර්මවාදී ප්‍රවණතා මෑතකදී මතු වූ තවත් එවැනි ප්‍රපංචයක්. මේ ප්‍රවණතා යට තිබෙන්නේ සෞදි අරාබිය විසින් අතට අරගෙන වහාබ්වාදය. සෞදි අරාබියට අවශ්‍ය වහාබ්වාදය ලෝකයේ පැළ කරන්න. ඒ සඳහා ඔවුන් විශාල වශයෙන් මුදල් පොම්ප කරනවා වෙනත් රටවලට. මේ අමිහිරි සත්‍යයන් අප තේරුම් ගත යුතුයි.

මුස්ලිම් ජනයාට පහරදීම මුළුමනින්ම වැරැදියි. සමාජයේ අන්තවාදී ප්‍රවණතා තිබෙනවා. ඒකට සෞදි අරාබිය, ඕමානය, කටාර් වැනි රාජ්‍යයන්ගෙන් වක්‍ර මාර්ගවලින් රටවලට මුදල් එනවා.

පසුගිය කාලයේ අපේ රටේදී බරපතළ විදිහට මියැන්මාරයේ රොහින්ග්‍ය සරණාගතයන් ගැන කතා කළා. රොහින්ග්‍යා ජනතාවට බරපතළ ගැටලු, වධ හිංසා පීඩා තිබෙනවා. නමුත් ඒක ඇතුළෙත් මේ සාධකය තිබෙනවා. ප්‍රශ්නයේ සමස්තය තේරුම්ගත්විට ප්‍රශ්නය විස¼දාගන්න පුළුවන්.

අපේ රටවල සිංහල දෙමළ මුස්ලිම් සෑම සමාජයකම අන්තවාදයක් තිබෙනවා නේද?

සිංහල සමාජයේත් අන්තවාදය තිබෙනවා. බෞද්ධ ලේබලය අලවාගත් පිරිස් අතර අන්තවාදයක් තියෙනවා. සමහර වාහනවල මේ බුදුන්ගේ දේශයයි කියලා ලේබලයක් අලවා තිබෙනවා. මම දන්න විදිහට නම් බුදුන්ට දේශයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ සියලු දේ අත්හල උත්තමයෙක්. එතකොට උන්වහන්සේට දේශයක් තිබෙන්නේ කොහොමද? මේ විදිහට දෙපැත්තේම අන්තවාදය තිබෙනවා.
මේ ගැටුමට ආණ්ඩුවේ ක්‍රියාකලාපයත් බලපෑ බව සමාජයෙන් ඇසෙන්නට තිබෙන මතයක්?
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයත් පහුගිය ගැටුම්වලට බලපෑවා. ඊට පෙර පැවැති ආණ්ඩුවේ ක්‍රියාකලාපයත් බලපෑවා. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අලුත්ගමදී ගැටුම් හටගත්තා. ඒ ගැටුම් හට ගැනීමට මූල බීජයත් තමයි පාඨලී චම්පික රණවක සහ අතුරලියේ රතන හාමුදුරුවෝ වගේ අය පටන් ගත්ත හලාල් විරෝධී ව්‍යාපාරය. ඒක නිසා සිංහල මිනිස්සු අතර යම් ප්‍රමාණයක මුස්ලිම් විරෝධී බීජය විසිරී ගියා. බොදුබල සේනාවේ උසිගැන්වීම් තමයි අලුත්ගම ගැටුමට මුල් වුණේ. අලුත්ගම ගැටුමේදී ඇතැම් මුස්ලිම් කණ්ඩායම් හැසිරුණේත්, අන්තවාදී සීමාන්තික ආකාරයටයි. එදා තිබුණු ආණ්ඩුවට තිබුණා රෝගයක්. අධික ලෙස බල අහංකාරයෙන් ඉදිමීමයි ඒ රෝගය. ඒ නිසා මේ ගැටුම් අඳුනගන්න, සමනය කරන්න ඒවා කළමනාකරණය කරන්න උත්සාහ කළෙත් නෑ වුවමනාවක් තිබුණෙත් නැහැ. මේ ආණ්ඩුවත් එහෙමයි.
ආණ්ඩුව මේ ගැටුම් පාලනය නොකරන්න හේතු තියෙනවා කියලා හිතන්න පුළුවන්ද?

මේ ආණ්ඩුව කැමැතියි රටේ අවුල් තිබෙන තරමට. මොකද මේ ආණ්ඩුවට සුජාතභාවයක් නැහැ දැන්. 2018 පෙබරවාරි 10 වැනිදා ඡන්දයෙන් පසුව මේ ආණ්ඩුවේ සුජාතභාවය සේදිලා ගියා. ඒ නිසා දැන් ආණ්ඩුවට ඕනෑ ගැටුම් ඇවිළෙනවා දකින්න. 2017 සැප්තැම්බර් මාසයේ ගිංතොට ඇතිවෙනවා ගැටුමක්. ඒ අවුලෙදි පොලිසිය කළ යුතු කාර්ය ඉටුකළේ නැහැ කියලා පොලිස්පතිම කීවා. ආණ්ඩුව තේරුම්ගතයුතුයි මේ සමාජයේ අළු යට ගිනි එනම් වාර්ගික ගින්දර තියෙනවා කියලා.
සමාජයේ තිබූ ප්‍රශ්න අමතක කරන්න මේක අවස්ථාවක් කරගත් බවද ඔබ කියන්නේ?

මේ වෙලාවේ ඉතාමත් බියකරු අණපනත් සම්මත කරගනිමින් සිටිනවා. බටහිර රටවල වුවමනාවට සැලසුම් කළ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් නිර්දේශ කර තිබෙන යාන්ත්‍රණය හදන්න ආණ්ඩුව අණපනත් සම්මත කරමින් තිබෙනවා රට ගිනි ගනිද්දි. මේ රටේ කවුද ඉල්ලුවේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයක්, අතුරුදන් වූවන් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මේ රටේ නීතිගත කිරීම සඳහා පනතක් සම්මත කරන්න කියලා.
මේ පනත යහපත් විදිහට පාවිච්චි කරන්න බැහැ කියලද ඔබ කියන්නේ ?

අතුරුදන්වීම් වැළැක්වීම් සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, යාන්ත්‍රණය රටක් තුළ තිබිය යුතුයි. දැනටමත් අපේ රටේ යම් යම් නීති තිබෙනවා එවැනි දේ වැළැක්වීම සඳහා.
ඒ නීති ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද?
අපට තිබෙන නෛතික හා අධිකරණ යාන්ත්‍රණය ප්‍රමාණවත් නැත්නම් ප්‍රමාණවත් යාන්ත්‍රණයක් සකස් කළ යුත්තේ රට තුළ සිදු කරන සංවාදයකින් නේද?
මේ ගැටුමේදී අන්තර්ජාතික වශයෙන් හැසිරීම ගැන ඔබ දරන මතය මොකක්ද?

මෙතැනදී ඔවුන් තනිකරම කියන්නේ ෆුලි වයලනස් අගේන්සට් මුස්ලිම් කියලායි. බෞද්ධ සමාජයටමනේ මේ ලේබලය අලවා තිබෙන්නේ. ඇමෙරිකාව ඉරාකයට ගැහුවාම අන්තර්ජාතික වශයෙන් කියන්න ඕනේ ක්‍රිස්තියානුවන් මුස්ලිම්වරුන්ට විරුද්ධ වුණා කියලානේ. එහෙනම් ලෝකයේ බලවත් ජාතීන්ට අවශ්‍ය නැහැ ලෝකයේ සාමය තියෙනවා දකින්න. ඔවුන්ට අවශ්‍ය මුළු ලෝකයම මොන විදිහකින් හෝ තමන්ගේ අණසකට ගැනීම හා තමන්ගේ ආර්ථික සමෘද්ධි පවත්වාගැනීමට.
මේ සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය තාවකාලිකව තහනම් කිරීමත් සමාජයේ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා.
ආණ්ඩුව ඒකට පාවිච්චි කළ වචනය 'අවහිර' කිරීමයි. සමාජ මාධ්‍යවල තිබෙන අයහපත් ලක්ෂණ ආණ්ඩුව දැක්කේ අදද? මේ ආණ්ඩුව බලයට ආවේ සමාජ මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් නේද?
1983 ජූලි කලබල ඇතිවෙන්නේ ආණ්ඩුවේ සැලසුමින්. උතුරේදී මිය යන සෙබළු 13 දෙනා එදා බොරැල්ලට ගෙනාවා. විශාල පිරිසක් එදා කොළඹට රැස් වුණා. ඒ පිරිස අතර අන්තවාදී ගිනි අවුළන හනුමන්ලා සිටියා. හනුමන්ලා අතේ ලැයිස්තු තිබුණා. කාටද ගහන්නේ, කාවද මරන්නේ, කාගේ බිස්නස් එකද විනාශ කරන්නේ කියලා ඔවුන් හොය හොයා ගියා. ඔවුන් ගමන් කළේ ලංගම, විදුලිබල මණ්ඩලයේ, ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාහනවලින්. ජේ. ආර්. ජයවර්ධන දින පහක් යනතුරු ඒ සිදුවීම ගැන මොනවත් කීවේ නැහැ. ඒ වනවිට රජයට තිබූ විශාල ජන අප්‍රසාදය යටපත් කර ප්‍රධාන ප්‍රතිවාදී බලවේග අත්අඩංගුවට අරගෙන සිරගතකොට බලය තහවුරු කරගන්න අවශ්‍ය වුණේ. නමුත් ඒක අවසන් වුණේ රටම ලේ විලක් බවට පත්වෙමින්. ඒ ක්‍රියාදාමයෙන් අපට උරුම වුණේ වේදනාව, අසාධාරණය, ප්‍රචණ්ඩත්වය, ජාතිවාදී කෝලහාල ආදියයි. වත්මන් ආණ්ඩුව කරන්නේත් මේ ක්‍රියාවලියමයි.

මේ පවතින ගැටලු නිරාකරණය නොකර කිසියම්ම හෝ ආණ්ඩුවකට මේ රට ගොඩගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද?
මම එක හෙළාම පිළිගන්නවා. සියලු ජන කොටස්වලට ගැටලු තියෙනවා. මම ඒ ජන කොටස යනුවෙන් කතා කරන්නේ අඩු ආදායම් ලබන සාමාන්‍ය ජනයා පිළිබඳවයි. ඒ කියන්නේ අපේ රටේ ජනගහනයෙන් 80%ක් පමණ දෙනා. ජනතාව කියන කොට මම කියන්නේ ලෙඩ හැදුණාම සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට යන අය, මාසෙකට රුපියල් දාසය ලක්‍ෂයක් කුලියක් ගෙවමින් නිවාස කුලියට ගන්නා අය පිළිබඳව නෙවෙයි. සාමාන්‍ය ජනයා පිළිබඳවයි. අන්න ඒ ජනයාට තිබෙන ප්‍රශ්න විසඳීමට නම් ඒ ජනයා පෙළෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ ආකාරයට විසඳුම් සොයන විට ජනවර්ගවලට තිබෙන පීඩාවත් නැති වෙනවා. මේ ජනයාට සාධාරණය ඉටුවෙන ආර්ථික රටාවක්, ඒ ආර්ථික ඵලය සාධාරණව බෙදී යන ක්‍රමයක්, එවැනි ක්‍රමය පවත්වා ගැනීමට ඉවහල් වන දේශපාලන යාන්ත්‍රණයක් ඇති කිරීමෙන් තමයි යහපත් සමාජයක් ගොඩනඟන්න පුළුවන්. මෙවැනි ගැටුම් තියාගෙන නම් රට ඉදිරියට යන්න බැහැ. ඒ ආකාරයේ ගැටුම් තිබුණු සෑම රටක්ම අද කාලකණ්ණි තත්ත්වයට පත්වෙලා.

රට ගොඩගන්න තවත් අවස්ථා ඉතිරි වෙලා තියෙනවා කියන්න පුළුවන්ද?
ජනතාව තවමත් ප්‍රමාද නැහැ. පෙබරවාරි 10 ඡන්දයේදී පොදුජන පෙරමුණට විශාල ජයග්‍රහණයක් ලැබුණා. ඒක ලඝු කරන්න ආණ්ඩුව උත්සාහ කිරීම හාස්‍යජනකයි. ඒ ජය ලැබෙන්නේ පොදුජන පෙරමුණේ හාස්කමකින් නෙවෙයි. පොදුජන පෙරමුණ කිසිදු න්‍යාය පත්‍රයක්, වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. ජනතාව තුළ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති ගැන කැකෑරුණු කෝපයක්, පිළිකුලක් තිබුණා. ඒ රිදුණු ජනතාවට අනෙක් පාර්ශ්වය පිළිබඳ ආකර්ෂණයක් ඇති වුණා. කුමන හෝ හේතුවක් නිසා ඒ ආකර්ෂණය ඇති වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂටයි. ඊළඟ මහ මැතිවරණයේදී ජනතාව ප්‍රතිපත්ති සහිත, වැඩිම දෙනාට එකඟවිය හැකි දේශපාලන, ආර්ථික, සාමාජීය සංස්කෘතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන කණ්ඩායමක් බලයට පත් කළ යුතුයි. එය පක්‍ෂය කුමක්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon