දළදා මාලිගාව ඉදිරිපිට කාර් රේස් පදින්න රණවිරුවන් ලවා වැලි කොට්ට ගොඩ ගැසුවේ අපිද?

  👤  3678 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (25).jpg (600×350)

අද ජනතා අයිතියට පත් වෙන්නේ යහපාලන ආණ්ඩුව ඉකුත් මහ මැතිවරණයෙන් පසුව ආරම්භ කළ "උදා ගම්මාන" වැඩසටහනේ 33 වන උදා ගම්මානයයි. ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගත වීමටත් පෙර අද වන විට දිවයින පුරා උදා ගම්මාන 423ක් ඉදි වෙමින් පවතිනවා. මගේ අරමුණ වසර අවසන් වීමට පෙර එම සංඛ්‍යාව 500ක් දක්වා වැඩි කිරීමයි. එමෙන්ම අප ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට පෙර රට පුරා උදා ගම්මාන 2500ක් ඉඳිකර අවසන් කිරීම අරමුණ බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි. ගාල්ල බෙන්තර මිරිස්වත්ත, මහකුරුන්ද ප්‍රදේශයේ ඉදිවු "සුරම්‍යගම" උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

එහිදී හෙතෙම මෙසේද කීය.

නව ව්‍යවස්ථාව හරහා බුද්ධාගමට තර්ජනයක් වන බව විරුද්ධවාදීන් පවසනවා. නව ව්‍යවස්ථාව තුළින් බුදු දහමට කිසිසේත්ම තර්ජනයක් සිදුවෙන්නේ නැහැ. බල ලෝභීත්වයෙන්, බල උන්මාදයෙන් විධායක ජනාධිපති ක්‍රමය එලෙසම තබාගෙන නැවත රජ පුටුවට එන්නට උත්සාහ කරන පිරිසට නව ව්‍යවස්ථාව දේශද්‍රෝහී විය හැකියි. නව ව්‍යවස්ථාව තුළින් බුදු දහමට ලබා දිය හැකි අද්විතීය ස්ථානය අප ලබා දෙනවා.

දළදා මාලිගාව ඉදිරිපිට කාර් රේස් පැදීම සඳහා වැලි කොට්ට ගැස්සවීමට යුද්ධයේදී රට දැය බේරාගත් වීරෝදාර රණවිරුවන් යොදා ගත්තේ රාජපක්‍ෂ ආණ්ඩුව. එලෙස සිදු කළේ බුදු දහම ආරක්‍ෂා කරන්නටද? අද බුදු දහම අනතුරේ බව පවසන පුද්ගලයන් එදා කට ඇරියේ නැහැ. ඒ බියගුලු කමටයි. නව ව්‍යවස්ථාව තුළින් අප කිසිවිටෙක බුදු දහම අනතුරේ දමන්නේ නැහැ. නව ව්‍යවස්ථාව තුළින් අප සිදුකරන්නේ බලය බෙදීමයි. ඒ හරහා ආඥාදායකත්වයට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැහැ.

වසර 2010 ජනාධිපතිවරණයෙන් පසුව 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 18 වන සංශෝධනය ගෙනාවා. ඒ තුළින් සිදුකළේ ජනාධිපතිවරයකුට තනතුරේ සිටිය හැකි වාර ගණන අසීමිතව වැඩි කිරීමයි. යුද ජයග්‍රහණය මුල් කර ගනිමින් සදාකාලිකවම බලයේ සිටිය හැකි යැයි සිතා ඔවුන් එසේ සිදුකළා. මෙයට විරුද්ධව කිසිවකු කතා කළේත් නැහැ. එදා නිවටයන් ලෙස සිටි පුද්ගලයන් අද යහපාලන ආණ්ඩුව ලබා දී ඇති නිදහස උපයෝගි කර ගනිමින් වීරයන් ලෙස කෑ ගසනවා.
යහපාලන රජය අද රණවිරුවන් දඩයම් කරනවා යැයි විරුද්ධවාදීන් කියනවා. පසුගියදා අප රණවිරු පවුල් 3650කට නිවාස සාදා දීමේ වැඩසටහන ආරම්භ කළා. එමඟින් හිසට සෙවණක් නැතිව සිටින රණවිරුවන් මියගිය හෝ සදාකාලිකව ආබාධිත වූ පවුල් සඳහා සෙවණක් ලබා දීමට අප කටයුතු කරනවා. අද බොරුවට කෑ ගසන පුද්ගලයන් එදා මේ පිළිබඳව සොයා බැලුවාද? ඔවුන් එදා මේ ප්‍රශ්න වලට විසදුම් ලබා දුන්නේ නැහැ. මෙය ද සැබෑ දේශප්‍රේමීත්වය?

අද රටේ කොපමණ විරෝධතා, වර්ජන, පෙළපාළි තිබෙනවාද? මේ සෑම දෙයක් සිදුකිරීමට අද නිදහස උපරිමයෙන් අප ලබා දී තිබෙනවා. එදා රතුපස්වල ජනතාවට වගේ තර්ජනය කර ටී 56න් අප පිළිතුරු දෙන්නේ නැහැ. ඒ කාලයේ මේ ආකාරයේ නිදහසක් නොතිබූ බව සෑම දෙනාම හො½දින් මතක තබා ගත යුතුයි. ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 62ක ජනතාවක් අපට බලය ලබා දුන්නේ පැවතුණු සෑම අසාධාරණයක්ම අවසන් කිරීමටයි. එනම් නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් බිහි කිරීමටයි.

අද මාධ්‍යවලින් විවිධ වූ අදහස් ප්‍රකාශ වනවා. ඉතා අවබෝධයෙන් වගේම ප්‍රඥාවෙන් යුතුව එම දේවල් පිළිබඳව සොයා බලන්න කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා. අද රටේ සිටින ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ඉතාම පිරිසුදු නායකයන් දෙපළක්. ඔවුන් දෙදෙනාම බලයට පත් වූයේ තම පවුල් වටා බලය බෙදා ගැනීමට නොවෙයි. රටේ දේශපාලනය තුළ පවුල්වාදය ව්‍යාප්ත වීම දැක ගැනීමට ජනතාවට අවශ්‍ය නම් අපට නොව ඒකාබද්ධ විපක්‍ෂයටම බලය ලබා දෙන්න. ජනතාවට අවශ්‍ය පවුල නොව රට පිළිබඳව සිතන පිරිසුදු නායකත්වයක් නම් අපට ඔබේ ආශිර්වාදය ලබා දෙන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්