101 වැනි ‘කන්ද උඩරට නිල් මහා සටන’ ත්‍රිත්ව හා සා. අන්තෝනි තරගය ජය පැරදුමෙන් තොරයි

  👤  3095 readers have read this article !
By mawbima 2018-03-19

ඉෂාන් රශ්මිත

මහනුවර ත්‍රිත්ව සහ ශාන්ත අන්තෝනි දෙවිදුහල් අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 101 වැනි "කන්ද උඩරට නිල් මහා සටන" වාර්ෂික මහා ක්‍රිකට් තරගය ත්‍රිත්ව විද්‍යාලයට වැඩි ගෞරව සහිතව ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාලයේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත අන්තෝනි පළමු ඉනිම ලකුණු 115කට සීමා කිරීමට තිසරු රශ්මික ප්‍රමුඛ ත්‍රිත්ව පන්දු යවන්නන් සමත්වූ අතර, ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ත්‍රිත්ව පිල සියල්ලන් දැවී ලකුණු 196ක් රැස් කළේය.
ප්‍රතිවාදී ත්‍රිත්ව පිලට වඩා ලකුණු 81ක් පසුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත අන්තෝනි පිල අධික වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට කඩුලු 2ක් දැවී ලකුණු 62ක් රැස් කිරීමට සමත්විය.

ශාන්ත අන්තෝනි පළමු ඉනිමේදී නවෝද්‍ය විජේකුමාර ලකණු 32ක් රැස් කළ අතර, මොහොමඩ් අබ්සර් ලකුණු 29ක් රැස් කළේය. ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ වමත් වේගපන්දු යවන තිසරු රශ්මික ලකුණු 30ට කඩුලු 4ක් දවාලූ අතර, රුවින් පීරිස් ලකුණු 31ට කඩුලු 3ක් බිඳ හෙළීය. ත්‍රිත්ව පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක සහ ත්‍රිත්ව පිලේ නායක හසිත බෝයගොඩ ලකුණු 72ක් රැස් කළේය. ජෙෆ් වීරසිංහ ලකුණු 37ක් රැස් කළ අතර අශාන් ලොකුකැටිය ලකුණු 35ක් රැස් කළේය. නිම්නක ජයතිලක ලකුණු 53ට කඩුලු 4ක් දවාලූ අතර, නවෝද්‍ය විජේකුමාර ලකුණු 35ට කඩුලු 2ක් දවාලීය. ශාන්ත අන්තෝනි දෙවැනි ඉනිම වෙනුවෙන් ඩියොන් ස්ටවුටර් නොදැවී ලකුණු 27ක් රැස් කළේය.

තම පළමු ඉනිමේදි ලකුණු 72ක් රැස්කළ ත්‍රිත්ව නායක හසිත බෝයගොඩ තරගයේ වීරයා සහ දක්ෂතම පිතිකරු ලෙස ද්විත්ව සම්මාන ලැබීය.
තරගයේ වීරයා - හසිත බෝයගොඩ (ත්‍රිත්ව) දක්ෂතම පිතිකරු - හසිත බෝයගොඩ (ත්‍රිත්ව) දක්ෂතම පන්දු යවන්නා - තිසරු ඩිල්ෂාන් (ත්‍රිත්ව)
දක්ෂතම පන්දු රකින්නා - ජනිඳු හිම්සර (ශාන්ත අන්තෝනි)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon