දෙවරක් ජනාධිපතිකම් කළ මහින්දට රටේ නිවාස ප්‍රශ්නය විසඳන්න බැරි වුණා

  👤  3010 readers have read this article !
By mawbima 2018-03-19

දෙවරක් ජනාධිපති ධුරයේ සිටි පුද්ගලයෙක් අද දේශප්‍රේමීත්වය, දේශානුරාගය, දේශපාලනය ගැන තේජස්භාවයකින් යුතුව කතා කරනවා. දෙවරක්ම රට පාලනය කළත් අදටත් මේ රටේ පවුල් ලක්ෂ 60කට අධික පවුල් අතරින් පවුල් ලක්ෂ 25ක් නිවාස ගැටලුවලින් පීඩා විඳිනවා. මගේ පියාණන්ට 2000 වසර වන විට සැමට සෙවණ දෙන්න බැරි වුණා. නමුත් 2025 වන විට මේ රටේ සෑම පවුලකටම සෙවණක් ලබා දෙන්න මම කටයුතු කරනවා යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
අමාත්‍යවරයා එසේ පැවැසුවේ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර මහරැක්ම ඉදි වූ 'සිවුදෙවිගම' 49 වැනි උදාගම්මානය ජනතා අයිතියට පැවැරීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය.
තවද මෙම උදාගම්මානය ජනතා අයිතියට පත්වන අවස්ථාවේ තවත් පවුල් 337කට පමණ අමතර ප්‍රතිලාභ රැසක් හිමිකර දීමද සිදුවිය.

එමෙන්ම මෑත කාලයේදී රජය දියත් කළ සංවර්ධන වැඩසටහන්වලින් ජනතාවට දැනෙන, ඇසෙන, පෙනෙන ප්‍රතිලාභ රැසක් හිමි වූ වැඩසටහන ලෙස උදාගම්මාන වැඩසටහන ප්‍රචලිත වී ඇති බවත් 50 වැනි උදාගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් බල ප්‍රදේශයේ 'සංගමන්ග්‍රාමම්' ලෙස ජනතා අයිතියට පත්වන බවත් පැවැසීය.
ඉඩමක් නොමැති අයකුට ඉඩමක් ලබාදීම සැබෑ දේශභිමානයයි. නිවෙසක් නොමැති අයකුට නිවෙසක් ඉදිකර දීම සැබෑ දේශානුරාගයයි. අව්වට වේළෙමින්, වැස්සට තෙමෙමින් සිටින ජනතාවට හිසට තිරසර සෙවණක් ලබා දීම සැබෑ දේශප්‍රේමීත්වයයි. දේශාභිමානය, දේශානුරාගය, ආගම, ධර්මය හිස මත තබා ගනිමින් ඇතැම් පුද්ගලයන් අද විවිධ අර්ථකථන ඉදිරිපත් කරනවා. මේ කාලයේ දේශප්‍රේමීත්වය ලෙස සලකන්නේ අන් ආගමික සිද්ධස්ථාන විනාශ කිරීමයි. තමන්ගේ මුදලින් මේ පන්සලේ චෛත්‍ය ඉදිකරනවා කියා කිසිවකු එසේ පවසන්නේ නැහැ. ඔවුන් අන් අය ඉදිකරන පූජ්‍යස්ථාන විවෘත කර පැමිණ මාධ්‍ය ඉදිරියේ රට ගිනිබත් කරන ප්‍රකාශ සිදු කරනවා.
2015 වසරට පෙර මා සිටියේ විපක්ෂයේයි. මේ රටේ සෑම පූජනීය සිද්ධස්ථානයකටම ස්වාධීන ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම සඳහා එක් විහාරස්ථානයකට කුඹුරු අක්කර දෙක බැගින් ලබා දෙන්නට රජය කටයුතු කළ යුතුයි කියා මා එකල පාර්ලිමේන්තුවට යෝජනාවක් රැගෙන ආවා. නමුත් අද දේශප්‍රේමීත්වය, දේශානුරාගය ගැන කතා කරන පිරිස එදා මගේ ඒ යෝජනාව ඉරා කුණු බක්කියට විසි කළා.

යුද්ධය අවසන් වූ පසු යුද්ධයට වැය කළ මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වුණා. ඉතිරි වූ මුදල් ප්‍රයෝජනයට ගෙන ගස් යට දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් එක් දහම් පාසලකට එක් ශාලාව බැගින් ලබා දෙන්න කියා මා එදා තවත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවා. එම යෝජනාවද කෑලිවලට ඉරා කුණු බක්කියට විසි කළා. අද දේශප්‍රේමීත්වය ගැන කතා කරන්නේ මෙලෙස කටයුතු කළ කණ්ඩායමයි.

නිවාස අධිකාරියේ මුදල් සාක්කුවලට දමා ගැනීමට ඉඩම් කොල්ල කන්නේ නැහැ. නිවාස අපගේ ඥාති පරපුරට බෙදා දෙන්නේ නැහැ.
රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතය කැප කළා. එතුමන් දේශප්‍රේමියෙක් නෙවෙයිද. කොටි ත්‍රස්තවාදීන් එතුමා ඝාතනය කළා. ගාමිණී දිසානායක, රන්ජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි දේශප්‍රේමීන් නෙවෙයිද. මේ සියලු දෙනාම කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කළා. දේශප්‍රේමීත්වය තිබෙන්නේ එක පාර්ශ්වයකට පමණයි. බලය කියන හැන්ද අතේ තබා ගන්නා විට එදා ඔබට නොවේ ඉඩම් බෙදා දුන්නේ තමන්ටමයි. තමන්ට ලොකු හැන්දකින්ද, අසරණ ජනතාවට කුඩා හැන්දකින්ද බෙදුවා. මේ දේවල් ජනතාවට මතකද කියා සැකයක්ද තිබෙනවා. අපේ රටේ ජනතාවට මතකය තිබෙන්නේ සතියක් හෝ දෙකක් පමණයි. තමන් උදා ගම්මාන 2,500ක් ඉදිකළ පමණින් කෘතගුණ සැලකීමක් ලෙස ඡන්දය ලැබේවි යැයි කියා මගේ බලාපොරොත්තුවක් නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon