චීන ජනරජයේ සරසවියක් පිට රටකදී උපාධියක් පිරිනමන්නේ ප්‍රථම වරටයි

  👤  3081 readers have read this article !
By mawbima 2018-03-19

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වූ බන්දුල ගුණවර්ධන මහතා තම ආචාර්ය උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කළ 1952 සිට 2014 දක්වා කාලයේ චීන ශ්‍රී ලංකා ආර්ථික වෙළෙඳ සබඳතා නම් නිබන්ධනය මඟින් චීන - ශ්‍රී ලංකා ආර්ථික, සංස්කෘතික, දේශපාලන සබඳතා පිළිබඳ මනාව හා සවිස්තරාත්මකව අධ්‍යයනය කර ඇතැයි චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ උප කුලපති ජිආවෙන්ජියැන් (බ්ඪච එඥදණචද) මහතා පැවැසීය.

බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් පුද්ගලයන් දෙදෙනෙක් සිටින අතර ඉන් එක් අයකු වන හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ආචාර්ය උපාධිය පිරිනැමීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නිබන්ධනය නුදුරු දිනකදී චීන භාෂාවෙන් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කරනා බවද උපකුලපතිවරයා කියා සිටියේය.

උපකුලපතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (16දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා විසින් සම්පාදිත 1952 සිට 2014 දක්වා කාලය තුළ 'චීන ශ්‍රී ලංකා ආර්ථික වෙළෙඳ සබඳතා' නම් නිබන්ධනය සඳහා චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයකු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා මෙතෙක් පැමිණි ගමන්මඟ පිළිබඳව විද්‍යුත් වාර්තා විශේෂාංගයක්් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
චීන ජනරජයේ විශ්වවිද්‍යාලයක් තම රටින් පිටතදී උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වන ලද්දේ ප්‍රථම වතාවට වන අතර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පවසා සිටියේ මෙවැනි උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වන්නට ලැබීම තමාට මහත් ගෞරවයක් බවයි.
මෙම උත්සව අවස්ථාවේදී උපකුලපතිවරයා චීන භෂාවෙන් සභාව ඇමැතූ අතර එම කතාව, සිංහලට පරිවර්තනය කරන ලද්දේ මහාචාර්ය මහචූන් හෝ මහතා විසිනි.
එම සිංහල පරිවර්තනය මෙසේය.

ශ්‍රී ලංකා හා චීන සබඳතාවලට විශාල ඉතිහාසයක් තිබෙනවා. එම සබඳතා මේ වන විට පියවරෙන් පියවර ශක්තිමත් වී තිබෙනවා. වර්තමානයේ අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරුන් අතර මෙම රටවල් දෙක අතර සුවිශේෂී සබඳතාවන් මේ වන විට ගොඩනැංවී තිබෙනවා.
චීනයේ බීජිං විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලය චීනයේ තිබෙන විශ්වවිද්‍යාල අතරින් පැරැණිතම සහ සියලුම අදියරවලින් සමන්විත විශිෂ්ට ගණයේ විශ්වවිද්‍යාලයක්. චීනය ලෝකයට සහ ලෝකය චීනයට හඳුන්වාදීම මෙම විශ්වවිද්‍යාලයේ ප්‍රධානතම මෙහෙවරයි.

වර්ෂ 1941 දී මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කළ දා සිට මේ දක්වා මෙම විශ්වවිද්‍යාලයෙන් 400කට අධික තානාපතිවරුන් හා තානාපති උපදේශකවරුන් බිහි වී තිබෙනවා.
2020 වන විට අප විශ්වවිද්‍යාලයෙන් භාෂා 100කට අධික සංඛ්‍යාවකින් අධ්‍යයන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලය සමඟත් අප මේ වන විට වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. අපගේ සිංහල භාෂා වැඩසටහන් ආරම්භ වූයේ 1961දීයි. ගත වූ වසර කිහිපයේදී සිංහල භාෂාව පිළිබඳ විචාරකයන් රැසක් අප බිහිකර තිබෙනවා. ජූලි මාසය වන විට තවත් සිසුන් කිහිප දෙනකුටම සිංහල විශේෂවේදී උපාධිය පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයත් කොළඹ විශ්වවිද්‍යාලයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් ආදී විශ්වවිද්‍යාල සමඟත් අපි මේ වන විට ගිවිසුම්වලට එළැඹිලා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිංහල වැඩසටහන් ආරම්භ කළ මුල් අවධියේදී අපගේ සිසුන්ට සිංහල භාෂාව ඉගැන්වීම සඳහා සිංහල ආචාර්යවරුන් තෝරාගැනීමට හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් විශාල සහයෝගයක් ලබා දුන්නා. 2011 අගෝස්තු මාසයේදී බීජිං විදේශ කටයුතු විශ්වවිද්‍යාලයීය සංචාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපගේ ගෞරව ආචාර උපාධිය පිරිනැමීමට හැකි වුණා. එතුමා එදා ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය විවෘත කළා. ඒ වගේම එහි සභාපති ලෙසත් පත්වුණා. අනාගතයේදීත් මෙවන් ආචාර්ය උපාධි ප්‍රදානය කිරීමට අප කටයුතු කරනවා.

මෙම උත්සව අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සම්පත් අමරතුංග මහතා මෙම අවස්ථාව සුවිශේෂී වන්නේ චීන ජනරජයේ විශ්වවිද්‍යාලයක් තම රටින් බැහැරව උපාධි ප්‍රදානෝත්සවයක් පැවැත්වූ පළමු අවස්ථාව වූ නිසයි.

මෙම උපාධි ප්‍රදානෝත්සවයට අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, කරුණාරත්න පරණවිතාන, දයාසිරි ජයසේකර, ගයන්ත කරුණාතිලක, මලික් සමරවික්‍රම, සුසිල් ප්‍රේම්ජයන්ත්, තිලංග සුමතිපාල මහත්වරුන්ද, විපක්ෂ නායක ආර්. සම්පන්දන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා ඇතුළු ආරාධිත අමුත්තෝන් රාශියක් එක්ව සිටියහ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - ගැමුණු වැල්ලගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon