දේශපාලනය කියන්නේ පිල් බෙදී කරන කඹ ඇදිල්ලක් නොවෙයි

  👤  3010 readers have read this article !
By mawbima 2018-03-19

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව අපට විරුද්ධව ඡන්දය භාවිත කළා. ඊට හේතුව අප කළ ප්‍රකාශ ගණනාවක් අප ක්‍රියාවට නංවා නොතිබීම හා ඒවා ක්‍රියාවට නංවන වේගය මදි වීමයි. ජනතා මතය අනුව හැසිරීමටත්, ජනතාවගේ ඉල්ලීම් අනුව ඉදිරියට යෑමටත් අප දැනගත යුතුයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලනය යනු පිල් දෙකක තුනක කඹ ඇදිල්ලක් නොවන බවත්, රටේ ජනතාවට සේවය කරන්නේ කෙසේදැයි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, සිදුවූ වැරැදි නිවැරැදි කරගෙන ඉදිරියට යන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ කෑගල්ල, දමුණුපොළ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ ඝණ්ටාර කුලුන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
සිංහල බෞද්ධයන් ලෙස සියල්ලන් සමඟ එකට එක්ව වැඩ කිරීමට හැකි වාතාවරණයක් අපි ඇතිකර ගත යුතුයි. සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින රටක් ලෙස රටේ වෙනත් ආගමික කණ්ඩායම් අප කෙරේ දක්වන විශ්වාසය තහවුරු කිරීමටත් අප කටයුතු කළ යුතුයි. එම විශ්වාසය බිඳ වැටෙන විට රට අඩපණ වෙනවා. එම නිසා අප එම විශ්වාසය සෑම විටම ආරක්ෂා කළ යුතුයි. පසුගිය සතියේ මහනුවර, දිගන තෙල්දෙණිය ආදී ප්‍රදේශවල කලහකාරී තත්ත්වයක් ඇතිවුණා. අපි එම විශ්වාසය නැවත ඇති කළ යුතුව තිබෙනවා.

මැතිවරණයෙන් මාසයක් ගිය පසු අපට මහනුවර කලහකාරී සිද්ධියට මුහුණ දීමට සිදුවුණා. එම තත්ත්වය පාලනය කරමින් දැන් අප ඉදිරියට යා යුතුයි. සිංහල අලුත් අවුරුදු සමය වන විට මේ රටේ ජනතාවට බඩු භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයට තිබිය යුතුයි. අතේ මුදල් තිබිය යුතුයි. සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු ආයෝජකයන් ගෙන්වා ගැනීමෙන් පසු රටේ ජනතාවට රැකියා ලබා දීමේ වැඩසටහන ආරම්භ කරනවා. එවිට කර්මාන්තශාලා, හෝටල්, වරාය, ගුවන්තොටුපළ සංවර්ධනය ආදිය සඳහා විවිධ කටයුතු ආරම්භ කරනවා. අප පළමුවෙන්ම දේශීය හා විදේශීය ආයෝජකයන් හරහා ආයෝජන මෙරටට ගෙන්වා ගනිමින් ඔබේ අතට මුදල් ලැබෙන ක්‍රමයක් රට වෙනුවෙන් සකස් කරනවා. එසේ නම් මේ වසරේ විශාල ආයෝජන ප්‍රමාණයක් ගෙන්වා ගනිමින් කර්මාන්ත හා සේවා ගණනාවක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩකටයුතු ඉදිරියට වසර 2 _ 3ක් පවත්වාගෙන යන විට ඒවා සාර්ථක වනවා. 2020 පමණ වන විට එහි ප්‍රතිඵල ලබා ගැනීමට අපට හැකි වෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේදී මහවැලිය , වෙළෙඳ කලාප ඇති කිරීමට අපට හැකිවුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කිරීමට හැකියාව ලැබුණා. එවැනි විශාල සංවර්ධනයක් නැවත ඇති කිරීමට අප ක්‍රියා කරනවා. අදාළ අමාත්‍යාංශ, ආයෝජන මණ්ඩලය , දකුණු සංවර්ධන අමාත්‍යාංශය, වයඹ සංවර්ධන අමාත්‍යාංශය ආදිය මේ සම්බන්ධයෙන් මූලික වැඩකටයුතු ආරම්භ කර එම විශාල දියුණුව මෙම ප්‍රදේශවලට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. ගමට සංවර්ධනය ගෙන ඒමට නම් අප එම වැඩකටයුතු ක්‍රියාවට නැංවිය යුතුයි. එවිට ගමේ සැලකිය යුතු ආදායමක් නොමැති අයගේත් ආදායම් වර්ධනය වෙනවා. එවිට ඔවුන්ටත් අනාගතයක් ගැන විශ්වාසයක් ඇති වෙනවා.

එම විශ්වාසය ඇතිකිරීමට අප
පළමුවෙන්ම බිම් මට්ටම සැකසුවා. එම අත්තිවාරම මත කටයුතු කිරීමයි දැන් සිදු කළ යුත්තේ. නමුත් එම අත්තිවාරම් දැමීම සඳහා ගත වූ කාලය වැඩි බවත් ඊටත් වඩා වේගයෙන් ඉදිරියට යා යුතු බවත්, එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න, ගැටලු අඩු කරගත යුතු බවත් ජනතාව පැවසුවා. එසේ නම් උද්ධමනය පාලනය කිරීමට, සාධාරණ මිලක් තීරණය කිරීමට, ජනතාව අත මුදල් වැඩි ප්‍රමාණයක් ඉතිරි කිරීමට ආදී වැඩසටහන් වෙත අපේ අවධානය යොමුවී තිබෙනවා. අනාගතයේදී රට වෙනුවෙන් දියුණුවක් ඇති කිරීමටත් ඒ දියුණුව හරහා ඔබට සෙත සැලසීමටත් අප බලාපොරොත්තු වෙනවා.

රටේ කර්මාන්ත ශාලා, හෝටල් ආදිය වැඩි වන්නේ නැත්නම් කඩසාප්පු වරාය, ගුවන්තොටුපළ ආදිය දියුණු වන්නේ නැත්නම් බෝග අපනයනය වර්ධනය වන්නේ නැත්නම් අපට ආදායම් වර්ධනය කරනවා යැයි පැවසීමට නොහැකියි. එම නිසා අපි රටේ ආදායම වර්ධනය කිරීමට මෙම සැලැස්ම ක්‍රියාත්මක කරමින් සිටිනවා. එම සැලැස්මේ බොහෝ වැඩකටයුතු දැන් අවසන් වී තිබෙනවා. සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු එය ක්‍රියාවට නංවමින් රට ඉදිරියට ගෙන යෑමට අප බලාපොරොත්තු වෙනවා.
සියල්ලන්ටම අවශ්‍ය වන්නේ හොඳ අනාගතයක්, තම දරුවන්ට හොඳ අනාගතයක්, වැඩි ආදායමක් ආදියයි. එම අරමුණු අප ඉටු කරනවා. ඒ සැලසුම් සම්බන්ධයෙන් මම දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කරන්නේ නැහැ. ඉදිරියේදී ඒ ඒ ස්ථානවලදී අප ඒ ගැන සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

රටේ ඇතිවී ඇති නියඟය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. කන්න 04ක ගොවිතැන් කිරීමට නොහැකිවී තිබෙනවා. එයත් අපට මුහුණ දීමට තිබෙන විශාල ප්‍රශ්නයක්. අපට නියඟයට මුහුණ දීමට සිදු නොවුණා නම්, කෘෂිකර්මාන්තය සාර්ථක වූවා නම්, මීටත් වඩා හොඳ ආර්ථිකයක් රට තුළ ඇති වීමට ඉඩ තිබුණා. අප ඒවාටත් විසඳුම් සොයා ගත යුතුයි.

ත්‍යාගා ශ්‍රීමාලී බණ්ඩාර
දමණුපොළ - චමින්ද ජයලත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon