ඇතැම් පුද්ගලයන් හා දේශපාලනඥයන් ජාතිවාදී ගැටලු මතු කරනවා

  👤  3192 readers have read this article !
By mawbima 2018-03-19

මහනුවර - නදීක දයා බණ්ඩාර

ජාතිවාදී අදහස් දරන පුද්ගලයන් අතර ඇතැම් දේශපාලනඥයන් ජාතිවාදී ගැටලු මතුකිරීම සඳහා උත්සාහයක් දරන බව දැකිය හැකි යැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවැසූහ. සිංහල බෞද්ධ ජනතාවට වෙනත් ජාතියක් සමඟ අරගල කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති නමුත්, ජාතිවාදී අදහස් දරන ඇතැමුන්, ජනතාව ඒ වෙනුවෙන් පොලඹවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හමුවේ නායක හිමියෝ කීහ.
ඉකුත්දා (15) මහනුවරට පැමිණි අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේදී එම පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක පසුගිය දිනවල පැවැති නොසන්සුන්තාව පිළිබඳව සිය අදහස් පළ කළේය.

අන්තවාදී සංවිධාන ලෝකයේ විවිධ රටවලට ගොස් මුස්ලිම් ජාතිකයන්ගේ මනස විකෘති කොට ජාතිවාදය ව්‍යාප්ත කරන නමුත් ශ්‍රී ලංකාවේ එවැනි සංවිධානවලට කිසිදු අයුරකින් ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බව කී අමාත්‍යවරයා මහ නායක හිමියන් හමුවේ මෙසේ සඳහන් කළේය.

රජවරුන් රට පාලනය කරන යුගවල සිට සිංහල හා මුස්ලිම් ජනතාව ඉතා මිත්‍රශීලීව ජීවත් වුණා. ඔවුන් අතර ගැටුමක් තිබුණේ නැහැ. මහනුවර මීරක්කම් මුස්ලිම් පල්ලිය පවා ඉදිකර තිබෙන්නේ සිංහලයන් සතු පූජනීය ඉඩමක. මුස්ලිම් ජනතාව කිසිදු අවස්ථාවක මේ රටේ කොටසක් බෙදා දෙන ලෙස ඉල්ලා සිටියේ නැහැ. නමුත් ජාතිවාදී පිරිස් ජාතිවාදය මතුකර ව්‍යාප්ත කරනවා. මුස්ලිම් ජාතිකයන් අතර පමණක් නොව සිංහල හා දෙමළ ජනතාව අතරද ජාතිවාදීන් ඉන්නවා.

මේ ගැටුම ව්‍යාප්ත කිරීමට මුල් වූ සුළු පිරිස, සිංහල හා මුස්ලිම් ජන දෙකොට්ඨාසය අතර විරසක තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරනවා. නමුත් ඔවුන්ගේ දුර්මත සමාජයෙන් තුරන් කිරීම සඳහා සියලු ජාතීන්ගේ නියෝජනයෙන් යුතු පුළුල් කථිකාවතක් සකස් විය යුතු යැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon