රුසියාවේ ජනාධිපතිවරණය අද ස්ටාලින්ගේ වාර්තාව පුටින් බිඳියි ද?

  👤  3861 readers have read this article !
By mawbima 2018-03-18

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් වැඩිම කාලයක් එරට පාලනය කළ නායකයා ලෙස වාර්තාවක් පිහිටුවාවිද? මෙය මේ දිනවල බොහෝ විට කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබෙන්නේ රුසියානු ජනාධිපතිවරණ උණුසුමද ඉහළ යමින් ඇති පසුබිම තුළය.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අද (18දා) ය. පුටින් ඒ සඳහා ඉදිරිපත් වන ප්‍රධානම අපේක්ෂකයා වෙයි. මෙවර පුටින් ජනාධිපති පදවිය සඳහා ඉදිරිපත් වන්නේ සිවුවැනි වතාවට වීම කැපී පෙනෙන කාරණාවකි. ඔහු පළමු වතාවට ජනාධිපති තරගයට ඉදිරිපත් වූයේ 2000 වසරේය. ඉන්පසු 2004 දී සහ 2012 දී ජනාධිපතිවරණවලට තරග කර ජය ගත්තේය. 2008 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් නොවූ අතර එයට හේතු වූයේ පිට පිට තුන්වරක් එම ධුරය සඳහා ඉදිරිපත් වීමට එරට ව්‍යවස්ථාව අනුව හැකියාවක් නොමැති වීමයි. එවර ජනාධිපති ධුරයට පත් වූයේ පුටින්ගේ සමීපතම විශ්වාසවන්තයකු වූ දිමිත්‍රි මෙද්වදෙව්ය. නමුත් එම අවස්ථාවේදීද සැබැවින්ම රට මෙහෙයවූයේ පුටින් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. කෙසේ හෝ වේවා මේ අනුව ඔහු මේ වන විට වසර 14ක් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

මාර්තු 18 වැනි දින, එනම් අද පැවැත්වෙන ජනාධිපතිවරණයෙන්ද ජය ලැබුවහොත් තවත් වසර හයක කාලයක් ඔහු මෙම පදවියේ කටයුතු කරනු ඇති අතර එවිට ඔහුගේ ධුර කාලය වසර 20ක් බවට පත් වෙයි. මේ වන විට වැඩිම කාලයක් රුසියාව පාලනය කළ නායකයා වන්නේ ජෝසෆ් ස්ටාලින්ය. ඔහු 1922 සිට 1952 දක්වා වසර තිහක කාලයක් සෝවියට් රුසියාව පාලනය කළේය. පුටින් අද හිමි කරගෙන සිටින ජනප්‍රියත්වය සලකා බලන කල බොහෝ නිරීක්ෂකයන් අනුමාන කරන්නේ ස්ටාලින්ගේ වාර්තාව සම කිරීමට හෝ එය ඉක්මවා යෑමට පුටින් බොහෝ විට සමත් වනු ඇති බවයි.

අද පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පුටින් ජය ගැනීම කෙතරම් ස්ථීර කාරණාවක් බවට පත්ව ඇත්ද යත් එක් මාධ්‍යවේදියකු පවසා තිබුණේ මෙය පුටින්ටම පවා කම්මැළිකමක් ඇති කරන තරගයක් බවට පත්ව තිබෙන්නට ඉඩ ඇති බවයි. මේ වන විට පවත්වා ඇති ජනමත සමීක්ෂණවලට අනුව පුටින්ගේ ජනප්‍රියතා මට්ටම සියයට 80කට වැඩිය. එහි තේරුම සෑම සිය දෙනකුගෙන්ම 80 දෙනකු ඔහුට කැමැති බවයි.

පුටින් රුසියානු ජනතාව අතර මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව ඔහු පිළිබඳව ඇති දේශප්‍රේමී ප්‍රතිරූපය බව පෙන්වා දිය හැකිය. නවසිය අනූව දශකයේ සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු ලෝකය තුළ දුර්වලයකු බවට පත්ව සිටි රුසියාව නැවත කැපී පෙනෙන බලවතකුගේ තත්ත්වයට ඔසවා තැබීමට පුටින් දැක්වූ දායකත්වය නිසා ඔහු අද රුසියානුවන් අතර වීරයකු බවට පත්ව සිටියි. එමෙන්ම ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් එල්ල වන විවිධ තර්ජන, අභියෝග හමුවේ නොසැලී රුසියාවේ අභිමානය වෙනුවෙන් පෙනී සිටි නායකයකු ලෙස ද ඔහු ගෞරවයට පාත්‍ර වෙයි. ආර්ථික වශයෙන් රුසියාව මේ වන විට යම් යම් ගැටලුවලට මුහුණ දෙමින් සිටියත්, එමෙන්ම මහා පරිමාණ වංචා දූෂණ ගැන චෝදනා එල්ල වෙමින් තිබුණත් පුටින්ගේ මෙම දේශප්‍රේමී ප්‍රතිරූපය නිසා ඔහු වෙත ඇති ආකර්ෂණය අඩු නොවන ආකාරයක් පෙනේ.

ඒ අතර මෙවර ජනාධිපතිවරණයේදී ඔහුට තරගයක් දිය හැකි ප්‍රතිවාදියකු නොමැති වීමද තවත් විශේෂත්වයකි. රුසියාව තුළ පුටින්ට සිටින ලොකුවම විවේචකයා ලෙස සැලකෙන්නේ ඇලෙක්සි නවල්නිය. බටහිර හිතවාදියකු ලෙස සැලකෙන ඔහු පුටින් ඇතුළු ඔහු වටා සිටින සමීපතමයින් දූෂිතයන් බවට සෘජුවම චෝදනා කරමින් සිටියි. ඔහුගේ ප්‍රධාන සටන් පාඨයක් වන්නේද එයයි. නමුත් ඔහුට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකමක් නැත. එයට හේතුව ඔහුද වංචා පිළිබඳ චෝදනාවක් මත එරට අධිකරණයෙන් වරදකරුවකු කර තිබීමයි. නමුත් බොහෝ පාර්ශ්ව පවසන්නේ මෙය දේශපාලන වශයෙන් නවල්නි නිහඬ කිරීම සඳහා එල්ල කළ චෝදනාවක් බවයි.

නවල්නි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණද තවත් අපේක්ෂකයෝ සත් දෙනෙක් පුටින්ට එරෙහිව සටනට බැස සිටිති. ඒ අතරින් වඩාත් ඉදිරියෙන් සිටින්නේ පාවෙල් ගෘඩිනින් සහ සෙනින් සොබ්චැක් යන දෙදෙනාය. ගෘඩිනින් කෘතහස්ත ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන අතර සොබ්චැක් එරට ජනප්‍රිය රූපවාහිනි තාරකාවකි. පුටින්ට එරෙහිව තරග වදින ඇතැම් අපේක්ෂකයන්ට එල්ල වන චෝදනාවක් වන්නේ ඔවුන් පුටින් විසින්ම යොදවන ලද ඉත්තන් බවයි. ප්‍රධාන ප්‍රතිවාදියකු නොමැති තත්ත්වය තුළ ජනාධිපතිවරණයට වලංගු බවක් ඇති කර ගැනීම සඳහා මෙවැනි පියවරක් ගෙන ඇති බවද අදහස් ඉදිරිපත් වෙයි. සෙනියා සොබ්චැක් යනු කලකට පෙර පුටින්ට දේශපාලනයට ඒමට උදවු කළ, ඔහුගේ සමීපතම උපදේශකයකු ලෙස සැලකෙන ඇනටොලි සොබ්චැක්ගේ දියණිය වන අතර ඇය පුටින්ගේම ඉත්තකු බවට චෝදනා එල්ල වීමට මෙම පවුල් පසුබිමද බලපා තිබේ.

මේ අතර ජනාධිපතිවරණය වර්ජනය කරනු පිණිස ජනතාව පෙලඹවීම සඳහා ඇලෙක්සි නවල්නි ගෙනයමින් සිටින ව්‍යාපාරයද ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ. පුටින්ටද ගැටලුවක් බවට පත්ව ඇත්තේ ඡන්දය පාවිච්චි කරන පිරිස අඩු වේවිද යන්න බව අනාවරණය වෙයි. එසේ වුවහොත් එය ඔහුගේ ජයග්‍රහණයේ වලංගුභාවය යම් තරමකින් හීන කිරීමට හේතුවක් වනු ඇති බැවිනි.

මේ වන විට 65 වැනි වියේ පසුවන පුටින් උපන්නේ 1952 ඔක්තෝබර් 7 වැනිදාය. ඔහුගේ පියා කලක් නාවික හමුදාවේ සේවය කළ කෙනකු බවත්, මව කම්හලක කම්කරු රැකියාවක් කළ කෙනකු බවත් සඳහන් වෙයි. ඔහුට කලින් උපන් ඔහුගේ සහෝදරයන් දෙදෙනාම බාල වියේදීම මියගොස් ඇත. කුඩා වියේ පටන්ම පුටින් සටන් කලාවට මහත් ඇල්මක් දැක්වූ කෙනකු වූ අතර ඔහු ජූඩෝ ක්‍රීඩාවේ කළුපටිධාරියෙකුද වෙයි. පසු කාලයේදී ඔහු බුද්ධි නිලධාරියකු වීමේ ලොකු ආසාවකින් පසුවූ බව පැවසේ.

සෝවියට් චිත්‍රපටවල එන බුද්ධි නිලධාරීන් ඔහුගේ ප්‍රියතම වීරයන් බවද සඳහන් වෙයි. පසු කාලයේ පුටින් එරට රහස් ඔත්තු සේවය වන කේ.ජී.බී. ආයතනයේ රැකියාවට යෑමට පෙලඹුණේද ඒ නිසා විය යුතුය.

1991 පමණ එහි සේවයෙන් ඉවත් වූ ඔහු කෙමෙන් දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වෙමින් ඒ තුළ ස්ථාවර වීමට පටන් ගත්තේය. පුටින් දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත්ම තහවුරු වීමට පටන් ගත්තේ බොරිස් යෙල්ට්සිල් ජනාධිපති පදවිය දැරූ කාලය තුළයි. තමාගෙන් පසු පුටින් රුසියාවේ ජනාධිපති පදවියට පත්වනු දැකීම යෙල්ට්සින්ගේ අපේක්ෂාව වූ බව සඳහන් වෙයි. ඔහුට එම අවස්ථාව ලබා නොදීමට විවිධ බලවේග ක්‍රියාත්මක වූ බව සඳහන් වුවත් අවසානයේ කෙසේ හෝ එම බාධක ජයගෙන 2000 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ඔහුට පුළුවන්කම ලැබිණි.

නිහාල් පීරිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon