ජාතිවාදී ගින්නට හසුවුණු නවුෆර් අයියාගේ දුක් ගිනි එක දවසින් නිවූ ආණමඩුවේ සිංහලයෝ

  👤  3652 readers have read this article !
By mawbima 2018-03-18

රෝහණ වනිගසිංහ

ජාතිවාදයේ ම්ලේච්ඡ අඳුර දුරුවී ඇතැයි සිතුවා පමණි. යළිත් ගිනි දැල්ලක් ඉරිදා (11දා) අලුයම ආණමඩුවෙන් අහස උසට දැල්විණි. ඒ මුස්ලිම් හෝටලයකට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙනි. පෙට්රල් වැනි ඉන්ධන විසිකොට තබන ලද ගින්න වහා ඇවිළී මුළු හෝටලයම ගිනිබත් කළේය. භයානකම දේ වූයේ ඒ වනවිටත් හෝටලය පසුපස කොටසෙහි මුස්ලිම් සේවකයන් දෙදෙනෙක් නිදා සිටීමයි. ඉදිරිපස සිටි සිංහල ජාතික වෙළෙඳුන් කිහිප දෙනෙක්ද නගරවාසීන්ද කෑ ගසා ඔවුන් එළියට නොගන්නට විශාල නස්පැත්තියක් සිදුවීමට ඉඩ තිබිණි. ඊටත් අමතරව හෝටලයේ ඉවුම්, පිහුම් කටයුතු සඳහා ගෑස් සිලින්ඩර් ගණනාවක්ද ඇතුළත ගබඩා කර තිබිණි. වහ වහා ඒවා ඉවත් කරන ලදී. එසේ නොවූයේ නම් එකම වහලයකින් සමන්විත බිත්තිවලින් පමණක් වෙන්වූ තවත් කඩ සාප්පු පහ හයක්ද ගිනිගෙන අළු වී විනාශ වී යන්නට ඉඩ තිබිණි. ඒවා සිංහල ජාතිකයන්ට අයත් වීම විශේෂත්වයකි.

කෙසේ වුවද මුස්ලිම් හෝටලයටම යාබදවම තිබූ "ජාලිය කොමියුනිකේෂන්" හි වහල දැවී ඇතුළත භාණ්ඩ රැසක් විනාශ වී අලාභ ඇතිවී තිබිණි. මුස්ලිම් හෝටලය අසල ඉදිරිපිට බුලත්විට විකුණ­ූ­ අසරණ සිංහලයකුගේ බුලත් කඩය ගින්නට දැවී අළුවී තිබිණි. ගිනි තබන්නන්ගේ දෑත්ද පිලිස්සී තිබිණි

කවුරුත් මේ සිද්ධියෙන් කම්පා වූහ. මන්ද, රට පුරා ජාති, ආගම් ගිනි දැල් තැන, තැන තිබුණද ආණමඩුවේ එවන් සිතිවිල්ලක් හෝ ජනතාව තුළ නොතිබුණු බැවිනි. එසේ වූයේ දමිළ, මුස්ලිම් ව්‍යාපාරිකයන් සමඟියෙන් සහයෝගයෙන් ජීවත් වීමය. මුස්ලිම් හා දමිළ කඩ දෙක තුනක් හැරෙන්නට සියයට අනුපහකම වෙළඳ අයිතිය ආණමඩුවේ තිබුණේ සිංහල ව්‍යාපාරිකයන්ටය. තම මුස්ලිම් සහෝදරයාට වූ විපත ගැන සිංහල ව්‍යාපාරිකයෝ දුක් වූහ. කම්පා වූහ. ප්‍රදේශයේ දේශපාලකයන් වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, පියංකර ජයරත්න මන්ත්‍රිවරයාද අලුයම පැමිණ මුස්ලිම්, සිංහල නගරවාසීන්ට ධෛර්ය, සැනසුම ලබාදුනි.

සිංහලයන් කාගේත් අපේක්ෂාව ප්‍රාර්ථනාව වූයේ කිසියම් පාහරයන් පිරිසක් විසින් නගරයට උදාකරන ලද්දා වූ කැළැල, අපකීර්තිය, බිඳුණු බෙදුණු බව, යළි කෙසේ හෝ ඇති කිරීමටය. ගොඩ නැංවීමටය. ඔවුහු සාකච්ඡා කළහ. මන්ත්‍රිවරු, ආරක්ෂක අංශ, වෙළෙඳ සංගමය ප්‍රදේශවාසීහු රැස්වී ඉදිරි කටයුතු පිළිබඳ කතිකා කළහ. "නවුපර් අයියගේ හෝටලයයි විපුලගේ කොමියුනිකේෂන් එකයි, සිංහල බුලත්විට කඩෙයි, සිංහල අපි හදමු" ඔවුන්ගේ ඒකමතික තීරණය විය.

ගිනිදැල් නිවා දමා පැය කිහිපයක් ගත වීමටත් මත්තෙන්, වෙළෙඳ සංගමය පෙරටු කොට ගත් ප්‍රදේශවාසීහු සුන්බුන් ඉවත් කිරීමට පටන් ගත්හ. එදින දහවල ඉක්මවීමට ප්‍රථම ශ්‍රමය දානය කරමින් හෝටලය ශුද්ධ කළ සිංහල පිරිස් රාත්‍රි වනවිට අසල ගම්වල මේසන්, වඩු බාස්වරුන් මඟින් වහලයද දැව හා ඇස්බැස්ටෝස් යොදා අලුතින්ම සකස් කළහ. පසුවදා වනවිට සිවිලිමද ‍ෙදාරවල්ද ගසා තීන්ත ආලේප කොට නව "මුස්ලිම් - සිංහල" හෝටලයක් බවට පත් කළහ. එපරිද්දෙන් ආණමඩුව සිංහල වැසියෝ මුළු රටටම ආදර්ශයක්ද සංහිඳියාවක්ද සැපයූහ. සංහිඳියාව ඇත්තේ සිංහල, මුස්ලිම්, දමිළ හා බෞද්ධ, කතෝලික හින්දු බව තුළ නොව එකට බැඳගත් හදවත් තුළ බැව් ආණමඩුව වැසියෝ රටට, අන්තවාදීන්ට, අමනෝඥයන්ට පෙන්වා දුන්හ. යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා තමා ළඟ සිටි ආණමඩුවේ පොලිස් සැරයන්ට දැක්වූ දයාව, කරුණාව, කෘතගුණ දැක්වීම මෙන්, ආණමඩුව වැසියෝ "නවුපර් අයියා" නමැති මුස්ලිම් ජාතිකයාට (ඒ.එම්. රහීම් ඔහුගේ නියම නමයි) දයාව, අනුකම්පාව දක්වා ඔහු සැනසවීය. අන්තවාදීන්ගෙන් ඇතැම් විවේචන එල්ල වුවද තමන් මෙන්ම ලෙයින්, මසින් සැදුණු මේ මිනිසාට ඔවුහු මනුස්සකමින් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළහ. ඔහු තනි නොකළහ.

එසේ වන්නට නවුපර් ද සිංහල ජනයාට හදවතින් සැලකුම් කොට තිබිණි. ඔහු හදවත කරුණාවන්ත, දායවන්ත විය. සිංහලුන්ගේ මරණයේදීත්, මඟුලේදීත්, පින්කම් පොළේදීත් ඔහු තම ලාංකික යුතුකම් ඉටු කළේය. එලෙස හැසිරුණේය.

ඔහුගේ හෝටලයේ බත්, මාළු පිසූ සිංහල වයෝවෘද්ධ අම්මාට ඔහු නිවෙසක් තනාදී විදුලියද ලබා දුන්නේය. නැති බැරි අයට නිති පිහිට විය. මහා සංඝරත්නය වැඩම වූ විට දානය (නොමිලයේම වාගේ) පිළියෙල කළේය. "ලංකිකයන්" අතරේ "ලාංකිකයෙක්" මෙන් ඔහු ජීවත් විය.

පොලිසිය වහ වහා කරනා ලද පරීක්ෂණවලින් හෙළිවූයේ දලු කන කොලු ගැටවුන් රැසක් මෙම ගිනි තැබීම සිදුකළ බවයි. එක්තරා තැනෙක රහසේ රැස්වූ මේ අමන කොලු බඹ ගැටළු, මුස්ලිම් පල්ලි ගිනි තැබීමටද මුස්ලිම් කඩ ගිනි තැබීමටද සාකච්ඡා පවත්වා පෙට්රල් බෝම්බ යොදා මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට පොලිසිය කරුණු සොයාගෙන තිබිණි. අනාගත මුස්ලිම් ව්‍යාප්තවාදය මැඬ පැවැත්වීමට මෙම ක්‍රියාව සිදුකළ බැව් ඔවුන් පැවැසූ බව පොලිසිය පවසයි.

කෙසේ වතුදු පාසල් සිසුවකු ඇතුළු තරුණ ගැටවුන් හය දෙනකු (06) පසුගිය 13 වැනි දින ආණමඩුව ප්‍රදේශයෙන්ම අත්අඩංගුවට ගෙන ආණමඩුව වැඩබලන මහෙස්ත්‍රාත් පී. සුනිල් ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

ඔවුනට පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ අංක 136,140,419, වගන්ති යටතේද 2007-57 අංක සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ 3.1 වගන්ති යටතේද හදිසි නීති රෙගුලාසි 24-1 හා 12-1 වගන්ති යටතේ ද චෝදනා නඟමින් නඩු පවරා තිබිණි. ඒ වූ පරිද්දෙන් ඇප ලබා ගැනීමට නම් මහාධිකරණයෙන් පමණක් විය යුතුය. ඉදින් දුර දිග නොබලා මේ ළාබාල කොලු ගැටවුන් සිදුකළ අමනෝඥ ක්‍රියාව අනුව ඔවුනට තම මවුපියන් සමඟ සිංහල, දමිළ අවුරුද්දටවත් කිරිබත් කෑමට පැමිණීමට නොහැකිව සිරබත් කමින් සිටීමට සිදුවිය හැකි බැව් තතුදත් අය පවසති.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්ද්‍ර බණ්ඩාර මහතා අධිකරණයේදී පවසා සිටියේ මේ තරුණ පිරිස සිංහල, මුස්ලිම් ගැටුමක් ඇති කිරීමේ වුවමනාවෙන් නොව ෆේස්බුක්හි තිබූ යම් උසිගැන්වීමක් උදෙසා උසි ගැන්වී සිදුකළ ක්‍රියාවක් බවයි.

මෙයට තවත් සුවිශේෂී සිද්ධියක්ද අෑඳී තිබේ. එනම් එම ගිනිගත් දින (11දින) අලුයම තෙක් එම මුස්ලිම් හෝටලය ඉදිරියේ රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන්ට වූ විපතයි. සිද්ධිය වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිටතට ගොස් තිබිණි. ඔවුන් වැඩ තහනමට ලක්වී ඇත.

ආණමඩුවේ සිංහල මිනිසුන් මේ ජාතිවාදී ගිනි නොනිවන්නට, අවට පුත්තලම මුස්ලිම් නගරය තුළ විවිධ විරෝධතා, ගැටුම් තර්ජන ඇතිවීමට තිබිණි. යළිත් රට පුරා ජාති භේද වැපිරෙන්නට, දලු ලන්නට ඉඩ තිබිණි. සිංහල මිනිසුන් කළ මේ සත්ක්‍රියාවෙන් සිංහල, මුස්ලිම් සිත් සැනසුණි. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සිහලුන් බුද්ධ දේශනාවේ සාමය, සහෝදරත්වය, දයාව අපූරුවට රටට ලොවට පෙන්වූයේ ආදර්ශවත් අයුරිනි.

ආණමඩුව වෙළෙඳ සංගමයේ සභාපති දයාන් තුලිත අබේරත්න, සුනිල් ධර්මසිරි, විපුල රවින්ද්‍ර මහත්වරුන්ට අදහස් දැක්වීම පිළිබඳව ස්තුතිය පුදමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon