පෙම් යුවළ ගල් කළ දේව අනුහස නොලැබුණිද පුදට ආ දරු කැල දිය රකුසු බිලි ගන්නා විට

  👤  3651 readers have read this article !
By mawbima 2018-03-18

නිලාවේලි පෙරියකුලම්හි ජීවත්වන දෙමළ ජනයාට මෙන්ම යාබද වෙල්ගම් වෙහෙර ප්‍රදේශයේ ජීවත්වන සිංහල ජනයාටද කිසිදු භේදයකින් තොරව එක ලෙස දියවර සපයන පෙරියකුලම් වැව අද නිසසලය. ප්‍රදේශයම නිහැ¾ඩියාවකින් වෙළී ගොසිනි. ඒ නිහැ¾ඩියාව බිඳී ගියේ නම් ඔරුව පෙරළී වැවෙහි ගිලී සදහටම සිය දෙනෙත් පියා ගත් තංග‍ෙදාරෙයිගේ සහ දරුවන්ගේ දේහයන් අසල සිට වැලපෙන මවුවරුන්ගේ විලාපයනි.

හතළිස් දෙහැවිරිදි ධර්මලිංගම් තංග‍ෙදාරෙයි බස් හිමියෙකි. රියැදුරෙකි. එමෙන්ම ඔහුට පිය උරුමයෙන් ලද කුඹුරුද හිමිය. තමන්ගේ කුඹුරු වගා කර අස්වැන්න කපා ගත් පසුව හෙතෙම සිරිතක් ලෙස වැව් බැම්මේ පිහිටි ගල පාමුල නාතනාර් කෝවිලට දේව දානය දෙන්නේය.

තංග‍ෙදාරෙයි ඒ සිරිත ඉටු කරන්නට දරුවන්ද සමඟ වැව් බැම්මට ආ බව බස් රියැදුරකු වන ඔහුගේ බාල සොහොයුරු ධර්මලිංගම් උදය කුමාර් අපට කීවේය.

තංග‍ෙදාරෙයි ඇතුළු දරුවන් බිලිගත් පෙරියකුලම් වැව වෙල්ගම ප්‍රදේශයේ කුඹුරු යායට දියවර සපයන ප්‍රධාන ජලාශයයි. එය වෙල්ගම් රජමහ වෙහෙරට උතුරින් පිහිටා තිබේ. 11 වැනි සියවස දක්වා දිවෙන අෑත ඉතිහාසයක් හිමි පෙරියකුලම් වැව අසල වැව් බැම්මේ සිරස් අතට පිහිටි මහ ගල් කුල හා නාතනාර් කෝවිල ජනප්‍රවාදය හා බැඳී පවතින්නකි.

අෑත අතීතයේ මෙම ප්‍රදේශයේ සිටි රූමත් රදල කතක් සිය පිරිවර සමඟ කැලයේ ඇවිද යමින් සිටියදී සෙසු පිරිස මඟහැරී සිය මෙහෙකරුවා සමඟ වැව් බැම්මේ තනිවී තිබේ.

සිය පිරිස පැමිණෙන තෙක් පෙරියකුලම් වැව් බැම්ම මත මෙහෙකරුවා සමඟ අවට සිරි නරඹමින් සිටියදී ඇතිවූ හැඟීම් පාලනය කරගත නොහැකිව දෙදෙනා සිප වැලඳ ගැනීම නිසා කෝපයට පත් පෙදෙස අධිපති දෙවියන් තම අඩවියේදී කළ මේ නොහොඹිනා ක්‍රියාවට මේ දෙපළට දුන් දඬුවම හේතුවෙන් දෙදෙනා වැලඳ ගෙනම ගල්ව සිටින බව පැවැසේ. ප්‍රදේශයේ දෙමළ ජනයා මෙම ගල් පර්වතය දෙවියන් අරක්ගත් එකක් බව සලකා නාතනාර් කෝවිල ලෙස හඳුන්වමින් අතීතයේ සිට දිනපතා පුද පූජා කරනු ලබති.

මෙම මහ ගල්කුල පිහිටි ස්ථානයෙහි නිධානයක් පවතින බවත් එම නිධානය ආරක්ෂා කරන බහිරවයා විසින් වැවෙහි දිය නෑමට එන පිරිස් බිලිගන්නා බවත් ප්‍රදේශයේ ගැමියන් තුළ තවත් විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් මෙම වැවෙහි ගිලී මියගිය පළමු පිරිස මේ අය නොවෙන්නේය. මීට පෙරද අවස්ථා කිහිපයකදීම නීතිඥවරයකු ඇතුළු විවිධ රැකියාවන්හි නිරත පස් දෙනකු දිය නෑමට ගොස් වැවේ ගිලී මිය ගියේය. එකවර වැඩිම පිරිසක් ගිලී මිය ගියේ ඉකුත් 11 වැනිදා පෙරවරුවේය. ඒ තංග‍ෙදාරෙයි හා දරුවන් සිවුදෙනාය.

"අයියා කුඹුරුවල අස්වැන්න කපලා ගෙට ගත්තම ඒකේ පළමු කොටසින් වැවේ බැම්මේ තියෙන ගල පාමුල නාතනාර් කෝවිලට පොංගල් හදලා දෙනවා. කුඹුරු වැඩවලට අමතරව අයියාට බස් දෙකක් තියෙනවා. එකක් මම පුල්මුඩේ - මලේ සෙනඟ අදිනවා. අනිත් බස් එක නිලාවෙලි ඉස්කෝලේ සිසු සැරිය දුවනවා. අයියා තමයි සිසු සැරිය යන්නේ. අයියා දරුවන්ට හරි ආදරෙයි. ඉරිදා ඉස්කෝලේ නිවාඩු නිසා අයියයි අක්කයි නෑනයි දරුවොත් එක්ක වැවට ගියා. ඒ ගිහින් පොංගල් හදලා පූජාව තියන්න නෙලුම් කොළ කඩන්න ගිහින් තමයි ඔරුව පෙරළිලා මේ දේ වෙලා තියෙන්නේ. මට සිදුවීම ආරංචි වෙනකොට මම බස් එකේ සෙනඟ පටවන් පුල්මුඩේ ඉඳන් ත්‍රි'මලේට එනවා." මියගිය තංග‍ෙදාරෙයිගේ බාල සහෝදරයකු වන ධර්මලිංගම් උදය කුමාර් සිදුවූ විපත හැඬ­ ක½දුළින් කියයි.

පළමු අස්වැන්නෙන් ගෙන ආ සහලින් පොංගල් බත සාදා ඒ පූජාව නාතනාර් දෙවියන් වෙනුවෙන් තබන්නට නෙලුම් කොළ කඩන්නට තංග‍ෙදාරෙයි වැවෙහි තිබූ ඔරුවට ගොඩවී ඇතත් දරුවන්ව ඔරුවේ ගෙනයන්නට ඔහු තුළ අදහසක් නොතිබිණි. නමුත් මේ සිඟිති දරුවෝ තංග‍ෙදාරෙයිට පෙරැත්ත කරමින් "අපිට අද නිවාඩුනේ. ඔයා අපිව වැවේ චුට්ටක් ගෙනියන්නයි" කීවේය. දරුවන්ගේ හුරතල් කතාවෙන් උතුරා ගිය සෙනෙහසින් ඔහු මේ දරුවන් ඔරුවෙහි තබාගෙන මඳ දුරක් පැද්දේය. අෑතට නොපදින්නට වග බලාගත් තංග‍ෙදාරෙයි වැව් බැම්මට ඔබ්බෙන් මඳ දුරක් ගොස් නෙලුම් කොළ කිහිපයක් කැඩුවේය. දරුවන්ද දඟකාරකමට වැව් දියට පහත්වී නෙලුම් කොළයක් දෙකක් කැඩුවේය. පූජාව සඳහා පොංගල් බත උයා අවසන් කළ දරුවන්ගේ මවුවරු දෙපොළ තංග‍ෙදාරෙයි හා දරුවන් නෙලුම් කොළ කඩන දෙස ගල පාමුල සිට බලා සිටියේය. කිසිවකුත් නොසිතූ ලෙස ඔරුව පෙරළී ගියේය. මවුවරු බලා සිටියදී තංග‍ෙදාරෙයි හා මේ සිඟිත්තෝ වතුරට වැටිණි. තංග‍ෙදාරෙයිගේ බිරිය උදවු ඉල්ලමින් මහ හ¾ඩින් විලාප තැබුවාය.

දියට වැටුණු දරුවන් නාතනාර් දෙවියන්ට කැපකළ කෝවිල ඉදිරිපිට තම ජීවිතය වෙනුවෙන් වැව් දිය සමඟ පොර බැදුවෝය. තංග‍ෙදාරෙයිට ඔරුවේ එල්ලෙන්නට පුළුවන්කම තිබුණත් ඔහු සිය බරට යළිත් ඔරුව පෙරළේ යැයි සිතා ගිලෙන දරුවන් බේරාගනිමින් පෙරළුණු ඔරුව මතට දැමුවේය. ජීවිතය ඉල්ලා සිය ඇඟෙහි දැවටෙන දරුවන් බේරා ගන්නට තංග‍ෙදාරෙයි නොගත් උත්සහයක් නැති තරම්ය. තමන් දියෙහි ගිලෙද්දී ඔහු අසුවන සෑම දරුවකුම ඔරුවට දැම්මේය. අවසානයේදී නාතනාර් දෙවියන් ඉදිරියේදීම තංග‍ෙදාරෙයි හා දරුවෝ සිය ජීවිත සටනින් පැරදුණේය.

දියෙහි ගිලෙමින් සිටි පිරිසගෙන් තංග‍ෙදාරෙයිගේ හය හැවිරිදි බාල දියණිය බේරා ගනු ලැබූ විශ්වවිද්‍යාල සිසුවකු වන වෙල්ගම් වෙහෙර ගමේ පදිංචි නිරෝෂන් අබේවික්‍රම සිදුවීම මෙසේ විස්තර කළේය.

"අම්මත් එක්ක වැවට නාන්න ඇවිත් ඉද්දි උදවු ඉල්ලා කෑ ගසන සද්දෙට මම ඒ පැත්තට දිව්වා. මම එනකොට ඔරුව පෙරළිලා වතුරෙන් ඉස්සුන ඔරුවේ පුංචි දරුවෝ දෙන්නෙක් එල්ලිලා හිටියා. මම එක පාරටම වතුරට පැනලා ඔරුවට පීනගෙන ගියා. මට දරුවෝ දෙන්නම ගන්න බැහැ. එක්කෙනෙක් අරන් ගොඩට ඇවිත් ආයේ බාගයක් දුර යද්දි අනෙක් දරුවා ඔරුවත් එක්කම මගේ ඉස්සරහම වතුර යටට ගියා. ඒ එක්කම වැවට තව කෙනෙක් පැනලා තිබුණා. අපි වතුර යටට ගිය දරුවා ඉක්මනින් උස්සලා ගත්තා. මේ අය බේරගන්න තවත් අය වතුරට පැන්නා. දෙවැනි දරුවා ගොඩ ගන්න කොට පණ තිබුණා. ගොඩට ගත්ත දෙන්නා ඉක්මනින් රෝහල අරන් ගියා. අන්තිමට ගත් දරුවා රෝහලේදී මැරුණා කියලා ආරංචි වුණා. ගමේ අයයි වැවට ආව අයයි වතුරට බැහැලා ඉතිරි අයවත් ඉක්මනින් හොයලා ගොඩට අරන් රෝහල් ගත කළා. ඒත් වැඩක් වුණේ නැහැ. ඉස්සර වෙලා ගත්ත දරුවා විතරක් බේරිලා තිබුණා. මේ දරුවෝ බේරගන්න තාත්තා ලොකු සටනක් කරලා තිබුණා. එයත් මැරුණා" නිරෝෂන් මේ සිදුවීමෙන් කම්පාවෙමින් එසේ පවසයි.

ගොඩට ගත් පිරිස හැකි ඉක්මනින් අසල පිහිටි නිලාවේලි ප්‍රාදේශීය රෝහලට ගෙන යන්නට ප්‍රදේශවාසීහු කටයුතු කර තිබුණහ. නමුත් තංග‍ෙදාරෙයිගේ හය හැවිරිදි පවුසානි නමැති දියණිය හැර සෙසු දරුවන් ඔහුත් සමඟ මෙලොව හැර ගොස් සිටියහ. මියගිය පිරිස අතර හතළිස් දෙහැවිරිදි ධර්මලිංගම් තංග‍ෙදාරෙයි හා ඔහුගේ දියණියක වන නව හැවිරිදි තංග‍ෙදාරෙයි සංගවිත් සිටියේය. ඒ සමඟම තංග‍ෙදාරෙයිගේ බිරියගේ බාල සොහොයුරන් දෙදෙනාගේ දරුවන් තිදෙනකු වන නව හැවිරිදි සුරේෂ් කේෂි රාජ් හා හත් හැවිරිදි වියේ පසුවන සුරේෂ් යුදේෂන් රාජ් යන පුතුන් දෙදෙනා සහ සුගන්දන් පෙරනවි දැරියද ජීවිතයෙන් සමුගෙන තිබිණි.

තංග‍ෙදාරෙයිගේ බිරිය වන වසන්ති රාණි නිලාවෙලි රෝහලේ උපස්ථායිකාවක ලෙස කටයුතු කරනු ලබයි. එකම පවුලක ඥාතීන් වන මියගිය මේ පිරිස අතර ඇගේ සැමියා හා දියණියකද සිටී. ඇයගේ මියගිය වැඩිමහල් දියණිය වන සංගවී කුඹුරුපිඩ්ඩි මෙතොදිස්ත විදුහලේ හත වසරේ ඉගෙනුම ලබයි. වසන්ති රාණිගේ සොහොයුරන්ගේ දරුවන් වන යුදේශන් හා කේෂි රාජ් ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විදුහලේ දෙවැනි හා හතර වසරවල ඉගෙනුම ලබන අතර පෙරනවි නිලාවේලි රෝමානු කතෝලික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ බව තංග‍ෙදාරෙයිගේ සොහොයුරු උදය කුමර් පවසයි.

මියගිය පෙරනවිගේ පියා සහ මව උපතින්ම ශ්‍රව්‍ය කථනාබාධිත අය වන නමුත් මේ අයට දාව උපන් පෙරනවීට හොඳින් කතාබහ කිරීමේ හැකියාව තිබිණි. පෙරනවීට අමතරව තවත් මාස හතක දරුවකුද මේ දෙපළට සිටී. තමන්ට කතාබහ කළ නොහැකි වුවත් සිය දියණියගේ කතා බහ දෙස බලා මේ දෙපළ මහත් සතුටට පත්වූහ. ශ්‍රව්‍ය කථනාබාධිත වුවද සුගන්දන් නිලාවෙලි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මුරකරුවකු ලෙස සේවය කරයි. සිය පියා සමඟ බයිසිකලයේ නැඟී පාසල් යන පෙරනවී ඔවුන් පසුපසින් එන වාහන මාර්ගයේ ඉඩ ඉල්ලා මහ හයියෙන් නළා හඬ නංවද්දී ඒ බව තට්ටු කර පියාට දන්වයි. මේ නිසා සුගන්දන් බයිසිකලයෙන් ගමන් බිමන් යද්දී පෙරනවිද රැගෙන යන්නේ තමන්ට පසුපසින් එන වාහන හඬවල් නෑසෙන නිසාවෙනි. අදින් පසුව මට එහෙම පාර පෙන්වන්නේ කවුදැයි දියණියගේ වියෝව දරාගත නොහැකිවූ සුගන්දන් හස්ත සංඥා දක්වමින් වැලපෙමින් අසන්නේ අවට සිටියවුන්ගේ දෙනෙත් කඳුළින් තෙත් කරවමිනි.

තංග‍ෙදාරෙයිගේ සහ දියණියගේ දේහයන් ඔහුගේ නිවසේ එක ළඟ තැන්පත් කර තිබූ අතර සෙසු දරුවන් තිදෙනාගේ දේහයත් ඊට යාබදව පිහිටි රත්නභවන් සුරේෂ්ගේ නිවෙසෙහි තැන්පත් කරනු ලැබීය. පසුදාම හින්දු චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදු කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබිණි. මේ දරුවන් මියගිය දා සිට දේහයන් සඳහා අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත පිරිසක් ජාති, ආගම්, කුලමල භේදයකින් තොරව පැමිණියහ. ඒ අතර විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයෝ රැසක්ම සිටියහ. සඳහටම දෙනෙත් පියාගත් සිය සහෝදර මිතුරු මිතුරියන්ට ගෞරව දැක්වීමට මහවැසි නොතකා පාසල් රැසක සිසු සිසුවියෝද පැමිණියහ.

මහවැසි ඇදහැලෙමින් පැවැතියදී මෙලොවින් සදහටම සමුගත් සිඟිත්තන් සිවු දෙනාගේ සහ පියාගේ නිසල දෙණ කර මත තබාගත් පිරිස හැඬූ­ කඳුළින් වේලයුර් සුසාන භූමිය දක්වා ගියහ. මහ සයුරට මුහුණලා පිහිටි සොහොන් බිමෙහි කණින ලද එකම වළක මළ හිරු අවරගිරින් බැස යන සන්ධ්‍යාවේ සියලු දෙනාගේම දේහයන් සහිත දෙන තැන්පත් කරනු ලැබීය. දෙනෙතින් වැටෙන කඳුළු වැසි දියෙන් සේදී වළට පතිත වෙද්දී මළගමට පැමිණි සියල්ලෝම මිටින් ගත් පස් පිඬ බැගින් ගෙන වළ තුළට දැමූහ.
දහසක් දෙනාගේ නෙතගට කඳුළු එක් කරමින් පෙරනවිලා යුදේෂන් රාජ්ලා වැනි හෙට ලොව විකසිත වන්නට තිබූ මල් කැකුළු පෙරියකුලම් වැවෙහිම පරව ගියේය. නමුත් මින් මතුවට හෝ මෙවන් විපතක් මෙම වැවෙහි සිදු නොවන්නට ඒ ආශි්‍රතව අනතුරුදායක පුවරු සවි කිරීමට වගකිවයුත්තන්ගේ අවධානය දැන්වත් යොමුවිය යුතු වන්නේය.

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon