දසනායක රණවිරුවා අත්අඩංගුවට ගත්තේ ද්‍රෝහී ආණ්ඩුවට අමු කැවිලද?

  👤  3888 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (26).jpg (600×350)

මුළු මහත් ජාතියකට අභයදානය ලබාදුන් රණවිරුවන් සිටිය යුත්තේ රජගෙදර වුවත් අද රජගෙදර සිටිනවුන් එම රණවිරුවන්ට සිරගෙදර උරුම කරදී ඇති බවත් ඒ වරද කඩිනමින් නිවැරැදි කිරීමට කළ හැකි සියල්ල සිදුකරන බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කොමදෝරු ඩී. කේ. පී. දසනායක රණවිරුවා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මෙසේද කීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉතා ඉහළ මට්ටමේ වගකීම් හොබවපු මේ රට වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සහ දායකත්වයක් සපයපු අනභිභවනීය රණවිරුවකු වූ කොමදෝරු ඩී. කේ. පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ප්‍රවෘත්තිය ඇසීමෙන් අප ඉමහත් කම්පනයට පත්වූවා. මේ ප්‍රවෘත්තිය, මාතෘ භූමියට අබමල් රොනක හෝ ආදරයක් ඇති සෑම අයකුම දේශපාලන භේදයකින්, ජාති, ආගම්, කුල, මල බේදයකින් තොරව සංවේගයට පත්විය යුතු ප්‍රවෘත්තියක්.

ඩී. කේ. පී. දසනායක රණවිරුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයන් 10 දෙනකු අතුරුදන් කිරීම යන චෝදනාව යටතේයි. මේ පිළිබඳ පරීක්ෂණ ගෙවී ගිය වසර පුරාම සිදුව තිබෙනවා. ඊට අදාළව දැනටමත් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් 04 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද සමයේදී ත්‍රිකුණාමලයේ සිට මාළු ලොරියක, අධි ශීතකරණයක බෝම්බ පුරවා ගෙනැවිත් කොළඹදී පුපුරුවා හැරීමේ සැලසුමක් නාවික හමුදා බුද්ධි අංශයට දැන ගැනීමට ලැබුණා. ඒ අනුව එම ලොරියත්, රියැදුරු හා සහායකයත් අත්අඩංගුවට ගැනුණා. පසුව කළ විමර්ශනවලදී ඊට කොටි ත්‍රස්තවාදීන් 10 දෙනකු සම්බන්ධ බව අනාවරණය වුණා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ කොටි ත්‍රස්තවාදීන් 10 දෙනා තමයි මෙහිදී අතුරුදන්වූ පුද්ගලයන් 10 දෙනා ලෙස සලකන්නේ.

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු සෙසු නායකයෝ මුහුදු යාත්‍රා මඟින් පලායෑමේ අවදානමක් යුද සමයේ අවසාන මාස තුන තුළ තිබුණා. ඒ නිසා නාවික හමුදාව සමුද්‍රාරක්ෂක වළල්ලක් සකසා තිබුණා. මාස තුනක් තිස්සේ කුඩා නාවික යාත්‍රාවකට වී බොහෝ දුක් ගැහැට විඳිමින් සෙසු කුඩා යාත්‍රා 100ක් සමඟ සමුද්‍රාරක්ෂක වළල්ලට නායකත්වය දුන්නේ කවුද? මේ දසනායක රණවිරුවා. මේ රට වෙනුවෙන් එසේ අපමණ සේවයක් කළ කොමදෝරු ඩී. කේ. පී. දසනායක විරුවා ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් කොටි ත්‍රස්තවාදීන් 10 දෙනකු අතුරුදන් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන හිරේ දමන්නේ මේ ආණ්ඩුවට අමු කැවිලාද, කියා මා අහන්න කැමැතියි.

අපි මේ ද්‍රෝහී ආණ්ඩුවට බලකර කියා සිටිනවා 'කරුණාකරලා කොමදෝරු ඩී. කේ. පී. දසනායක ඇතුළු සියලුම බුද්ධි අංශ රණවිරුවන් නිදහස් කරන්න. මේ රණවිරු දඩයම වහා නවත්වන්න කියා.

'2015 ජනවාරි 08 වැනිදා මේ රටේ මිනිසුන් බහුතරයක් කළ වැරැද්දක් නිසයි ඔබලාට මෙවැනි ඉරණමක් අත්වුණේ. මල්මාලා දැමිය යුතු ඔබගේ ගෙලට අද තොණ්ඩුව වැටෙමින් තිබෙනවා. අපි ඒ වැරැද්දට 2015 ජනවාරි 08 දායක නොවුණත් ජාතිය වෙනුවෙන් අපි මෙසේ ඔබලාගෙන් සමාව ඉල්ලා සිටිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්