මවට පුතු නැති කළ පුතුට මව නැති කළ දෙකොනම පටලැවුණු කිරි කඳුළු කතාවත

  👤  3758 readers have read this article !
By mawbima 2018-03-18

වවුනියාව බෝගස්වැවේ පදිංචිව සිටි එම්.එම්. කල්‍යාණි මානගේ තම සතරවැනි දරු ප්‍රසූතිය සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් වූවාය. ඒ වවුනියාව මහ රෝහලේ ගැබිනි වාට්ටුව වූ අංක පහේ වාට්ටුවටය.

මාර්තු මස හත් වැනිදා වන විට කල්‍යාණි මහත්මිය හතරවැනි වතාවටත් සුරතල් පුතකුගේ මවක වූවාය. ඇය වහාම කොළඹට ගොස් සිටි සිය ස්වාමියා වූ රාමනායකට ඒ බව දැනුම් දුන්නේ හද පිරි සතුටෙනි.

රාමනායක කොළඹ සිට වවුනියාවට පැමිණෙන අතරතුර සිය සුරතල් දරුවාද බලා ආපසු බෝගස්වැව ගම්මානයට ගියේ මාර්තු 9 වැනිදා ටිකට් කපාගෙන බිරියත් සිය සුරතල් පුතුත් නිවෙසට රැගෙන යන අටියෙනි.

මාර්තු මස 9 වැනිදාට පහන් විණි. කල්‍යාණි සිය සුරතල් පුතු සමඟ වාට්ටුවේ සිටින විට තවත් ගැබිනි මවක් ඇය ළඟට කිට්ටු වූවාය.

ඔයා සිංහලද?

"ඔව් මම සිංහල... පදිංචි වෙලා ඉන්නේ බෝගස්වැව.... දැන් මහත්තයා එනවා. එතකොට ළමයත් එක්ක මේ ගෙදර යන්නයි සූදානම් වෙන්නේ..... කල්‍යාණි පිළිතුරු දුන්නාය."

"මහත්තයා ගොඩක් සුදු ද? ලස්සන කොලු පැටියා නේද?" කියමින් ආගන්තුක ගැබිනි කාන්තාව කතාවෙන් කතාවෙන් දරුවා වඩාගෙන සිපගන්ට වූවාය.

කල්‍යාණිගේ ස්නේහය තවත් වැඩිවිණි. ඇයට දැන් ගෙදර යෑමට කිට්ටු බව යළිත් මතක් විණි.

"එහෙනම් නංගි මේ ළමයා ටිකක් බලාගන්න. මම මූණ අතපය සෝදගෙන එන්නම්" යනුවෙන් පවසමින් කල්‍යාණි රෝහලේ නාන කාමරය දෙසට ගියාය. විනාඩි කිහිපයකින් ආපසු පැමිණි කල්‍යාණිට දරුවා දැකගන්නට නොවීය. අහම්බෙන් අඳුනාගත් කාන්තාවද වාට්ටුවේ නොවීය. දරුවා සුරතල් කරමින් වාට්ටුවේ සාලයට යන්නට ඇතැයි සිතූ කල්‍යාණි සබන් පෙට්ටිය තැබීමට ඇඳ අසලට යන විට ඇයට දෙලෝ රත් විය. අලුත උපන් බිලිඳකුගේ අතේ ගැටගසන සියලු විස්තර ඇතුළත් කාඩ් බෝඩ් "ටැග් එක" සිය පුතු නිදා සිටි තැන ඇඳ මත තිබිණි.

"අයියෝ මගේ දරුවා" කියමින් විලාප තබමින් කල්‍යාණි වාට්ටුව දෙවනත් කළාය.

ළඟ සිටි තවත් මවක් කියා සිටියේ පළමුව ළමයා වඩාගෙන සිටි කාන්තාව දරුවා රැගෙන මෙතැනින් එළියට ගිය බවයි.

කල්‍යාණිගේ විලාපය මුළු පහේ වාට්ටුව පුරාම දෝංකාර දෙන්නට විය. රෝහල් කාර්ය මණ්ඩලය වහාම පැමිණ සිදුවූ දේ විමසා බලා වහාම මේ ගැන රෝහල් පොලිසියට තොරතුරු දැනුම් දුන්නේය.

රෝගීන් බලන වේලාවේදී කල්‍යාණිගේ ස්වාමිපුරුෂයා රෝහල් වාට්ටුවට පැමිණියේ බිරිය හා දරුවා බෝගස්වැව නිවෙසට රැගෙන යෑම ස¼දහාය. කල්‍යාණි සිය සැමියා දුටු සැණින් විලාප තබන්නට වූවාය.

"අයියෝ මගේ දරුවා....." ඇයට කියා ගන්නට ලැබුණේ එපමණකි.

රාමනායකට පහළ වූයේ වෙනත් සිතුවිල්ලකි.ඔහු අනුමාන කළේ දරුවාට වෙනත් විපතක් සිදුවී ඇති බවකි. එහෙත් ළඟ සිටි කාන්තාව තොර තෝංචියක් නැතිව රාමනායකට විස්තරය කී නිසා ඔහුටද සිටි තැන අමතක විය.

කෙසේ හෝ සවස් වන විට පොලිසිය ක්‍රියාත්මක විය. කල්‍යාණිගේ කටඋත්තරය ලබාගත් පොලිසිය ඊළඟට බෝගස්වැවට ගියේ රාමනායකගෙන් කට උත්තරයක් ලබාගැනීමටය. රාමනායක අපට හමු වූයේ පොලිසියට කටඋත්තර ලබාදී ස්වල්ප වේලාවකට පසුවය. ඔහු සිටියේ කෝපයෙනි.

"මේක යකාගේ වැඩක්නේ මහත්තයෝ. පොලිසිය ආව ගමන් අහන්නේ අපි ළමයා වික්කා නේද? කියලා. මම කිව්වා ළමයි විකුණනවා නම් මේ ළමයි හතර දෙනාම මම මෙලහකට විකුණලා තියෙන්න ඕනේ කියලා.

බලමු පොලිසිය ඔක්කොම හොයා ගන්නම් කියලනේ ගියේ. මොකක් හරි හොඳක් වෙයිනේ. වුණාට පස්සේ අපි බලමුකෝ."

බෝගස්වැව බොහෝ ගම්වාසීන්ද පොලිසියට කියා තිබුණේ ළමයා විකුණන්නට ඇති බවයි. නමුත් වවුනියාව පොලිසියේ නිලධාරීන් මේ දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිසි දැනුවත් කිරීමට කටයුතු කොට තිබිණි.

මාර්තු 9 වැනිදා සවස් කාලය වන විට පදවිය - වාහල්කඩ ප්‍රදේශයේ කාන්තාවක් සිය අලුත උපන් දරුවා සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වන්නේ දරුවා ඉපදී දින දෙකකින් දරුවාගේ සිරුර කහ පැහැ ගැන්වී ඇති බව කියමිනි.

වාට්ටුවට ඇතුළත් වූ කාන්තාවගේ දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් කාන්තාවගෙන් එක් එක් ප්‍රශ්න නඟන විට ඒ සෑම ප්‍රශ්නයකටම නිවැරැදි පිළිතුරු ලබාදීමට කාන්තාව අසමත් වූවාය. අවසානයේදී වෛද්‍යවරුන් කාන්තාව පරීක්ෂා කොට බැලීමේදී ඇයට දරුවකු ලැබුණු රෝග ලක්ෂණ නොවීය. දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ඇය අවසානයේදී පවසා ඇත්තේ තමන් මේ දරුවා හදා ගැනීමට ගත් බවකි.

"දවස් දෙකක ළමයෙක් වෙන කෙනකුට හදා ගන්න දෙන අම්මෙක් ඉන්නවාද?" අනුරාධපුර රෝහලේ නර්ස් නෝනලාට ප්‍රශ්න ගොඩයි. අවසානයේදී මේ දරුවාගේ කතාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොලිසිය දක්වාම පියෑඹුවේය.

එතැන් සිට වූ දේ අපට විස්තර කළේ වවුනියාව පොලිසියෙන් මේ අතුරුදන් දරුවා ගැන පරීක්ෂණ මෙහෙයවන ලද ජේ‍යෂ්ඨ නිලධාරියාය.

"අනුරාධපුර රෝහල් පොලිසියේ දැනුම්දීමකට අනුව අපිට තොරතුරු ලැබුණා මෙතැන දරුවෙක් ඉන්නවා කියලා. ඒ අනුව අපි නිලධාරීන් පිරිසක් පිටත් කරලා යවලා පරීක්ෂණ සිදුකළා. ඒ දරුවා වවුනියාව මහ රෝහලේදී උපන් දරුවා බව පරීක්ෂණවලදී තහවුරු වුණා.

ඊට පස්සේ තමයි කාන්තාවගෙන් ප්‍රශ්න කළේ. ඇය විවාහක කාන්තාවක්. නමුත් ඇයට වසර ගණනක් ගත වුණත් විවාහයෙන් දරුවන් නෑ. මේ නිසා ස්වාමිපුරුෂයාගේ මවුපියන් ඇයට බනින බවත් ඒ විවාහය දරුවන් නොමැතිකම නිසා බිඳී යන තත්ත්වයකට පත්වී ඇති බවත් කාන්තාව පැවැසුවා.

මේකට පිළියමක් විදියට ඇය උදරයට කොට්ට බැඳගෙන ගැබිනි මවක් විදිහට විවිධ තැන්වල රඟපෑම් කරලා තියෙනවා. තමන් ගැබිනි මවක් කියලා රෝහල්වලට ඔප්පු කරන්න ඇය විසින් මාතෘ සායන කාඩ්පතක් පළාතේ රෝහලකින් ඇගේ නමට හොරෙන් හදාගෙන තියෙනවා.

ඇය කෙසේ හෝ උත්සාහ කරලා තියෙන්නේ දරුවෙක් හොරකම් කරලා ඇගේ බව ඔප්පු කරන්නයි. මාර්තු 9 වැනිදා මේ කාන්තාව ස්වාමිපුරුෂයාගේ ගෙදර අයට දැනුම් දීලා තියෙනවා තමන්ට අනුරාධපුර රෝහලේදී දරුවෙක් ලැබුණු බවත් ඉතා ඉක්මනින් දරුවාත් රැගෙන ගෙදර එනවයි කියලා. ඇය දරුවාව හොරකම් කරලා තියෙන්නේ ඇගේ විවාහය ආරක්ෂා කරගන්නයි.

පොලිසිය මේ කාන්තාව අත්අඩංගුවට අරගෙන වවුනියාව දිසා විනිසුරුවරිය වන ශ්‍රී නිධි නන්දසේකරන් මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. දරුවා තවමත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටිනවා. ඒකට කරුණු දෙකක් තියෙනවා. පළමු කාරණය තමයි අධිකරණ නියෝගය. අධිකරණ නියෝගයේ සඳහන් වෙන්නේ ඩී.එන්.ඒ. (ච්ව්ඒ) පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව මවට දරුවා භාර දෙන ලෙසයි.

දෙවැනි කාරණය වන්නේ ඇත්තෙන්ම දරුවාගේ ශරීරය කිසියම් හේතුවක් මත කහ පැහැ ගැන්වී තිබෙනවා. මේ නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තීරණය කොට තිබෙන්නේ ඒ දරුවා නොමේරූ ළදරු ඒකකයේ තැන්පත් කළ යුතුයි කියලයි. ඒ අනුව ඒ දරුවා ඒ ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

දරුවා සොරකම් කළ මව දින 14කට රිමාන්ඩ් භාරයේ තබා තිබෙනවා. ඒ අධිකරණයෙන් ලැබුණු නියෝගය මත. පොලිස් පරීක්ෂණ දිගින් දිගටම සිදු කරගෙන යනවා. දරුවාගේ නියම මවගේ කටඋත්තර ලබාගෙන තිබෙනවා. ඇයට තමන්ගේ දරුවා බැලීමට අවසරය තියෙනවා. ඒත් රෝහල් කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේයි. ච්ව්ඒ පරීක්ෂණය අවසන් වුණාට පස්සේ ඒ වාර්තා දෙක වවුනියාව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ මවට දරුවා ලැබෙනවා. මෙතැන සොරකම් කිරීම, අයිතිවාසිකම් කීම වගේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒක නිසා මේක විසඳන්න අවශ්‍ය වෙන්නෙ අධිකරණ නියෝගයක් මතයි."

දරුවාගේ නියම මව කල්‍යාණි මානගේ වුවත් දැන් ඇය කියන කතාව චිත්‍රපටයක එසේත් නොමැති නම් නවකතාවක කොටසක් මෙන් අපට හැඟී යයි. කෙසේ වෙතත් ඒ මාතාව තවමත් පිස්සියක මෙන් තැන තැන ඇවිදියි. දාරක ස්නේහය මත රුධිර දහරාව කිරි බවට පත්වී ගලාගෙන ගියද තම රුධිරයෙන් උපන් දරුවාට ඒ මවු කිරි ලබාදීමට කල්‍යාණිට වාසනාව නැත.

මැක්සිම් ගෝර්කිගේ "අම්මා" නමැති පොතේ ඕනෑම ජීවියකුට ශක්තිය ලබා දෙන්නේ මවු කිරිත්, හිරු එළියත් බව කීවද අලුත උපන් දරුවාට මේ දෙකම නැත. ඒ දරුවා තවමත් සිටින්නේ නොමේරූ ළදරු ඒකකයේ වීදුරු පෙට්ටියකය.

බර්ටෝල් බේ‍රෂ්ට්ගේ හුණුවටයේ කතාවට වඩා බෝගස්වැව දරුවාගේ කතාව මඳක් වෙනස් වන්නේ එක් දිනක් දරුවා හදාගත් මව දරුවා වෙනුවෙන් අයිතිවාසිකම් නොකීම නිසා පමණි.

දරුවා වැදූ මව පොලිසිය හරහා අධිකරණය වෙත ගොස් සාධාරණය ඉල්ලූ තැන හුණුවටය නාටකයේ "අසඩැක්" ලබාදුන් නඩු තීන්දුවට වඩා හාත්පසින්ම සාධාරණ වූ විසඳුමක් බෝගස්වැව කල්‍යාණි මාතාවට ලැබී තිබේ.

කෙසේ වෙතත් සාධාරණව උපයා සපයා ගත් වස්තුව සාධාරණ ලෙස අයිතිකරුට හා සුදුස්සාටම ලැබී තිබේ.

දෙයක් වේ නම් එය සුදුස්සාටම ලැබිය යුතුය යන්නද කියවුණේ හුණුවටය නාටකයේමය.

රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon