දේශපාලනික බරක් සහිතව ගේන ඕනෑම විශ්වාසභංගයකට අපි සහාය දෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක

  👤  3539 readers have read this article !
By mawbima 2018-03-18

ජනතා විමුක්ති පෙරමුණ ඇතැම් අවස්ථාවල ජනතාව අතර අප්‍රසාදයට පත් වෙලා තියෙන්නේ නායකත්වයේ පවතින අධි තක්සේරුකම් හින්දා කියලා චෝදනාවක් තියෙනවා.
එහෙම චෝදනාවක් තියනවද?

ජනතා විමුක්ති පෙරමුණ වශයෙනුත්, පුද්ගලයන් වශයෙනුත් නිහතමානී සාධාරණ විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. දේශපාලන නායකත්වය තක්සේරු වන්නෙත් ඒ විදියට. විශාල බිඳවැටීම් හරි විශාල උද්දාමයන්ට හරි ජවිපෙ පත්වෙලා නෑ. වෙන්නෙත් නෑ. අපි පක්‍ෂයක් ලෙස පක්‍ෂයෙන් වගේම පක්‍ෂයෙන් පිටත් බොහෝ අයගෙ අදහස් උදහස්වලට ඇහුම්කන් දෙනවා. මේ ඡන්දෙදි ජවිපෙ විතරයි ජවිපෙ නොවන උගතුන්, බුද්ධිමතුන්, ජනමාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් හිටියෙ.

ඇතැම් ප්‍රකාශ හා විවේචන හමුවේ ජවිපෙ සාම්ප්‍රදායික පක්‍ෂයක් ලෙස දිගින් දිගටම සිටිය යුතු නෑ කියන තර්කය ඔබලා ඉදිරිපත් කරනවා. මොකක්ද අද වෙද්දි ඇති කරලා තියෙන වෙනස?

අපි සාම්ප්‍රදායික පක්‍ෂවලට වඩා හොඳ පැහැදිලි වෙනස්කම් පෙන්නලා තියෙනවා. සාමූහික නායකත්වයක් තියෙනවා. එහිපුද්ගල වන්දනා හෝ නායක වන්දනා නෑ. අපි රට තුළ හොරකම් නොකරන දේශපාලන පක්‍ෂයක් හදලා තියෙනවා. ගොඩක් සිවිල් සංවිධාන ගත්තොත් වංචා දූෂණවලින් පිරිලා. හැම තැනම හොර ගුහාවල්.

පළාත් පාලන ඡන්දයට පෙර ජවිපෙ තිබූ උනන්දුව, කැපවීම ඡන්දෙත් එක්ක නැති වෙලා ගිහින්ද?

ඡන්දය කියන්නෙ බොහොම වේගවත්, කෙටිකාලීන ක්‍රියාවක්නේ. එහිදී වැඩ කරන විදිහයි ඡන්දෙන් පස්සෙ වැඩකරන විදිහයි පැහැදිලි වෙනසක් තියෙනවා.

නමුත් ගම හදන්න නේද බලය ඉල්ලුවේ?

එහෙනම් මැතිවරණයට තිබුණු උනන්දුව තිබිය යුතුයි නේද?

ගම හදන්න පුළුවන් බලයත් එක්ක. ඊට අදාළ නීතිය, පරිපාලනය, මුදල්, සම්පත් සහිත බලය ලැබිය යුතුයි. නැතත් අපිට ගමට අවශ්‍ය සදාචාරමය මැදිහත්වීමක් යම්යම් අඩුපාඩු අවස්ථාවලදී කරන වැඩ ප්‍රමාණයක් තියෙනවා. අපිට දීලා තියෙන ජනවරම තුළ ගමට සේවය කරන්න අපි සැලසුමක් හදලා තියෙනවා. මන්ත්‍රිවරු ගැසට් කරන්නත් කලින් අපි ඒ මන්ත්‍රිවරු කැඳවලා අවශ්‍ය උපදෙස් දුන්නා. තවම සභා ටිකවත් පිහිටුවලා නෑනේ.

මැතිවරණය අවසන් වෙලා මසකට අධිකයි. 2019 වෙද්දි ලබපු ජනවරමෙන් 10%ක් වත් ඉටු කරගන්න බැරි තත්ත්වයක් පෙන්නන්නේ. ආණ්ඩුව වැඩ පටන් ගන්න තුරුද ජවිපෙත් බලාගෙන ඉන්නෙ?

තවම මැතිවරණ කොමිසමටවත් පුළුවන් වෙලා නෑනෙ සභා පිහිටුවන්න. ඒ ප්‍රශ්නය තියෙනවා.

ඒ ප්‍රශ්නය කොපමණ කල් ඇදෙයිද?

එහි අවසන් ප්‍රකාශය කළ හැකි වන්නේ මැතිවරණ කොමිසමට. ඒත් අපි හිතනවා මේ මාසෙ අවසන් වනවිට සභා පිහිටුවන්න කටයුතු කළ යුතුයි කියලා. ඡන්දෙ පවත්වලා මාස එකහමාරක් යන තුරුත් සභා පිහිටුවන්න බැරි නම් ගැටලුවක් තියනවනේ.

ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වයත් සමඟ රටේ ආණ්ඩුවක් නැති තරමට සති 2ක් ගතවුණා?

ඕනෑ තරම් ඡන්ද ප්‍රතිඵලවල වෙස්කම් ඇති වෙලා තියෙනවා. ඒත් ආණ්ඩු නැතිවෙලා නෑනේ. ප්‍රශ්නය ඇතිවුණේ මෛත්‍රිපාල ජනාධිපතියි, රනිල් වික්‍රමසිංහ අගමැතියි අතර බල පොරය නිසා. නැතිව රාජපක්ෂලාට ඡන්දෙ වැඩි වූ නිසා නොවේ. රාජපක්ෂ මහතාට දැනුත් ජනාධිපතිවරණයට වඩා ඡන්ද ලක්ෂ 8ක් අඩුවෙලා. මෙච්චර ආණ්ඩුව දුර්වල වෙලා තියෙද්දිත් සිරිසේන - වික්‍රමසිංහ බලපොරය තවම නැති වෙලා නෑ.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගේන බව කියද්දි ජනතා විමුක්ති පෙරමුණ මල නොතළා රොන් ගන්න හැටියට බොහොම ප්‍රවේශමෙන් උත්තර දුන්නේ?

මම නම් මල නොතළා රොන් ගන්න විධියට කියලා නෑ. මේ ගැන මගෙන් මුලින්ම විමසුවේ විදෙස් මාධ්‍ය. මම එහිදී කිව්වෙත් විශ්වාසභංගයක් ගෙනාවොත් සහාය දෙනවා කියලා. අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් පක්ෂයක් හැටියට අපි පක්‍ෂව සහාය දෙනවා.

නමුත් ඔබ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා කිව්වේ එවැනි විශ්වාසභංග යෝජනාවකදී ඇතුළත් විය යුතු කරුණු තිබෙනවා නම් පමණක් පක්ෂව සහාය ලබාදෙන බව?

විශ්වාසභංගයකට ප්‍රතිපත්තිමය වශයෙන් අපි අපේ සහාය දෙනවා. ඒ ගැන විවාදයක් නෑ. නමුත් විශ්වාසභංග යෝජනාවත් ඕනෑම මන්දබුද්ධිකයකුට දාන්න පුළුවන් දෙයක් නෙමේනේ. විශ්වාසභංගයකට නිශ්චිත කරුණක් ඇතුළත් විය යුතුයි. රනිල් වික්‍රමසිංහට මෙවැනි සම්බන්ධතා තියෙනවා කියලා විශ්වාසභංග ගේන්න බෑනේ. මං හිතන්නේ ඒ ගැන වැඩිපුර කරුණු පැහැදිලි කිරීමකදි වෙන්න ඇති ඔය කරුණු ඉදිරිපත් වුණේ. නීත්‍යනුකූලව ගත්තොත් තනි කෙනෙක්ටත් විශ්වාසභංගයක් ගෙන්න පුළුවන්. ඔයිට කලිනුත් රාජපක්ෂ කණ්ඩායම රවි කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවනේ. මහින්ද රාජපක්ෂ ඡන්දෙ දුන්නේ නැති. දේශපාලනිකව බරක් සහිතව ගේන ඕනෑම විශ්වාසභංගයකට අපි සහාය දෙනවා.

එහෙම නැතිව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ඇතුළු විපක්‍ෂයේ භූමිකාව නැතිවෙයි කියන බයට නෙවෙයිද ඉතා සූක්ෂ්මව ප්‍රකාශ ඉදිරිපත් කළේ?

අපි කියන්නේ ඉස්සරවෙලා විශ්වාසභංගය ගේන්න කියන්නකෝ. නිකම් වෙන වෙන කතන්දර කියලා වැඩක් නෑ. අගමැති ඉවත් කරන්න යෝජනාව ආවේ පෙබරවාරි 11දා. අද මාර්තු 16දා. කොළේවත් ඉදිරිපත් වෙලා නෑ. ඒ වගේම විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකකමින් ජවිපෙට මොනවද ලැබිලා තියෙන්නෙ? විපක්‍ෂ නායකට යම් බලතල ප්‍රමාණයක් තිබෙනවා පාර්ලිමේන්තුවේ. ඒ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකකම ජවිපෙට ආණ්ඩුවෙන් දුන්නු එකක් නෙවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ කණ්ඩායම් 6ක් ඉන්නවා. 6න් 3ක් ආණ්ඩුවේ. 3ක් විපක්ෂයේ.

නමුත් චෝදනාව තියෙන්නෙ ජවිපෙ විපක්ෂ භූමිකාව හරි හැටි ඉටු කරන්නෙ නෑ කියලා?

දැන් ඔය විපක්ෂයේ කතා කියපු අය ඡන්දෙන් පස්සෙ කොහෙද හිටියෙ. ඡන්දෙන් පස්සෙ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කිව්වම නිමල් සිරිපාල අගමැති කරන්න කියලා
ඉක්මනට ආණ්ඩුවක් හදනවා කිව්වම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න මහින්ද රාජපක්ෂලා ඔය ඔක්කොම කැමැති වුණේ නැද්ද? එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැති කෙනෙක් එනවා නම් සහාය දෙනවා කියලා තමයි මහින්ද රාජපක්ෂ කිව්වේ. වෙන නම්වලින් විපක්ෂයේ කිව්වට මේ අය කවුරු එක්කද ඉන්නෙ?

ඕනෑ වෙලාවක මෛත්‍රිපාල ජනාධිපති එක්ක ආණ්ඩුවක් හදන්න ලෑස්තියි. ඒක බැරි වුණු හින්දනේ ඔහොම ඉන්නේ.

ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක. ඔබට මෙයට සෘජු පිළිතුරක් දිය හැකියි. අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුද? නැත්ද?

රනිල් වික්‍රමසිංහට පමණක් නොවෙයි, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියන දෙදෙනාටම විශ්වාසභංග යෝජනා ගෙන ආ යුතුයි. මොකද දේශපාලන පරිවර්තනයට වැඩිම ජනවරම ලැබුණේ මෛත්‍රිපාල සිරිසේන මහතාට. එයාගේ එල්ලිලා තමයි රනිල් වික්‍රමසිංහ උන්නැහේ අගමැති වුණේ. පොරොන්දු කඩලා තියෙන්නේ දෙන්නම.

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය පාර්ශ්වයෙන් ගෙනෙන ක්‍රියාමාර්ග හරි වුණත් වැරදි වුණත් ඔවුන් සමඟ එකට සිට නොගන්නා දැඩි මතයක නේද ජ.වි.පෙ. සිටින්නේ?

අපි එහෙම කරලා නෑ. ඔවුන් ගෙනාපු විශ්වාසභංග සමහර ඒවට අපි පක්‍ෂව ඡන්දේ දුන්නා. ඔවුන් රවි කරුණානායකට ගෙනාපු විශ්වාසභංගයේදී පරදින බව දැන දැනත් අපි පක්‍ෂව ඡන්දේ දුන්නා. ඔවුන් ගේන හැම දේකටම පක්‍ෂවත් ඔවුන්ගේන හැමදේටම විරුද්ධවත් සිටිනවා කියන භාවිතාවේ අපි නෑ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ඩීල් ඇති කරගන්නා බව ඔහුට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වැඩි කාල වේලාවක් ලබාදීම වැනි ප්‍රබල චෝදනා අද වන විට ජ.වි.පෙ.ට "කළු පැල්ලමක් වී හමාරයි නේද?

ඒක චෝදනාවක් පමණයි. ඔප්පු කරලා නෑනේ. කළු පැල්ලම හරි මොන පැල්ලම හරි හදන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ ඩීල් දමන රාජපක්‍ෂ කල්ලියකින්නේ. ජනතාව නෙමේ. ජ.වි.පෙ. ආණ්ඩුවත් සමඟ සිට දේශපාලනිකව ගත් වාසියක් කියන්නකෝ? එහෙම නැති නම් පෞද්ගලික වාසියක් කියන්නකෝ? ඒවනේ ඩීල් කියන්නේ. දැන් අපිට පේනවා රනිල් හා මහින්ද අතර ඩීල් එක හින්දා මහින්දගේ නඩු ඇහෙන්නේ නෑ. ලලිත් වීරතුංගට ඇප ලැබෙනවා. මෛත්‍රිපාල හා ගෝඨාභය අතර ඩීල් හින්දා ගෝඨාභය අත්අඩංගුවට ගන්නේ නෑ. ඒ ඩීල්වල ප්‍රතිඵල අපිට පේනවා. ඇත්තම කතාව ජ.වි.පෙ. මේ රටේ විපක්‍ෂය වීම වළක්වන්න රාජපක්‍ෂ කල්ලියට අවශ්‍යයි. ඔවුන්ට දැවැන්ත කළු මාධ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඔවුන්ට අපට වඩා වැඩි පිරිස් බලයක් තියෙනවා. ඒ දෙකම පාවිච්චි කරලා එකම බොරුව සිය දහස් වතාවක් දැවැන්ත කළු ජනමාධ්‍ය හරහා යම් ජන කොටසක් තුළට මේ අදහස දාලා තියෙනවා. නමුත් ජ.වි.පෙ. වශයෙන් අපිට කවුරුත් එක්ක ඩීල් නෑ. අපි කොන්ද කෙළින් තියාගෙන පක්‍ෂය හදලා තියෙන්නේ. පවත්වගෙන යන්නේ. මේ පක්‍ෂයට එහෙම ඩීල් එකේ යන්නත් බෑ. අපි අභියෝග කරනවා ඩීල් වශයෙන් කරගත්ත දෙයක් කියන්න කියලා.

පුද්ගල අතුරුදන් වීම් සම්බන්ධ පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණා. ඇයි ජ.වි.පෙ. ඡන්දය නොදී මඟහැර ගියේ?

ජ.වි.පෙ. ලෙස අපි මේ පුද්ගල අතුරුදන් වීමේ පනතට සහාය පළ කරමින් කතා කළා. නමුත් එදා තමයි ඔය ජාතිවාදී කලකෝලාහල ඇති වෙලා දිගන සිදුවීම වූ දවස. ඒ නිසා පක්‍ෂය තීන්දුවකුත් ගත්තා අනුර සහෝදරයා වගේ කෙනෙක් නුවරට යායුතුයි මහ නායක හිමිවරු මුණ ගැහෙන්න. පනත ජය ගන්නා බව අපි පැහැදිලිව දැන සිටියා. ඉතා සුළු පිරිසයි විරුද්ධව හිටියේ. මම හිටියෙත් නෑ එදා. පනත අවශ්‍ය බව අපි කිව්වා.

එක් මන්ත්‍රිවරයකුට හරි ඉදිරිපත් වෙන්න බැරි වුණේ ඇයි?

එහෙම අවස්ථාවක් වුණේ නෑ. පනත අවශ්‍ය බව අපි කිව්වා. රට ගිනි ගනිද්දී අපි ඒක අස්සට වෙලා ඉන්නවාට වඩා අපි අවශ්‍ය තැනට යා යුතුයි.

ජාතිවාදී ප්‍රශ්න ගැන කතා කරන්න ගිහින් බිමල් රත්නායකට යම් තැනක වැරදුණාද?

නෑ. මට කොතැනකදීවත් වැරදුනේ නෑ.

ඔබ ප්‍රකාශයක් කළා සිංහල අන්තවාදයට විරුද්ධව කතා කරන්න පිරිසක් ඉන්නවා. දෙමළ අන්තවාදයට විරුද්ධව කතා කරන්නත් පිරිසක් ඉන්නවා. හැබැයි මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කතා කරන්න පිරිසක් නෑ කියලා. ඔබ වගකීමෙන් කළ ප්‍රකාශයක්ද?

ඔව්. මම කිව්වේ ඔබ කියූ විදියට සිංහල හා දෙමළ අන්තවාදයට එරෙහිව සිංහල හා දෙමළ පිරිසක් හිටියත් මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතා කරන්න මුස්ලිම් පිරිස මදි කියලා.

ඒකේ කිසි වරදක් නෑ. ඒක ඇත්ත. මේ රටේ තියෙන සිංහල ජාතිවාදයේ ස්වභාවය අනුව මුස්ලිම් අන්තවාදයක් හැදෙන්නේ නැතිනම් ඒක පුදුමයක්. මේ හදන වෛරි අදහස්වලට අනුව මුස්ලිම් අතර පවතින ගතානුගතික ඇතැම් නොගැළපෙන සම්ප්‍රදායන්ට එරෙහිව කතා කරන මුස්ලිම් දේශපාලනඥයෝ අඩුයි. ඊට වඩා ඒ ගැන මුස්ලිම් උගතුන් කතා කරනවා. ඒක කියන්න බය වෙන්න ඕනෑ නෑ.

මහනුවර - තෙල්දෙණිය සිදුවීම ගැන ආණ්ඩුව එකක් කියනවා. විපක්‍ෂය එකක් කියනවා. ජ.වි.පෙ. පුරුදු පරිදි පක්‍ෂ 2ටම ‍ෙදාස් කියනවා. මේ වගේ ප්‍රශ්නයකදී සියල්ල එක්විය යුතු නැද්ද?

එහෙම පුළුවන් අවස්ථාත් තියෙනවා. බැරි අවස්ථාත් තියෙනවා. මේ ජාතිවාදී ප්‍රශ්න වැඩිපුරම රටේ හැදුවේ රාජපක්‍ෂලා.

රාජපක්‍ෂ මහත්තයා මේ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තේ කඩවත රැස්වීමෙන්. ඊළම එනවා කියලා. ඒ කණ්ඩායමත් එක්ක අපිට හිටගන්න පුළුවන්ද? දෙක තමයි ජාතිවාදී තත්ත්වය දිගටම ඇතිවෙද්දී විවිධ බොරු කියනවා. සිංහල ජනතාව වඳ වෙනවය, වඳපෙති තියෙනවය කියලා බොරු කියද්දී මේ රනිල් - මෛත්‍රි එකම දශමයක්වත් එහි ඇත්ත නැත්ත ජනතාවට පැහැදිලි කළාද? මේ අවස්ථාවේදී පොලිසිය හමුදාව ක්‍රියාත්මක නොකිරීම බලපෑවා. මේ ප්‍රශ්නයේදී ජාතිවාදය හදපු කෙනයි ජාතිවාදය වළක්වන්න කටයුතු නොකරපු ආණ්ඩුවයි එක්ක අපිට එකට හිටගන්න බෑ.

අද ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තහනම් කරන තැනට පත්වෙලා. ජ.වි.පෙ.ත් මෙය අනුමත කරනවද?

ජාතිවාදය ඇති කරන ප්‍රධාන ධාරාවක් විදියට ජනමාධ්‍යයත් කටයුතු කරනවා. එක්තරා පත්තරේක කතුවැකිය හදලා තියෙන්නේ ජාතිවාදය උලුප්පලා. පට්ටපල් බොරුවක් තිබුණේ. පත්තර, ටෙලිවිෂන් අමු ජාතිවාදය හදනවා. පත්තර වැහුවේ නෑනේ. ටෙලිවිෂන් වැහුවේ නෑනේ. මෙච්චර ගින්නක් ඇති වෙද්දී මෙහෙම කටයුතු කරන්න කියලා මඟ පෙන්වීමක්වත් කළේ නෑනේ. ෆේස්බුක් භාවිතයේදී ඉතාමත් ව්‍යාජ, දූෂිත ආකාරයට පාවිච්චි කරනවා. සමාජ මාධ්‍ය නිසා පමණක් මේ දේ ඇති වුණා නම් අපි පිළිගන්නවා මේ තහනම් කිරීම සීමා කිරීම හරි කියලා. අම්පාරේ පිටි ගුළියේ ප්‍රශ්නේ ආවේ සමාජ මාධ්‍ය නිසාද? අන්තිමට වැරදිකාරයා වුණේ සමාජ මාධ්‍ය. දැන් මේ රට ජාතිවාදයෙන් පොඟවලා තියෙන්නේ. සිංහල ජනතාව බය වෙලා ඉන්නේ. මහා හිස්ටීරියාවක් ඇති වෙලා.

සංහිඳියාව ගැන මහ ඉහළින් කතා කරන ලංකාව වැනි රටක දෙපිරිසක් අතර ඇතිවුණු ගැටුමක්වත් සමනය කරගන්න බැරි තරමට බලපෑ හේතුව කුමක් කියලද හිතන්නේ?

මිනිසුන්ගේ ඔළුවල ජාතිවාදය පිරිලා. ගිනිගන්න ගිනිහුළු වගේ මිනිස්සු ඇවිදින්නේ. 1983 කළු ජූලියයි දිගන සිද්ධියයි අතර වෙනස මොකක්ද? කළු ජූලිය වැරදියි. යූ.එන්.පී. ආණ්ඩුව මැදිහත්ව සිදුවූ දෙයක්. සෙබළු 13ක් මැරිලා කොළඹ ගෙනාවා. ඒක ඇත්ත. හැබැයි දිගන සිංහල තරුණයට මුස්ලිම් තරුණයෝ ගහන්නේ සිංහල නිසා නෙමේ. ඔවුන් බීලා ඉතා අයහපත් ලෙස හැසිරිලා තියෙනවා. 83 කළු ජූලිය ඇති වෙන්න යම් කිසි කුඩා සිද්ධියක් පාවිච්චියට ගන්නේ. මේ තරුණයට ගහන්නේ 22. ගිනි තියන්නේ 3 වැනිදා. මෙතැන වෙනසක් තියෙනවා. මේ වගේ සැබෑ තත්ත්වය මොකක්ද කියලා ආණ්ඩුව ජනතාවට කියන්න ඕනෑ. ජනතාව තුළ ජාතිවාදය ඇති වීමට ඉඩ නොදී එය වහාම කළ යුතුයි. දෙක තමයි අඩු ගාණේ දිස්ත්‍රික් හෝ ආසන මට්ටමින් ජාතික වශයෙන් මේ ජාතිවාදී තත්ත්වයන් ගැන තමන්ට දැනගන්න මධ්‍යස්ථාන හදන්න ඕන. තුන්වැනි එක නීතිමය තත්ත්වය හැරිහැටි ක්‍රියාත්මක කිරීම.

සිංහල ළමයින් දෙමළ ඉගෙන ගන්නවා වගේම දෙමළ අය සිංහල ඉගෙන ගන්නවා වගේ අමතර ආගමක් ඉගෙන ගන්න අවස්ථාව දිය යුතුයි.

කොහොම හරි මේ අව් අස්සේ රටේ ප්‍රධාන ප්‍රශ්න යටපත් වූ බවට මතයක් තිබෙනවා.?

මහ බැංකුව මංකොල්ල කාලා තියෙද්දී ලක්‍ෂ 36ක් දීලා යූ.එන්.පී.යට. රාජපක්‍ෂලාට ලක්‍ෂ 49ක් දීලා තියෙනවනේ මහා පරිමාණ හොරකම් අහුවෙලා තියෙද්දී ඒ ලක්‍ෂ 86ට ඒක ප්‍රශ්නයක් වෙලා නැහැනේ. ඇත්තම තත්ත්වය ජාතිවාදය මතුවූ පසු ඔය ප්‍රශ්න ඉබේම යට යනවා. 30 අවුරුදු යුද්දෙදී අපි ඒක දැක්කා. නමුත් අපි ඒක අනුමත කරන්නේ නෑ. ජාතිවාදී ප්‍රශ්නය එක්ක ඔක්කෝම ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුවට හැකි වුණා. ඒක ඇත්ත.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon