යාපනේ අලවලට හැම කන්නෙකම සිද්ධ වෙන අලකලංචියට විසඳුමක් ඇත්තෙම නැද්ද?

  👤  3478 readers have read this article !
By mawbima 2018-03-18

රසාදි චතුරංගි

යාපනයේ අල ගොවීන්ගේ ජීවිත මේ දිනවල අලවී තිබේ. සෑම වසරකම යාපනයේ අර්තාපල් අස්වැන්න නෙළන කාලය වනවිට අල ගොවීන්ගේ හෘදස්පන්දනය වැඩි වී අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් පිරිසක් බවට යාපනයේ අල ගොවියෝ පත්වෙති.

මේ වසරේදී පෙබරවාරි මාසයේ ආරම්භයත් සමඟම යාපනයේ අර්තාපල් ගොවීන්ගේ අස්වනු නෙළීම ආරම්භ විණි. ඒ වනවිට යාපනයේ අර්තාපල් ගොවීන්ට අල කිලෝවක් රුපියල් පනහකටත් අලෙවි කරගැනීමට නොහැකි විණි. ඔවුහු තම අල තොග රැගෙන දඹුල්ලේ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය වෙත ගියහ. ලොරිවල දින දෙකක් තිස්සේ අල තොග තබාගැනීමට ඔවුනට සිදුවූයේ රුපියල් 45ට වඩා වැඩි ලන්සුවක් යාපනයේ අර්තාපල් සඳහා නොතිබුණු බැවිනි.

අවසානයේදී රුපියල් 48ට අර්තාපල් තොග දඹුල්ලේ වෙළෙන්දන්ට දී විශාල පාඩුවක් සමඟ යාපනයේ අල ගොවීන්ට ආපසු යාපනයට පැමිණීමට සිදුවිණි.

දින කිහිපයකින් පසුව රජය අර්තාපල් කිලෝවක් සඳහා වූ ආනයනික බද්ද රුපියල් 29කින් වැඩි කළේය. යාපනයේ ගොවීන් සිතුවේ තමන්ට කරල පැහුණු බවකි. නමුත් සිදුවූයේ බලාපොරොත්තු රහිත අකරතැබ්බයකි.

මේ අවනඩුව ගැන අදහස් දක්වා සිටියේ යාපනයේ අල වගා කරන ගොවීන්ගේ සංගමයේ සම සභාපති රාමලිංගම් දේවේන්ද්‍රන් මහතාය.

"ආණ්ඩුව බද්දක් දාන්න කලින් රුපියල් 48ට 50ට තමයි යාපනයේ අර්තාපල් කිලෝ එකක් විකුණන්න පුළුවන් වුණේ. බද්දක් දැම්මම අපි හිතුවා කිලෝ එකක් සියයටවත් යයි කියලා. ඒත් දැන් රුපියල් 70ට තමයි අල කිලෝ එකක් විකිණෙන්නේ. වැඩිවෙලා තියෙන්නේ රුපියල් 25යි.

සමහරු හිතනවා ඇති අල කිලෝ එකකට රුපියල් 25ක් වැඩිවුණු හින්දා යාපනයේ අල ගොවීන්ට හොඳ කලක් ගිහින් කියලා. දැන් වෙලා තියෙන්නේ අපි කවුරුවත් හිතපු දෙයක් නෙවෙයි.

අලවලට බද්දක් දැම්මත් එක්කම පිටස්තර ප්‍රදේශවලින් යාපනයට අල ගෙනියන්න එන අය ගමන නැවැත්තුවා. දැන් එක ලොරියක්වත් යාපනයේ අල අරන් යන්න එන්නේ නැහැ.

දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ අපේ ගොවීන්ගේ අල තොග අරන් දඹුල්ලට හරි වෙන කොහාට හරි යන්නයි. සමහරදාට දඹුල්ල අල ගන්නේ රුපියල් 60කටයි. තවත් සමහර දවස්වල 70යි. කොහොම අල විකුණුවත් අපිට පාඩුයි. ඒකට හේතුව තමයි අල දඹුල්ලට අරන් යන්න ලොරිවලට ලොකු මුදලක් ගෙවන්න වෙනවා. අල පටවන්න බාන්න අරන් යන සේවකයන්ට කෑම බීම, පඩි දෙන්න ඕනේ. මෙහෙම බලනකොට යාපනයෙ ඉඳගෙන අල කිලෝ එකක් යාපනයෙදිම රුපියල් 50කට දුන්නා වගේ තත්ත්වයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ.

මේ දවස්වල අපි යාපනයේ ටවුන් එකට ගිහින් කොළඹ, කුරුණෑගල, නුවර පැත්තේ ඉඳලා යාපනේට බඩු අරන් ආව ලොරි හොයනවා. ලොරි බඩු බාන තැන්වලට ගිහින් අපි කතා කරනවා. ඒ අය යාපනයෙන් ආපහු බඩු ගෙනියන්නේ නැත්තම් අපේ අර්තාපල් දඹුල්ලට ගිහින් දෙන්න ඒ ලොරිකාරයෝ කැමැති වෙනවා. එහෙම වුණොත් අපිට පොඩි ලාබයක් තියෙනවා. මොකද ලොරි කුලිය විදිහට ලොකු ගාණක් ඒ අයට දෙන්න වෙන්නේ නෑනේ. ඒත් ඉතිං හැමදාම එහෙම ලොරි නැහැ. ඒක නිසා අපිම ලොරි හොයාගෙන කුලී ගෙවාගෙන අර්තාපල් අරන් යන්න ඕනේ.

මේ හින්දා ආණ්ඩුව මේ යාපනයේ තියෙන අර්තාපල් තොග යාපනයෙදිම සාධාරණ මිලකට ගන්න ඕනේ, ක්‍රමයක් සකස් කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට හොඳ ආදායමක් ලබන්න පුළුවන් වෙනවා.

ජීවිතය හැමදාම අල වුණු දේවේන්ද්‍රන් වැනි ගොවීන්ට අර්තාපල් වෙනුවෙන් යම් යම් අලුත් අදහස් පහළ වුණත් අල ගෙඩියක් තරම්වත් මොළේ නැති නිලධාරීන්ට සහ පාලකයන්ට මේ අල කතාව කිසිදිනක පැහැදිලි වන්නේ නැත.

මේ රටේ පහළ වුණු සෑම නායකයකුටම යාපනයේ අල ගොවීන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් තිබේ. ඒ යෝජනාව වන්නේ යාපනයේ අර්තාපල් වගා කරන ගොවීන් හා නුවරඑළියේ අර්තාපල් වගා කරන ගොවීන් එකට එකතු කොට මේ රටේ අර්තාපල් අවශ්‍යතාව මේ දෙගොල්ලන්ට ලබාදීමට යම්ක්‍ රමයක් ඇති කරන ලෙසයි. එය එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ජනතා පරිභෝජනයට අවශ්‍ය වන අර්තාපල් කිසිදිනෙක කිසිම රටකින් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව යාපනයේ අල ගොවීන්ගේ යෝජනාවයි.

යාපනයට පැමිණි හා පැමිණෙන සෑම පාලකයකුම යාපනයේ අල ගොවීන් ඉදිරියේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වුවත් ඔවුන් කොළඹට යනවිට එය අමතක කරන බව පවසන්නේ යාපනයේ අල වගා කරන ගොවීන්ගේ සංගමයේ ලේකම් සෙල්ලයියා කිරුබාකරන් මහතාය.

"අපි එදා සිරිමාවෝ මැතිනියගේ කාලේ ඉඳලා මේ යෝජනාව කළා. හැබැයි එතුමිය මේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් ගත්ත ගොඩක් හොඳ තීරණ නිසා 1974 වගේ කාලවල යාපනයේ ගොවීන්ට ඉතාම හොඳ කාලයක් ආවා. යාපනයේ අලවලට විතරක් නෙවෙයි රතු ලූනු, මිරිස්, දුම්කොළ, එළවළු හැම දේකටම හොඳ මිලක් ඒ කාලෙදි යාපනයේ ගොවීන්ට ලැබුණා.

ආණ්ඩු යාපනයේ අර්තාපල් ගලවනකොටයි, නුවරඑළියේ අර්තාපල් ගලවනකොටයි බදු වැඩි කරලා හරියන්නේ නෑ. කෙළින්ම රටට ඕනේ අර්තාපල් තොගය නිෂ්පාදනය කරන්න කියලා නුවරඑළියේ ගොවීන්ටත්, යාපනයේ ගොවීන්ටත් කියන්න ඕනේ. එතකොට මේ අලවලට හොඳ මිලක් ලැබෙනවා.

දැන් යාපනයේ මිනිස්සු, නුවරඑළියේ මිනිස්සු, දඹුල්ලේ මිනිස්සු අල වගා කරන්නේ නැහැ. අල වෙනුවට ඔවුන් දැන් වගා කරන්නේ ලොකු ලූනු වගේ දේවල්. ඒකට එකම හේතුව තමයි මේ අස්වැන්න නෙළන කාලයට මිල පහත වැටීම. එතකොට වෙන්නේ අල වගා කරන්න වියදම් වුණු මුදලවත් අල ගොවීන්ට හොයා ගන්න බැරිවෙනවා. අලවලට හොඳ මිලක් තියෙනව නම් මේ හැමෝම අල වගා කරයි. එතකොට රටින් අල ගේන්න ඕන වෙන්නෙත් නෑ. අල වගා කරන ගොවීන් අමාරුවෙ වැටෙන්නෙත් නැහැ.

ඇත්තෙන්ම හැම රජයක්ම මේ අල ගොවීන් ගැන කිසිම සැලකීමක් නැහැ. පසුගිය කන්නේ අර්තාපල් බීජ යාපනයට ලබාදෙන්න නිලධාරීන් කටයුතු කළේ නෑ. ඔවුන් කිව්වේ අල වෙනුවට ලූනු වගා කරන්න, අල බීජ නෑ කියලයි. මුළු යාපනයටම ආණ්ඩුවෙන් කියලා ලැබුණේ බීජ අර්තාපල් කිලෝග්‍රෑම් 20,000යි. අනිත් සේරම අය පෞද්ගලික වෙළෙන්දන්ට විශාල මුදලක් ගෙවලා තමයි බීජ අර්තාපල් ටික ගත්තේ. මේ රටේ දියුණු කරන්න පුළුවන් බෝග වගාව දියුණු කරන්න නිලධාරීන්ට වුවමනාවක් නෑ. ඒ අය කියන්නේ අල හිටෙව්වම පාඩුයි රබර් හිටවන්න කියලා. දැන් වවුනියාවේ ඉදලා යාපනේට ටික ටික රබර් හිටවන්න පටන් අරගෙන. උතුරේ රබර් හරියයි කියලා කවුරුවත් හිතන්නේ නැහැ. මෙන්න මෙහෙම ගොවිතැන් ක්‍රමයක් තමයි අද ලංකාවේ තියෙන්නේ. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. කවුරු හරි මැදිහත් වෙලා මේ අර්තාපල් වගාව මේ රටේ දියුණු කරනවා නම් ඒක විශාල ආදායමක් ලබන්න පුළුවන් ගොවිතැනක් කියලා හැමෝම දන්නවා.

දැන් යාපනයේ අල ගලවලා ඉවර වෙන කොටම බද්ද අයින් කරනවා. එතකොට අපෙන් රුපියල් 50ට ගන්න අල කිලෝ එක රුපියල් 130ට විකුණනවා. රටින් එන අල රුපියල් 100යි. මෙහෙ අල රුපියල් 130යි. මිනිස්සු ලාබය නිසා රටින් එන අල අරගෙන ගෙදර යනවා. අපේ අලත් අපේ අල වගාවත් හැමදාම එකම තැන පල් වෙනවා. යාපනයේ අල ගොවියෝ හැමදාම ණයකාරයෝ වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon