කප් එක දින්නත් නැතත් ෂර්මා පැරදුණේ නැහැ

  👤  3570 readers have read this article !
By mawbima 2018-03-18

විචිත්‍ර වීරසිංහ
ඡායාරූපය : නුවන් අමරවංශ

2018 නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (18දා)ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා. ඉන්දියාව සමඟ අද අවසන් තරගයට ඇවිල්ලා ඉන්නේ කවුරු වුණත් අපි දකින්නේ ක්‍රීඩාංගණයේ ඇතුළේ වෙන සටන විතරයි. ඒත් හතරේ සීමාවෙන් ඔබ්බට ඒ කියන්නේ අපේ රටේ මිනිසුන් අතරට ගිහිල්ලා කවුරු හෝ ක්‍රීඩකයෙක් ඒ මිනිස්සු එක්ක දුක-සැප බෙදාගන්නවා නම් ඒක තමයි ක්‍රීඩාවේ තියෙන උතුම්ම මහත්මා ගතිය.

මේ ගුණාංගය ඉන්දියානු ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා අතිනුත් පසුගියදා සිදුවුණා. ඒ කියන්නේ ඉන්දීය නායකයා අපේ රටේ මිනිසුන්ගේ දුක සැප බෙදාගත් අයුරු දැක්කම අපේ රටේ ක්‍රීඩාව කරන ඇතැම් අයටත් ඒක ආදර්ශයක් කරගත හැකියි.

ඉන්දියානුවන් ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු තරගයට පෙර (මාර්තු 5) දිනයේදී ඉන්දීය කණ්ඩායමට දැල් ආවරණ පුහුණුවීම් සඳහා පන්දු යවමින් සිටියේ රාගම ක්‍රීඩා සමාජයේ කවීන් ප්‍රනාන්දු. ඒත් එක්වරම ඉන්දීය පිතිකරුවකු එල්ල කළ ඩ්‍රයිව් පහරක් කවීන්ගේ මුහුණේ වැදුණා. ලේ ගලමින් හිටිය ඔහු පස්සෙ නවලෝක රෝහලට ඇතුළත් කළා.

ඒත් ඒක එතැනින් ඉවර වුණේ නැහැ.

ඒ ක්‍රීඩකයාගේ සම්පූර්ණ වියදම් දරන්න ඉන්දීය ක්‍රිකට් බලධරයන් ඉදිරිපත්වුණත් රෝහිත් ෂර්මා අවශ්‍ය ඕනෑම මොහොතක කවීන්ගේ වියදම් දරන්න තමන් සූදානම් වෙලා ඉන්නවා කියලා ආරංචි වුණා.

කොහොම වුණත් අපි කවීන්ගේ සහෝදරයට කතා කළාම ඔහු කිව්වේ කවීන්ට ශල්‍යකර්මයක් කළ බවයි. "මල්ලිගේ මුහුණ මැහුම් දාලා ප්ලාස්ටරයකින් ඔතලා තියෙන්නේ. නිතරම වගේ ඉන්දීය කණ්ඩායම මේ පිළිබඳව සොයා බලනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට දිරිගන්වන ගයාන් මංජුලගේ මාර්ගයෙන් ඉන්දීය ක්‍රිකට් නායකයත් මල්ලිට ඕනෑම උදව්වත් කරන්නත් කැමැති වෙලා තියෙනවා"

කොහොම වුණත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයකදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරන්න ගයාන් මංජුලත් එක්ක ඉන්දියාවට ගොස් හිටිය නිලාම්ගේ පියා අසනීප වෙලා කියලා දැනගත්ත ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදීලා තිබුණු බව "මව්බිම" පුවත්පත එදා වාර්තා කළා.

ඒ සිදුවීම ඉන්දීය නායකයාට අමතක වෙලා නැහැ කියලත් ඔප්පු වුණේ මේ දිනවල තියෙන නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුගේ නිවෙසට යෑමට කැමති වෙලා තියෙන නිසයි.

ඊයේ (17) හෝ අද (18) ඉන්දීය නායකයා නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා නිලාම්ගේ නිවෙසට යන්න කැමැති වුණා කියලා ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිගන්වන්නා, ගයාන් කුමාර සිකුරාදා (16දා) අපට කිව්වා.

ඉන්දීය කණ්ඩායමේ හුඟක් ක්‍රීඩකයන්ට අපේ අය බොහොමයක්ම කැමැති නැහැ. ඔවුන් ක්‍රීඩා පිටියේදී ජයග්‍රහණ පිපාසයෙන් කටයුතු කළාට හතරේ සීමාවෙන් එහාට ඔවුන් සැබෑ මහත්වරු කියලා ඔප්පු කළේ අද ඊයේ නොවෙයි. ඒ අය එහෙම මහත්වරු වගේ කටයුතු කළාට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් කටයුතු කරපු හා කරන ආකාරය දැක්කම කනගාටුවක් වගේම දුකකුත් දැනෙනවා. ඒ ක්‍රීඩකයන්ගේ පැත්තෙන් නේ. ඒ වගේම අපේ ප්‍රේක්‍ෂකයන්ගේ පැත්තෙන් ගත්තාම ගයාන් හා නිලාම් කියන්නේ මේ දවස්වල අපට අමතක කරන්න බැරි චියර් ලීඩර්ස්ල දෙන්නෙක්. ඒ අතර වැදගත් කාරණය කියන්නෙ ගයාන් සිංහල ජාතිකයෙක්, නිලාම් මුස්ලිම් ජාතිකයෙක්. ඒ දෙන්නා එකතු වෙලා තමන්ගේ රට දිරිගන්වන හැටි දැක්කම පසුගිය දවස්වල අපේ රටේ මතුවෙලා ආපු ජාතිවාදී මතවාදවලට හොඳ පිළිතුරක් ලැබෙනවා. ක්‍රීඩාවෙන් අප ඉගෙන ගතයුතු එක් පාඩමක් ගයාන්-නිලාම් දෙන්නා අපට කියාදෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon