ෂෙහාරාගෙන් සල්ලං වුණු කළුකෝට්කාර සල්ලාලයා

  👤  4053 readers have read this article !
By mawbima 2018-03-18

ෂෙහාරාගෙන් සල්ලං වුණු කළුකෝට්කාර සල්ලාලයාඋසාවිය සීරුවෙන්ය. උසාවියෙන් ඇසෙන වෙනත් කතාවලට වඩා මෙහි පෙළ වෙනස්ය. ඒ නිසාම කවුරුත් උනන්දුවෙන් සිදුවන දේ බලාගෙනය. විත්ති කූඩුවේ ඉන්නේ නීතිඥයෙකි. ඔහුගේ සගයන් සහචර නීතිඥයා වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන්නට පෙළ ගැසීය. එහෙත් මොහොතින් මොහොත උසාවිය ඉදිරියේ හෙළිදරවු වන්නේ සිය සහෘද වෘත්තිකයන්ද බොරුවෙන් අන්දවා ඔවුන්ද උසාවිය ඉදිරියේ නිරුත්තර කළ කාම විකෘතිකයකුගේ නොපනත්කමය.

නීතිඥයෙක් ලෙස පෙනී සිටියත් සමාජ පිළිලයක් වූ මේ මනෝ විකෘතිකයාව උසාවියට ගෙනැවිත් ඔහුව නිරුවත් කරන්නට හැකි පෞරුෂයක් තිබුණු තරුණිය පසෙකය. ඇය මොරටුවේ ජීවත් වූ තරුණියකි. උසාවියේදී රටට හෙළි වූ ඇය වටා ගොඩ නැඟෙන ඒ කතාව මෙසේය.

මෙම තරුණිය විවාහපේක්ෂක තරුණියකි. නමින් ශ්‍රී මාලි ෂෙහාරා සිල්වාය. ෂෙහාරා දිනක රටේ ප්‍රමුඛම ඉරිදා සිංහල පුවත්පතක පළවන මංගල දැන්වීමක් දකින්නීය. යෝජනාව ඉදිරිපත් කරන්නේ නීතිඥයෙකි. වෘත්තිකයෙක් සමඟ ඇරඹෙන යුග දිවිය සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයේ මූලික දේවල් සපුරා ගැනීමකි. ඇය මේ යෝජනාව සම්බන්ධව සිය පියාව දැනුවත් කරන්නීය. අනතුරුව මංගල යෝජනාව පළ කළ දැන්වීම් ලිපිනයට ලිපියක් යොමු කරන්නීය. මංගල දැන්වීමේ දුරකතන අංකයක් සඳහන් විය. අනතුරුව ඇය ඒ අංකයට ඇමතුමක් ලබා ගන්නීය. කතාව යහපත්ය. බලාපොරොත්තු උපදවනසුලුය. මේ සිදුවීම වන්නේ පසුගිය අවුරුද්දේ නොවැම්බර් මස 29දාය. නීතිඥයාගේ නම බුද්ධික වංශරත්නය.

ඊට පසුදාම නීතිඥයා ෂෙහාරාට කතා කරන්නේය. අනතුරුව ෂෙහාරාගේ තාත්තාටත් කතා කරන්නේය. නීතිඥයා ඇය සමඟ විවාහ වන්නට එකඟය. සම්බන්ධතාව ගොඩනඟා ගන්නේම විවාහ අපේක්ෂාවක් උපදවමින්ය. දැන් මේ තැනැත්තාට ෂෙහාරාව හමුවන්නට වුවමනාය. ඇය ඇයගේ මවුපියන් දැනුවත් කිරීමෙන් පසුව ඔහුව මුලින් හමුවන්නේ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේදීය.

අනතුරුව නීතිඥයා ෂෙහාරා සමඟ විවාහයට නියම කරගන්නා දිනය 2018.01.08ය. ඇයට ඔහු සම්බන්ධව පැහැදිලි අවිශ්වාසය උපදින්නේ එක් කාරණාවක් මුල් කරගනිමින්ය. එය මුදල් සම්බන්ධ කාරණාවකි. මේ තැනැත්තා පසුගිය දෙසැම්බර් මස 22දා හදිසි මුදල් අවශ්‍යතාවක් බව කියමින් ෂෙහාරාගෙන් රුපියල් 45,000ක මුදලක් ඉල්ලා ගන්නේය. ඒ දින දෙකකටය. එළැඹෙන නත්තලට හෝ ඊට පෙර දිනදී මෙම මුදල් නැවත ඇයට ලබා දෙන පොරොන්දු පිටය. ෂෙහාරා, බුද්ධික වංශරත්න නමැත්තාගේ නමට නාරාහේන්පිට මහජන බැංකුවේ ඇති ගිණුම වෙත සිය ගිණුමෙන් රුපියල් 45,000 බැර කළාය.

මුදල් ගැනීමෙන් පසු මේ තැනැත්තා තමන්ව මඟහරිනා ආකාරය ෂෙහාරා වටහා ගත්තාය. මුදල් දෙනවා කී දිනයත් පසුවී සතියකි. අනතුරුව පසුගිය දෙසැම්බර් 30දා ඇය සිය මුදල ඉල්ලුවාය. කතාව දුර ගියේය.

"මං සල්ලි දෙන්නෙ නෑ..." නීතිඥයා කෙළින්ම කීවේය. තමා විවාහ අපේක්ෂාවෙන් සිටින තැනැත්තා ගැන ෂෙහාරාට මුල් වරට පුදුම සිතිණි.

"ඇත්තටම මේ මිනිහා මොකෙක්ද?"

ඇයට ඔහු ගැන සොයන්නට අවශ්‍ය විය. ඇය මුලින්ම කළේ මේ තැනැත්තාගේ එෆ්. බී. ගිණුම පරික්ෂා කිරීමය. එහිදී ඇයට තරංගා නමැති කාන්තාවකගේ ඡායාරූපයක් දැකගත හැකිවිය. වහාම ඇය ඔහුගේ ජංගම දුරකතනයට එස්.එම්.එස්. පණිවුඩයක් යැවුවාය.

"කවුද මේ ගෑනුකෙනා? මොකක්ද ඔයාගෙ තියෙන සම්බන්ධය එයත් එක්ක?"
ඔහුගේ පිළිතුරෙන් ෂෙහාරා අන්දමන්ද වූවාය.

"එයා මගේ නීත්‍යනුකූල බිරිඳ"
ෂෙහාරා ඔහුට කතා කළාය. "ඇයි ඒ විදිහට මාව රැවට්ටුවේ?"

ඇයගේ විමසුමට නීතිඥයාගේ පිළිතුර සරලය. "එයා දික්කසාද කළා."

"එහෙනම් දික්කසාද සහතිකය එවන්න."

"සුළු දෙයක්. ඔයාගේ මේල් එක චෙක් කරන්න."

කියූ ලෙසම ඔහු ඊමේල් පණිවුඩයක් මඟින් දික්කසාද සහතිකයක් එවා තිබිණි. ෂෙහාරා සිටියේ සැකයේ කෙළවරය. ඇය වහාම එම ඊමේල් පණිවුඩයේ පිටපතක් ගෙන තමන් දන්නා නීතිඥයෙක් හමුවුණාය.

එය පරීක්ෂා කළ නීතිඥයා ෂෙහාරා ඇමතීය. "මේක බොරු දික්කසාද සහතිකයක්. පුද්ගලයා ගැන හොයන්න." නීතිඥයා ඇයට උපදෙස් දුන්නේ සිය වෘත්තියද දුරාචාරයේ යවන මේ වංචාකාරයා සම්බන්ධ මුල්ම තහවුරුව ලබා දෙමිනි.

මේ අතර 2018.01.19 දින මේ තැනැත්තා යළිත් ෂෙහාරාගෙන් රුපියල් දස දහසක් ඉල්ලුවේය. මුවින් නොබැන මුදල ලබාදුන් ෂෙහාරා ඔහු ගැන තොරතුරු සෙවීම වේගවත් කළාය. ඇයට ලැබෙන තොරතුරු බිහිසුණු ඒවා විය. මේ තැනැත්තා මීගමුව ප්‍රදේශයේ ගයත්‍රි නමැති කාන්තාවක් මේ ලෙසම විවාහ පොරොන්දු දී රවටා තිබිණි. ඇය දැන් ගැබිනියකි. ඇයගෙන් ඔහු ලක්ෂ 32ක් ලබාගෙන තිබිණි. එම තොරතුරු සොයාගත් ෂෙහාරා යළිත් මේ පුද්ගලයාව විමසීය.

"එයා මගේ සහෝදරියක්" යළිත් නීතිඥ සල්ලාලයාගේ පිළිතුර සරලය. එහෙත් ෂෙහාරාගේ ඉවසීමේ සීමාව පැන තිබිණි. කතාව බහින්බස් වීමක් දක්වා දුර ගියේය.

"මට එක කෝල් එකයි දෙන්න ඕන වැඩේ ඉවර කරන්න. උඹේ පපුවට උණ්ඩ දෙකක් බස්සනවා. දැනගනින්" සල්ලාලයාගෙන් දැන් මරණ තර්ජනය. අනතුරුව විදේශීය දුරකතන අංකයකින් ඔහුගේ මිතුරෙක් ලවා යළිත් ෂෙහාරාට මරණීය තර්ජනය කළේය.

ඇය නාරාහේන්පිට පොලිසියට ගොස් පැමිණිල්ලක් කළාය. ඉරිදා පුවත්පතක මංගල දැන්වීම් පළකර විවාහ පොරොන්දු දී තමන් රවටා මුදලින් රුපියල් 55,000ක් වංචා කිරීමෙන් පසුව මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධව පැමිණිල්ල ලියැවිණි.

නාරාහේන්පිට පොලිසිය 2018-03-06 සඳුදා අධිකරණයට සිද්ධිය පිළිබඳ කරුණු වාර්තා කළේය. ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චාන්දනී ඩයස් හමුවේය. පොලිසියේ ඉල්ලීම සලකා බලා අධිකරණය මෙම පුද්ගලයාගේ විදේශ ගමන් තහනම් කළේය. විමර්ශන ඉවර කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග ලැබිණි.

ඊට දෙදිනකට පසු එනම් පසුගිය 8 දා බ්‍රහස්පතින්දා පොලිසිය මේ බුද්ධික වංශරත්න නමැත්තාව අත්අඩංගුවට ගත්තේය. අනතුරුව පසුගිය සඳුදා අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ නඩුවට අදාළව එදිනම පොලිසිය විසින් තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. නම ප්‍රියන්තිය. ප්‍රියන්ති 59 හැවිරිදිය. පොලිසිය ඇයව අත්අඩංගුවට ගන්නේ මේ තැනැත්තාගේ ලිංගික හා වංචනික අපරාධවලට ආධාර අනුබල දුන් බව කියමිනි. නඩුව කැඳවූ විට බුද්ධික නමැත්තා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ රොත්තක් නැඟී සිටියේය. ඔහුගේ ආධාරකාරිය වූ ප්‍රියන්ති ලක්ෂ 10 ශරීර ඇප මත නිදහස් වූවාය.

මේ අතර උසාවිය තුළ විශේෂ යමක් සිදුවෙමින් තිබිණි. පැමිණිලිකාර ෂෙහාරා සමඟ තවත් කාන්තාවක් පැමිණ සිටියාය. සාරියකින් සැරසී සිටි ඇය ඉතා ප්‍රසන්න පෙනුමක් සහිත කාන්තාවකි. ඇය උසාවියට ඉදිරිපත් වූවාය.

"මමයි මේ තැනැත්තාගේ නීත්‍යනුකූල විවාහක බිරිඳ. මේ තැනැත්තා මගෙන් තවම දික්කසාද වෙලා නෑ" ඇය කීවාය.

"මට තවත් පැහැදිලි කරන්න ඉඩ දෙන්න ස්වාමිනී. දැන් ඇප පිට නිදහස් වෙච්ච මේ සැකකාරිය මෙයාගෙ ව්‍යාජ කසාදයට අහුවුණු තවත් ගැහැනියක්. මෙයා කරන වැඩවලට මේ ගෑනු කෙනාත් හවුල්. මගෙත් එක්ක ඉඳගෙන තමයි මෙයා මේ ගෑනිත් එක්ක පවුල් කාලා තියෙන්නේ"
"ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔහු මේ තැනැත්තියගෙන් දික්කසාද වෙලා."

විත්තියේ නීතිඥයෝ කෑ ගැසූහ.

"නෑ දික්කසාද වෙලා නෑ. වෙන්වෙලා ඉන්නෙ" පැමිණිලි පාර්ශ්වය තහවුරු කළේය.

සාමාන්‍ය නඩුවක් විභාග වෙද්දී පැමිණිලිකරුවන්ට කතා කරන්න දෙන්නේ නැත. එහෙත් අධිකරණය මේ කාන්තාවන් දෙදෙනාටම කතා කරන්නට ඉඩ දුන්නේය.

"මම අවුරුදු 10 කසාද බැඳලා හිටියා. මෙයාගෙ නීතිඥකමට මං රැවටුණා. මේ මනුස්සයා මේ හැම අශික්ෂිත වැඩක්ම කරලා තිබුණෙ මට හොරෙන්. පත්තරවලට මංගල දැන්වීම් දාලා ගෑනු අය යාළු කරගන්නවා. මීගමුවෙ ගෑනු කෙනෙක් මේ විදියට මංගල දැන්වීම් පළ කරලා යාළු කරගත්තා. ඒ ගෑනු කෙනා එක්ක ජීවත් වුණා. ඇය දැන් ගැබිනියක්. ඇයට මෙතෙන්ට එන්න බෑ ස්වාමිනී. මොහු ඇයගෙන් ලක්ෂ 32ක මුදලක් අරන් තියෙනවා. මේ මනුස්සයා මොනතරම් සූක්ෂ්මද කියන්නෙ ඒ ගෑනු කෙනා මගෙත් ගොඩක් දුරින් ඥාති වෙන කෙනෙක්. මං අද උසාවියට ආවේ මේ රටේ ගෑනු වෙනුවෙන්. මෙහෙම ආවෙ නැත්නම් මේ මනුස්සයා රටේ ගෑනු අමාරුවෙ දාන එක නවත්තන්නෙ නෑ" විත්තිකරුගේ කසාද බිරිඳ කියාගෙන ගියාය.

විත්ති පාර්ශ්වයේ පුද්ගලයා පැමිණ තිබුණේ සිය පියා හා මව යැයි කියනා කාන්තාවක් සමඟය. පැමිණිල්ල කළ අයේෂා ඇයගේ පියා සමඟ පැමිණ සිටියාය. උසාවියේදී පැමිණිලිකාරියට රුපියල් 55,000ක් ගෙවා සමථයකට පත් වෙන්නටත් නඩුව ඉදිරියට ගෙනයන්නටත් තීන්දු විය අනතුරුව සැකකරුට ඇප නියම කෙරිණි. ඇපයට ඉදිරිපත් වූයේ ඔහුගේ පියාය.

ඇප ලබා දෙන විට පදිංචිය තහවුරු කිරීමේ ලිපියක් අවශ්‍යය. සැකකරු කියා සිටියේ තමන් ඉදිරිපත් කරන ලිපිනයේ තමන් හා තම මව ජීවත්වන බවය. පදිංචිය තහවුරු කිරීමේ ලිපිය අස්සන් කළ යුත්තේ අධිකරණ අවසරය ඇතිව. ඊට පෙර ඉදිරිපත් කර ඇති ලිපිනය සනාථ කරන්නට සැකකරුගේ ලිපිනය විමසීය. ලිපිනය කියැවිනි.
"එයාට එයාගෙ අම්මා එක්ක ජීවත්වෙන ඔහොම ලිපිනයක් නෑ ස්වාමිනී. ඔය ලිපිනයේ ඉන්නෙ මෙයාගෙ තාත්තගෙ අනියම් බිරිඳ" සැකකරුගේ නීත්‍යනුකූල බිරිඳ එක්වරම උසාවියට කීවාය. අනතුරුව ඇය ෆයිල් කවරයක් ඇද සැකකරුගේ උප්පැන්න සහතිකය ඉදිරිපත් කළාය. එහි සැකකරුගේ මවගේ නම සඳහන් විය.

උප්පැන්න සහතිකය අතට ගත් විනිසුරුවරයා සැකකරු ඇමතීය.
"මොකක්ද අම්මගෙ නම"

සැකකරු කියන්නේ ලිපිනයේ සඳහන් තැනැත්තියගේ නමය.

විනිසුරු තැන සැකකරු දෙස බැලීය.

"තමන්ගෙ අම්මගෙ නමවත් දන්නෙ නැද්ද? ඇයි මෙහෙම බොරු කියන්නෙ. ඇප ගන්න ඇවිල්ලත් අධිකරණයට මෙහෙම බොරු කියන්නෙ ඇයි. මේ නීතිඥවරු ඇයි මේ මනුස්සයට මෙහෙම බොරු කියන්න දෙන්නේ" සැකකරුට ඇප ලැබිණි. එහෙත් පියාගේ ඇපය භාර ගැනීමට අධිකරණය සූදානම් නැත. ඇපත් නැතිව ඔහු දැන් හිරේය.
"මේක ලියන්න. මේ සත්තු හෙළිදරව් කරන්න. එහෙම නැත්තන් තවත් අහිංසක ගෑනු ගණනක් මුන්ගෙ ගොදුරු වේවි" අධිකරණ භූමියෙන් පිටවන ගමන් සැකකරුගේ නීත්‍යනුකූල බිරිඳ අපට කීවාය.

එස්. අලුත්ගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon