කොස්වත්ත හන්දියේදී එළිබැහැපු මන්ත්‍රි නෝනාගේ කුජීත කෙළිය

  👤  3738 readers have read this article !
By mawbima 2018-03-18

"කුඩු වෙන්න තියන්නේ" පිස්තෝලයක් අතෙහි දරා සිටින කාන්තාවක් මහ දහවල් දෙනෝ දාහක් බලා සිටියදී බිම වැටී සිටින පුද්ගලයකුට වැරෙන් පහර දුන්නාය. තවත් පිරිමි පුද්ගලයකුද බිම වැටී සිටින පුද්ගලයාට පහරපිට පහර දෙන්නේය.

පිස්තෝලය අතැති කාන්තාව විටෙක පිස්තෝලයෙන්ද බිම වැටී සිටින පුද්ගලයාට පහර දෙමින් සිටියාය. ඔබ මේ කියවන්නේ ත්‍රාසජනක චිත්‍රපටයක පිටපතක් නොවේ. තලංගම කොස්වත්ත මංසන්ධියේ සුපිරි ඇඟලුම් වෙළෙඳසලක් ඉදිරිපිට වූ මෙම සිද්ධිය වීඩියෝවක එලෙස සටහන් වී තිබිණි. එම වීඩියෝව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ සේම ජනමාධ්‍ය සිසාරාද රැව්පිළිරැව් දුණි. මෙම සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් 09 වැනිදාය. කඩුවෙල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ 177 කඩුවෙල - කොල්ලුපිටිය බස් රථයක් කොස්වත්ත මංසන්ධියේ වූ මාර්ග සංඥාවලට කීකරු වෙමින් නවතා තිබිණි. මාර්ග සංඥාවේ කොළ පැහැය වැටී ඉදිරියට ධාවනය වන සංඥාව ලැබෙනවාත් සමඟම බස් රථ රියැදුරුද ඒ තීරුව ඔස්සේ බස් රථය ඉදිරියට ධාවනය කළේය.

ප්‍රධාන මාර්ගයේ මැද කොටසේ වේගයෙන් පැමිණි ජීප් රථයක් බස් රථයද ඉස්සර කොට වම් දෙස පිහිටි සුපිරි ඇඟලුම් වෙළෙඳසල තුළට දැමීය. එම ජීප් රථයේ ඉදිරිපස රෝද පදික වේදිකාවේද පිටුපස රෝද දෙක ප්‍රධාන මාර්ගයේද තිබීම හේතුවෙන් ගමන අවහිර වූ බස් රථ රියැදුරු බස් රථයේ නළාව කිහිප වරක් නාද කෙරුවේය. බස් රථයේ නාදයට ජීප් රථ රියැදුරු අවනත නොවූ නිසා බස් රථ රියැදුරු බස් රථයෙන් බැස ගොස් ජීප් රථ රියැදුරු සමඟ වචන හුවමාරුවක් ඇති කර ගත්තේය. ඉන් පසු එම වචන හුවමාරුව ගැටුමක් දක්වා වර්ධනය විය. බස් රථයේ මගීහුද බස් රථයෙන් බැසවිත් එම ගැටුම දෙස බලා සිටියහ. එය නිකම්ම නිකම් ගැටුමක් නොවිණි. බස් රථ රියැදුරු සහ ජීප් රථ රියැදුරුත් ගුටිබැට හුවමාරු කර ගන්නවාත් සමඟම ජීප් රථයේ සිටි කාන්තාවක් ජීප් රථයේ තිබූ පිස්තෝලයක්ද රැගෙන විත් බස් රථ රියැදුරාට පහර දුන්නාය. බිම වැටුණු බස් රථ රියැදුරාට ජීප් රථයේ රියැදුරු සහ අදාළ කාන්තාව විනාඩි කිහිපයක් පහර දුන්හ. වීදි නාටකයක් සේ සෙසු පිරිස් එය නරඹමින් සිටියහ. මෙම ගැටුම එම ස්ථානයේ සිටි අයකු විසින් වීඩියෝ ගත කරන ලදුව බස් රථයේ කොන්‍ෙදාස්තරවරයාට ලබා දීමට කටයුතු කෙරිණි.

ඉන් පසු මෙම ගැටුමට මැදිවූ දෙපාර්ශ්වය තලංගම පොලිසිය වෙත ගොස් පැමිණිලි කළහ. මේ පහරදීම දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුළත් සීඩී පටයක් බස් රථ කොන්‍ෙදාස්තරවරයා විසින් පොලිස් නිලධාරීන්ට විමර්ශනය සඳහා ලබා දෙන ලදී. මෙම වීඩියෝව අධ්‍යයනය කරමින් සාක්ෂි එක්රැස් කළ පොලිස් නිලධාරීන් විසින් ජීප් රථ රියැදුරු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ මෙම සිද්ධිය සිදුවූ ඉකුත් 09 වැනි දිනය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ දකුණු පළාත් සභා මන්ත්‍රිවරයකු වන එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිය වන තාරකා පෙරේරා යන දෙදෙනාය. ඉකුත් 10 වැනි දින එම සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මේ වන විට එම සැකකරුවන් දෙදෙනා ලබන 27දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පිස්තෝලයකින් පහරදී තුවාල සිදු කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යටතේ තාරකා පෙරේරා හට චෝදනා ගෙනු කර තිබිණි. එම සිද්ධියට ආධාර අනුබල දීම සහ බස් රථ රියැදුරුට පහර දීම යනාදී චෝදනා යටතේ එම්. කේ. කසුන්ට චෝදනා ගොනු කර තිබිණි. මෙම සිද්ධියේ පැමිණිලිකරු වන බස් රථ රියැදුරු කොලොන්නාවේ පදිංචි මිලින්ද සනත් සුගතපාලට එරෙහිව එම්. කේ. කසුන් විසින් තලංගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි. ඒ බස් රථ රියැදුරු ඔහුට සහ බිරියට පහර දුන් බවට සඳහන් කරමිනි.

එම පැමිණිල්ලට අනුව බස් රථ රියැදුරුද මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. බස් රථ රියැදුරාට අධිකරණයේ ඇප නියම විය. බස් රථ රියැදුරුට පහර දීමට එම්.කේ. කසුන්ගේ බිරිය විසින් රැගෙන ආ පිස්තෝලයද කසුන්ට අයත් එකකි. එය ලියාපදිංචි පිස්තෝලයක් බවත් එහි වලංගු කාලය ලබන අප්‍රේල් මාසයෙන් අවසන් වීමට නියමිත බවත්ද පොලිසිය සඳහන් කරයි. එම පිස්තෝලයේ තිබූ උණ්ඩ පහක්ද පොලිස් භාරයට ගනු ලැබීය. එම්.කේ. කසුන්ගේ මුල් ගම දකුණු පළාතේ වූවාට ඔහු මේ වන විට සිය බිරිය සමඟ පදිංචිව සිටින්නේ මාලබේ සුදර්ශන මාවතේය. ඉරිදා

මහ මඟ එකිනෙකා මරා ගන්නා මන්ත්‍රිවරුද, අහිංසකයන් වෙඩි තබා මරන මන්ත්‍රිවරුද, ගිනි අවිවලින් පහරදෙන මන්ත්‍රිවරු සහ ඔවුන්ගේ පුත්තුද අපේ රටේ මිනිසුන්ට අරුමයක් නොවේ. එහෙත් මන්ත්‍රිවරයකුගේ නෝනා කෙනකු ප්‍රසිද්ධියේ ගිනි අවියක් දික් කරමින් 'කුඩු වෙන්න තියන්නේ' කියමින් දෙනෝ දාහක් ඉදිරිපිට ගනි අවි සෙල්ලම් දාන මන්ත්‍රි නෝනලා ගැන අප මෙතෙක් අසා තිබුණේ නැත. නෝනා ගිනි අවිය වනමින්ය. මන්ත්‍රි සැමියා පුද්ගලයකුට බිම දමාගෙන පහර දෙමින්ය. කසිකබල් දෙමළ චිත්‍රපටයකවත් මේ වගේ ජවනිකාවක් නැත.

මේ පහරදීම සිදුකළ මන්ත්‍රිවරයා මෙන්ම ඔවුන්ගේ පවුලේ ඉතිහාසය පිළිබඳව වර්තමාන සමාජය නොදැනුවත් වුවත් තරමක් හිසකේ පැසුණු පිරිස් නම් ඔවුන් පිළිබඳව හො¼දාකාරවම දන්නේය. මේ පහරදීම සිදු කළ එම්.කේ. කසුන් අන් කිසිවකු නොව දකුණු පළාත් සභාවේ සිටි එම්.කේ. රංජිත් නොහොත් චණ්ඩි මල්ලිගේ පුතාය.

එවකට දකුණේ බෙලිඅත්තේ චණ්ඩි මල්ලි කියූ සැණින් සියල්ලෝ සලිත වී ගියේ ගෙවුණු ඉතිහාසය පුරාම ඔවුන් කළ කී දෑ නිසාවෙන්මය. චණ්ඩි මල්ලි නොහොත් එම්.කේ. රංජිත් දකුණු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම, වෙළෙඳ සහ සුළු වාරිමාර්ග අමාත්‍යවරයාය. ඔහු 2003 වසරේ මැයි 25 වැනි දින කොළඹ යෝක් වීදියේදී වෙඩි තබා ඝාතනය කෙරිණි. ඔහුට එරෙහිව තිබූ අපරාධ චෝදනා කිහිපයක් නිසා සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුව තිබිණි. දිනක් එසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවක ඔහුට වෙඩි තැබුවේද ඔහු ඇසුරු කළ පාතාලයෙකි. චණ්ඩි මල්ලිගේ ඝාතනයෙන් පසුව ඔහුගේ මෘත දේහය බෙන්තර පාලම අසල සිට බෙලිඅත්තේ පිහිටි ඔහුගේ නිවෙස දක්වා රැගෙන ආවේ මහා රථ පෙළපාළියකිනි.

චණ්ඩි මල්ලිගේ ඝාතනයෙන් පසුව ඔහුගේ බාල පුත්‍රයා වන එම්.කේ. අමිල දේශපාලන කරළියට පාතබන්නේද පියා ගිය අඩිපාරේම යමිනි. පියාගේ අඩුව පුරවන්නට දේශපාලන කරළියට එන එම්.කේ. අමිලද ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට තරග කරමින් එහි සභාපති බවට පත්වන්නේ මැර බලය උපරිම ලෙස භාවිත කරමිනි. එම්.කේ. අමිල ගියේද තාත්තා ගිය අඩිපාරේය. ඔහුත් සිය දේශපාලන බලය උපරිමයෙන් භාවිත කරන ලද්දේ හොඳට වඩා නරකටය. ඔහු 2013 මැයි 26 වැනි දින පනාමුර පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනකුට පහර දෙන්නේ සිය සගයන් දෙදෙනකුට දඩ කොළයක් ලබා දීමට එරෙහිවය. 2013 ජනවාරියේදී තිස්සමහාරාම මූලික රෝහලේ ආරක්‍ෂක නියාමකවරයකුට හා රෝහල් සහායකයකුට පහර දෙන්නේ රෝහල් ගිලන් රථය අවහිර වන සේ අමිලගේ රථය නතර නොකරන ලෙස කළ ඉල්ලීමකටය.

පසුගියදා කොස්වත්ත ප්‍රධාන පාර අයිනේ දෙනෝ දාහක් බලා සිටියදී බස් රථ රියැදුරාට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. කසුන් චණ්ඩි මල්ලිගේ වැඩිමහල් පුතාය. ඔහු දේශපාලනයට එන්නේ වර්ෂ 2011 ප්‍රාදේශීය සභා මැතිවරණයෙනි. ඒ මැතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණය වන 12,777ක් ලබා ගන්නා කසුන්, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වූයේය. අනතුරුව ඔහු 2014 පළාත් සභා මැතිවරණයට සහභාගි වී මනාප ඡන්ද 55,881ක් සහිතව දකුණු පළාතේ දෙවැනියාට මනාප ගෙන පළාත් සභාවට තේරීපත් වන්නේය. දකුණේ බුද්ධිමත් ජනතාව කරපිටින් අරගෙන ගොස් චණ්ඩි මල්ලිගේ ලොකු කොල්ලා ඒ ලෙස ඔසවා තබා තිබුණේය.

අනතුරුව එම්.කේ. කසුන් වැඩ පෙන්වන්නට පටන් ගත්තේය. වර්ෂ 2015.08.15 දින දම්මුල්ල හන්දියේදී ඔහු ඇතුළු කණ්ඩායමක් කැබ් රථයක් නවත්වා පුද්ගලයකුගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජන එල්ල කර තිබිණි. අනතුරුව කසුන් ඇතුළු කණ්ඩායම කැබ් රථයේ සිටි පිරිසට පහරදුන් බවත් එක් අයකුගේ අතේ තිබුණු රුපියල් තිස් දහසකට අධික අත් පල¼දනාවක් මේ පිරිස කොල්ලකෑ බවටත් පහරකෑ පිරිස් පොලිසියට පැමිණිලි කර තිබුණේය.

ඊට සුළු වෙලාවකට පසු දම්මුල්ල හන්දියේදීම සිදුවූ සිද්ධියක් පිළිබඳ පැමිණිල්ලක් පොලිසියට ලැබිණි. පැමිණිල්ල කර තිබුණේ අඟුණකොළපැලැස්සේ පුද්ගලයෙකි. ඉන් කියැවුණේ සජිත් ප්‍රේමදාසගේ හා මහානාම ගුණතිලකගේ රුව සහිත ප්‍රචාරක පුවරු 7ක් රැගෙන යමින් තිබූ වාහනයක් නවතා එම ප්‍රචාරක පුවරු බලහත්කාරයෙන් බිමට ඇද දමා ගිනි තැබූ සිද්ධියකි. මේ සිද්ධිය සම්බන්ධව නඩුවක් පැවැරුණු විට ඔහු 2015.08.20 දින නීතිඥයන් මඟින් අධිකරණයට භාර විය. අනතුරුව ඔහු 2015.08.27 දක්වා රිමාන්ඩ් භාරයට පත් විණි. ඊළඟ නඩු වාරයේදී නැවතත් සැප්තැම්බර් 10 දක්වා රිමාන්ඩ් භාරයට පත්වන ඔහුට එම උසාවි වාරයේදී ඇප නියම විය. ඔහු නිදහස් වන්නේ ලක්‍ෂ 5 බැගින් වන ශරීර ඇප 3ක් සහ රජයේ නිලධාරීන් දෙදෙනකුගේ ශරීර ඇප මතය. කෙසේ වෙතත් 2016.05.02 දක්වා ඇදී ගිය මේ නඩුව දෙපාර්ශ්වයේ එකඟතාවකින් යුතුව සමාදාන වූ වගත් සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නඩුව ඉල්ලා අස්කරගත් බවත් කියැවිණි.

චණ්ඩි මල්ලිගේ හා පුත්තුන්ගේ පැටිකිරියෙන් එහෙන් මෙහෙන් වාර්තාවන තොරතුරු එසේය.

එම්.කේ. කසුන් පහරදීම සිදුකරන අයුරු බස් රථයේ සිටි මඟියකු විසින් රූගත කර තිබුණේ රහසිගතවය. එම අවස්ථාව රූගත නොවන්නට එවැනි සිදුවීමක්වත් සිදු නොවන බව මොවුන් පවසනු නොඅනුමානය. මේ සිද්ධිදාමය රූගත කර තිබීම පහරකෑමට ලක් වූ බස් රථ රියැදුරාට වාසි සහගත විය. එසේ නොවන්නට මේ කතාව මේ තරම් දුර යන්නේ නැත.

පහරදීම සිදු කළ එම්.කේ. කසුන් මන්ත්‍රිවරයා දේශපාලනයට එන්නේද සිය පවුලේ උදවිය මෙන්ම රාජපක්‍ෂවරුන්ගේ අතේ එල්ලීගෙනය. ඔහුද දකුණු පළාත් සභාවට ඡන්දය ඉල්ලූ සමය කිසිවකුටත් අමතක නොවනු ඇත. මැතිවරණයට ඉදිරිපත් වූ කාලයේදීම ගමේ හෝ අසල්වැසි ගමක හෝ කිසිවකු ඔහුට විරුද්ධ කිසිත් නොකීය. එසේ කීවා නම් අත්වන ඉරණමද ඔවුන් දන්නා නිසාවෙනි. එම්.කේ. කසුන් දකුණු පළාත් සභාවට ඉදිරිපත් වූ වකවානුවේ කොහේ හෝ තැනක රැස්වීමක් පැවැත්වෙන්නේ නම් එක් පවුලකින් එක් අයකු සිටිය යුතු බවට ප්‍රසිද්ධියේ කියා නොතිබුණද එය එසේ විය. මොහුද දේශපාලනයට ආවේ පියා හා සිය සහෝදරයා දේශපාලනයට පැමිණි විලසින්මය. 'තාත්තා කළ දේ පුතා නොකළහොත් උෟ නොට්ටිගේ පුතාය'. කසුන් මෙන්ම කසුන්ගේ මල්ලීත් තාත්තාගේම පුත්තුය.

මෙම පිස්තෝල කතාවේ විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස් අධිකාරි කාවින්ද ප්‍රියසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහිංකන්ද මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී නාත් චන්ද්‍රසිරි ඇතුළු නිලධාරීන් විසින් සිදු කරයි.

චාමර අමරසූරිය / තිනෙත් ආරියරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon