ආගිය තොරතුරු සැඟවෙන පාතාල රාජ්‍යයේ උණ්ඩයට උණ්ඩය පළියට පළිය

  👤  3978 readers have read this article !
By mawbima 2018-03-18

කතාව - තිනෙත් ආරියරත්න

කොස්ගොඩ මුල් කරගෙන පාතාල නායකයන් කිහිපදෙනක් බිහි වෙතැයි යන්න පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති යුගයකදී එය සිදුවිණි. හැබැවින්ම පාතාලයට හොඳහැටි පස්ගෝ රස හොඳ හැටි ලබා දෙන්නට හැකි පරිසරයක් දකුණු ප්‍රදේශයේ කොස්ගොඩ මුල්කරගෙන ඇතිව තිබියදී කිසිවෙක් නොසිතූ ලෙස මාකඳුර එසේත් නොමැතිනම් ගම්උදා සංකල්පය මුල් කරගනිමින් බිහිවූ මාකඳුර දකුණ මුල්කරගනිමින් මධුෂ් නමැත්තෙක් පාතාල ලෝකයට බිහිවෙතැයි කිසිවෙක් සිතුවේ නැත.

කොස්ගොඩ පාතාලය මුල් කරගනිමින් කොස්ගොඩ සුජී (ගජමුනි සුජීව ද සිල්වා) සහ කොස්ගොඩ තාරක (වතුරවෙල - තාරක චමින්ද සිල්වා) කලඑළි බසින ලද්දේ කොස්ගොඩ නදුන් (නදුන් ධර්මකීර්ති) තම ගුරු භවයෙහි තබාගෙනය. තාරක සහ සුජීව එකලදී කොස්ගොඩ මුල් කරගනිමින් තොරණ ඉදිකරන්නට දන්සල් පවත්වන්නට මූලික වුණු දෙසොහොයුරන්ය. පාතාල ලෝකයට අත්පොත් තබන්නට ප්‍රථම ඔවුන් තම ගුරු කොට සලකන ලද්දේ නදුන් ධර්මකීර්තිය. නඳුන් ධර්ම කීර්ති එක්තරා කාලයක ආරක්‍ෂක අංශ සමඟ ගනුදෙනු කළ පුද්ගලයෙකි. ඔහු කොස්ගොඩ තාරක යුද හමුදාවට ඇතුළත් කරන්නට උත්සුක වී ඇත්තේ පාතාල ලෝකයේ කිරුළු පලන් රජු වීමේ අරමුණ ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. තාරක විශේෂ බළකා සාමාජිකයෙක්ව සිටි අවධියේදී සිට ඔහු වෙත ඇස ගසා සිටි කොස්ගොඩ නදුන් සුජී සමඟ එක්ව කොස්ගොඩ රාජ්‍ය බැංකුවක් කොල්ලකන්නට පිඹුරුපත් සකස් කරන ලද්දේ තුරුණු ජවයෙන් පිරි සුජී සහ තාරක පිළිබඳ මුල් බලාපොරොත්තු තබාගෙනය.

කොල්ලකෑම සාර්ථක විණි. කොස්ගොඩ තාරක ට්‍රේල් බයික් ශූරයකු ලෙස තම කොල්ලකෑමේ පාර්ශ්වයේ එක් කොටසක් ඉටු කර ඇති අතර කොස්ගොඩ සුජී අවි ආයුධ මඟින් ඒ සඳහා තාරකට නොදෙවැනි සහායක් කොල්ලය සඳහා යොදා දී තිබේ. එම කොල්ල කෑමෙන් ලද මුදල් සියල්ල කොස්ගොඩ නදුන් සන්තකයේ තිබී ඇති අතර කොල්ල කෑමෙන් පසු සුජී සහ තාරක කොස්ගොඩින් පලාගොස් තිබේ. කොස්ගොඩ නදුන් ධර්ම කීර්ති තමන්ගේම සැලැස්මකට අනුව කොල්ල කන මුදල් සියල්ල රැගෙන ඉතාලියට පලා ගොස් ඇති අතර තමන් සන්තකයේ තිබූ මුදල්වලින් කොටසක් කොස්ගොඩ තාරක හට ලබාදුන් බව පවසා තාරක සහ සුජී අතර ආරවුලක් ඇති කරන්නට කොස්ගොඩ නදුන් ක්‍රියා කර ඇති අතර තාරක සහ සුජී නයි පොළොන් වෛරයකින් එකිනෙකා මරා ගැනීමට විරසක වී ඇත්තේ මේ කරුණ නිසාය. ලංකාවේ දකුණු ප්‍රදේශය තුළ ප්‍රචණ්ඩකාරී මරණ රැසක සුජාත පියා ලෙස සැලකිය හැකි කොස්ගොඩ නදුන් ධර්මකීර්ති අද වන විට ඉතාලියේ කිරින්දෑනුවර බෞද්ධ පන්සලක ආවතේවකරුවකු ලෙස සිය ජීවිතය ගෙවා දමන්නේ ඒ කාලයේදී දකුණු ප්‍රදේශය නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයකුගේ මලණුවන් චීවරධාරියකුව සිට කොස්ගොඩ නදුන් ධර්මකීර්තිට රැකවරණය සලසා දුන් නිසා යැයි පැවැසේ.

මේ හා සමඟ දකුණු පළාතේ එක්තරා කෙලවරක් මුල් කරගෙන තවත් පාතාල කණ්ඩායම් නායකයකුගේ නැඟීම සනිටුහන් විණි. ඔහු මාකඳුරේ මධුෂ්ය. අද වන විට ඔහු ලංකා පාතාලයේ කිරුළු පලන් රජුය. මාකඳුරේ මධුෂ් ලෙස නම් සඳහන් කළද ඔහු සැබැවින්ම කඹුරුපිටිය ප්‍රදේශවාසියෙකි. අදටත් මධුෂ්ගේ ඥාති සහෝදරයන් තම දිවි පැවැත්ම සරි කරගෙන කඹුරුපිටියට තදාසන්න බිම් කොටස්වල දිවි ගෙවන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙසය. ඔවුන් හට මධුෂ් කාලයකට ඉහතදී රැකියාවක් සොයා කොළඹ ගිය එක්තරා කොල්ලෙක් පමණි.

මධුෂ් පාතාල ලෝකයට හරිහැටි භෞතීස්ම වුණේ දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස සේවය කළ ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කරමිනි. ඒ කාලය වන විට මධුෂ් පාතාල සමාජයේ සාමාන්‍ය සාමාජිකයෙකි. රුපියල් එක්ලක්‍ෂ පනස්දහසක කොන්ත්‍රාත්තුවට ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව මධුෂ් විසින් භාර ගත්තද එම ඝාතනය සඳහා වෙඩික්කාරයෙක් සොයා ගැනීමට මධුෂ්ට අවස්ථාවක් තිබී නොමැත. පාතාල ලොව ආරංචි මාර්ගවලට අනුව ඩැනී හිත්තැටිය ඝාතනය සඳහා මධුෂ් හට පාතාල සාමාජිකයන් දෙදෙනකුගේ නම් යෝජනා වී තිබූ අතර ඔවුන් තෙල්වත්තේ පොඩි ලැසී සහ දෙමටගොඩ මංජු යසස් ශ්‍රී විණි. ඔවුන් අතරින් හොඳම වෙඩික්කාරයා මංජු ලෙස හඳුනා ගත් මධුෂ් ඔහු සමඟ එක්ව ඩැනී හිත්තැටිය මහතාගේ නිවෙසට තදාසන්න තේ පඳුරු යායක සැඟව ඔහුට වෙඩි තබා ඝාතනය කරන්නට යෙදුණු අතර ඩැනී හිත්තැටිය මහතාට අත්වූ අකල් මරණය මාකඳුරේ මධුෂ් විසින් තීරණය කළ බව දැනගත්තාට පසු දකුණු පාතාලයේ පාතාල රජු ලෙස ඔටුනු පලඳින්නට මාකඳුරේ මධුෂ්ට යා හැකි දුර ඉතාම කෙටි විණි.

දකුණු පාතාලය මෙලෙස ක්‍රියාත්මක වෙද්දී කොළඹ මුල් කරගත් පාතාලයේ නවතම චරිත වූයේ අංගොඩ ලොක්කා, රණාලේ සමයං, ලැඩියා (ලැඩියාගේ නම අද වන විටත් නියමාකාර ලෙස පොලිස් ලොග් සටහන්වල පවා නැත.) ය. අංගොඩ ලොක්කාගේ කල්ලිය රණාලේ සමයං සමඟ කෝන්තර ඇති කරගන්නා කාලයේදී දකුණු පළාත් පාතාලයේ කෙරුම්කාරයෝ තමුන්ගේ රක්‍ෂස්ථානය ලෙස දකුණ අවට බිම් භාවිත කරන්නට ගෙන තිබිණි. කොස්ගොඩ සුජී සමඟ ආරවුල් ඇති කරගත් කොස්ගොඩ තාරක ත්‍රීවීල් රියැදුරෙක් ලෙස කොළඹට පැමිණ අංගොඩ ලොක්කාගේ සහාය මත මූල්‍ය ආයතන කිහිපයක් කොල්ලකන්නේ ඔය අතරතුරය. කොස්ගොඩ සුජී සහ මාකඳුරේ මධුෂ් අතර දකුණ අරභයා පාතාල රජු කිරුළ සඳහා තරගයක් ඇතිවන්නට ගත් කාලයේදී කොළඹ කේන්ද්‍ර කරගත් පාතාලය ද ඒ සඳහා මැදිහත් වූයේ ඔය අතරතුරය.

"මධුෂ් කියන්නේ හිත හොඳ එකෙක්. හැබැයි ලෙයට ලෙයින් පළිගන්න එකෙක්. සෙල් එකේ ඉද්දී මධුෂ් උදේම නැඟිටලා පහන තියෙනවා. අරක්කු සිගරට් කටේ තියන්නේ නැහැ. දඩ ගෙවා ගන්න බැරිව ඉන්න හිරකාරයන්ගේ දඩ ගෙවන්න කියලා එළියට කෝල් කරන්න පැයක් විතර ගන්නවා. ඊට පස්සේ සෙල් එක ඇතුළේ අයගෙන් අහනවා දවල්ට මොනවාද කන්නේ කියලා. ඒවා ගෙන්වනවා. මධුෂ් ඉන්ටර්නෙට් වැඩවලට මාර දක්‍ෂයා. ඇතුළේ ඉඳන් ඇතුළේ ඉන්න අපිටම කතා කරනවා පිට රට නම්බර්වලින්. හිත හොඳ එකා. හැබැයි මම දන්න මධුෂ් මල් කඩපු මල් කොල්ලෙක් නෙවෙයි" මධුෂ් සමඟ ඉතා හොඳ ඇයිහොඳයියක් පැවැත්වූ පාතාල සාමාජිකයෙන් මධුෂ් ගැන පවසා සිටින්නේ එවැන්නකි.

මධුෂ් මේ වන විට සැඟව සිටින්නේ රුසියාවේ බව පැවැසේ. නමුත් ඔහු මේ වන විට ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කරන ලද රතු නිවේදනයට අනුව ලොව ඕනෑම රටක සිටියදී අත්අඩංගුවට පත්වීමට නියමිත පුද්ගලයෙකි. ඔහුගේ ප්‍රතිවාදියා වන කොස්ගොඩ සුජීටද ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර පොලිසිය විසින් කොළ නිවේදනයක් නිකුත් කර ඇති බව පැවැසේ. මධුෂ්ට රක්‍ෂිත බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීම සඳහා උපකාර කර ඇත්තේ දකුණු ප්‍රදේශය නියෝජනය කරන එක්තරා ඇමැතිවරයෙකි. එම ඇමැතිවරයාගේ සහය ලැබූ මධුෂ් අධිකරණයෙන් ඇප ලබා ගෙන ඇති අතර ඔහු අධිකරණයෙන් පිටව ගොස් ඇත්තේ එම දේශපාලනඥයාගේ මස්සිනාට අයත් කළු පැහැති ඩිෆෙන්ඩර් රථයෙනි. ඉන් පසුව ගිය අප්‍රේල් මාසයේ මාකඳුරේ මධුෂ් ලංකාව තුළ රැඳී සිටි බවට ප්‍රබල සාක්‍ෂියක් වූයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක්ය. හමුදා සෙබළුන් දෙදෙනෙක් විසින් සමූහ දූෂණයට ලක් කරන ලද දැරියක් කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දැරිය මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් සමාජ ජාල වෙබ් අඩවියක මාර්ගයෙන් ඩුබායිහි රැඳී සිටින මධුෂ් නමැත්තෙක් හඳුනා ගත් බවත් ඔහු ලංකාවට පැමිණි පසු තමා හමුවී කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පහේ හෝටලයක අඹුසැමියන් ලෙස තෙදිනක් ගත කළ බවත්ය. ඉන් පසු මධුෂ් බන්ධනාගාරගතව සිටින ඉරාක ජාතික සැකකරුවන් කිහිපදෙනකුගේ ජංගම දුරකතන හරහා නැවත නැවතත් තමන් සමඟ කතාබස් කළ බවය. ඉන් සනාථ වන්නේ මධුෂ් මීට මාස කිහිපයකට පෙරාතුව ලංකාවේ රැඳී සිට පාතාල කටයුතු සෘජුව මෙහෙය වූ බවකි.

ලංකාවේ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ගත් උත්සාහයේ එක් ප්‍රතිඵලයක් සනිටුහන් කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රථම එම පාතාල නායකයන්ගේ මවුවරුන් උසස් පොලිස් නිලධාරියකුගෙන් ලිඛිතවම ඉල්ලා ඇත්තේ යම් කරුණක් අරභයා තම පුතුන් අත්අඩංගුවට ගැනීමට වුවමනාවක් පවතින්නේ නම් ඒ සඳහා සහායක් ලබා දිය හැකි බවය. මෙම තත්ත්වයේ දුරදිග ඇදීම වූයේ පළාත් පාලන ඡන්දයෙන් පසු පාතාල මර්දනය වේගවත් වීමය.

මෙම තත්ත්වය මත මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායම පාතාල ලෝකය තුළ හොඳ ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තිබූ අතර පසුගියදා පෑලියගොඩ දඩල්ලේ මංජු පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රහාරයකින් මිය යෑම සහ මීටියාගොඩ ප්‍රදේශයේ පදුමා ලෙස හඳුන්වන පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වීම නිසා මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමට ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඒකාධිකාරිත්වය හිමි වූ බව පැවැසේ. පදුමා සහ දඩල්ලේ මංජු කොස්ගොඩ සුජීගේ සමීපතමයන් සහ හෙරොයින් ජාවාරමේ ප්‍රමුඛයන් ලෙස ක්‍රියා කළ අයයි.

ඔවුන්ගේ හිඩැස විසින් මාකඳුරේ මධුෂ්ගේ කල්ලියේ පාතාල සාමාජිකයන් කීපදෙනෙක් අන් පාතාල සාමාජිකයන්ට වඩා ඉදිරියට රැගෙන ඒමක් පසුගිය සතියේදී දක්නට ලැබිණි. ඉන් ප්‍රධාන වන්නේ පසුගියදා වැලිගම සහ මිදිගමදී අත්අඩංගුවට පත් චින්තක මල්ලී නම් මධුෂ්ට හිතවත් පාතාල සාමාජිකයාය. චින්තක මල්ලිගේ අනියම් බිරිය බවට පත්ව සිට ඇත්තේ දඩල්ලේ මංජු සහ කළු තුෂාර විසින් රණාලේ සමයංගේ උපදෙස් පරිදි ඝාතනය කර දැමූ හර්ෂ යසස් ශ්‍රී ගේ බිරියය. 2005 වර්ෂයේදී හර්ෂ යසස් ශ්‍රී ඝාතනයට ලක්වන අතර මාකඳුරේ මධුෂ් විසින් ඝාතනය කරන ලදැයි පැවැසෙන දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය ඝාතනයේ වෙඩිකරුවා ලෙස ක්‍රියා කොට ඇත්තේ මේ හර්ෂ යසස් ශ්‍රී ය. හර්ෂ යසස් ශ්‍රී ට අයත් කෝට්ටේ බැද්දගානේ පිහිටි නිවෙසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායට ලංකාව පුරා හෙරොයින් බෙදා හරින ජාලය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සහිත ලියකියවිලි ගොන්නක් හමුවී තිබෙන අතර ඒවායින් බහුතරය හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් ඊසි කෑෂ් සහ උන්ඩියල් ක්‍රම මඟින් පාතාල සාමාජිකයන් අතර බෙදී ගිය ආකාරය දැක්වෙන ඒවාය.

"චින්තක මල්ලී අපි දන්න කාලේ ඉඳලා මහ ලොකු වැඩකාරයෙක් නෙවෙයි. හැබැයි සුජීට රතු වරෙන්තු ගහලා සුජීගේ පැත්තේ සාමාජිකයෝ එකා දෙන්නා මැරෙන්න ගත්තට පස්සේ තමයි මධුෂ්ගේ හයිය අරගෙන චින්තක මල්ලිලා වැලිගම පැත්තේ දඟලන්න ගත්තේ. මිනිහා ඊසි කෑෂ්කාරයා. එයා මීට කලින් කීප වාරයක් හෙරොයින් සම්බන්ධ සිදුවීම්වලට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. පහුගිය ටිකේ චින්තක මල්ලි දඟලපු දැඟලිල්ලෙ හැටියට අපට තේරුම් ගන්න පුළුවන් වුණා ළඟදිම එයාට කූරු ගනින්න වෙනවා කියලා" එලෙස පවසා සිටින්නේ නම් සඳහන් කිරීමට නොහැකි උසස් පොලිස් නිලධාරියෙකි.

මාකඳුරේ මධුෂ් හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් යොදා තම ආර්ථික ශක්තිය දියුණු කර ගත්තද ඉන් මත්තට ඔහුට අවැසි වී ඇත්තේ දේශපාලන බලයක් ගොඩනඟා ගැනීමටය. මූල්‍යමය හයියක් නැති දේශපාලන වශයෙන් බලවත් පාතාල සාමාජිකයන් තමන් වෙත නතු කර ගැනීමේ ක්‍රියා පිළිවෙතක් මධුෂ් විසින් ආරම්භ කර ඇත්තේ ආර්ථික බලය පමණක් අතැතිව සිය ජාවාරම් මෙහෙයවීමට නොහැකි බව දැනය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පාතාලය නියෝජනය කරන සාමාජිකයන්ගේ හිතවතුන් රැසක් මැතිවරණයට ඉදිරිපත් වුණේ මෙම තත්ත්වයේ දුරදිග ඇදීමක් ලෙසය.

පසුගිය 11දා වැලිගමදී අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමරත්න නම් පාතාල සාමාජිකයා වැලිගම ප්‍රාදේශීය සභාවට ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයකින් තරග වැදී ඇත්තේ මාකඳුරේ මධුෂ්ගේ ඉල්ලීම මතයැයි පැවැසේ. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා අත දිග හැර මුදල් වියදම් කර ඇත්තේ මාකඳුරේ මධුෂ්ය. පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු මැදිහත් වීම මත මෙම පාතාල සාමාජිකයන් සියලු දෙනා කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට ක්‍රියාන්විතයක් දියත් වූයේ පසුගිය මැතිවරණයෙන් පසුවය. ඒ අනුව පසුගියදා පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රහාරයකින් මියගිය දඩල්ලේ මංජුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වකරුවා වන මාකඳුරේ මධුෂ්ට හිතවත් පෑලියගොඩ මිරිස්වත්ත පදිංචි බැරල් සංඛ හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 780ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත්වන්නේ මෙවැනි වටපිටාවකය.

බැරල් සංඛ 2015 දෙසැම්බර් මස 21දා දඩල්ලේ මංජුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතවූ පුද්ගලයෙකි. බන්ධනාගාරයේ සිට උතුරු කොළඹ ප්‍රදේශයේ කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම බැරල් සංඛ විසින් මෙහෙයවා ඇත්තේ මාකඳුරේ මධුෂ්ට අවැසි ආකාරයටය. සිය ආරක්ෂාව පිළිබඳ උපරිම ලෙස ක්‍රියා කරන බැරල් සංඛ ප්‍රධාන පාරක ගමන් ගන්නා විට යතුරු පැදි 10ක පමණ නැඟගත් සහචරයන් පිරිසකගේ ආරක්ෂාව ලබාගන්නා බව පැවැසේ. කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අප්‍රතිහත කැපවීම මත පාතාලයේ මහ කණු කීපයක් පසුගිය සතිය තුළ ඇදවැටුණු බව නම් සැබෑය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon