මෙවන් ගොරතර විපතක් නොපතන් දුවේ ජාතිජාතිත්

  👤  3561 readers have read this article !
By mawbima 2018-03-18

කෙතරම් නීතිරීති පැනෙව්වත් මොන තරම් සංවිධාන ක්‍රියාත්මක වුවත් දරුවන් අපයෝජනයට ලක්වීම ලොව කොතැනත් හැමදාමත් එකම අයුරින් සිදුවේ. ශ්‍රී ලංකාව තුළද එය බරපතළ ලෙස ඔඩුදුවා ගිය ගැටලුවකි. මෙහි ආසන්නතම ඛේදවාචකය පසුගියදා වාර්තා වූයේ උෟව පළාතෙනි.

ඒ පිළිබඳ හෙළිදරවු කරගත හැකි වූයේ 13 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයන් 5 දෙනකු සහ ඊට අනුබල දුන් දැරියගේ මව හා මිත්තණිය සැකපිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියත් සමඟය.

දැරිය අපයෝජනයට ලක්වී ඇත්තේ ඇයට වයස අවුරුදු පහේ සිටය. වසර 7ක් තිස්සේ සිය පියා, පියාගේ මිතුරන් දෙදෙනා, මාමා සහ මවගේ අනියම් සැමියා අතින් ඇය අපයෝජනයට ලක්වී ඇත. දැරියගේ මව විදේශගතවී ඇත්තේ මීට වසර 7කට පෙර එනම් දැරියට වයස අවුරුදු 5දීය. මව විදේශගත වීමත් සමඟ දැරියගේ භාරකාරිත්වය හිමි වී තිබුණේ ඇගේ මිත්තණියටය. මිත්තණිය ළඟ හැදී වැඩුණු ඇය පළමුව අපයෝජනයට ලක්ව ඇත්තේ මවගේ සහෝදරයා අතිනි. එනම් දැරියගේ මාමා අතිනි. ඒ දැරිය මිත්තණියගේ භාරයට පත්වූ වසරේ සිටය. වරක් දෙවරක් නොව දිගින් දිගටම ඇය මාමාගේ ගොදුරක් වී ඇත.

වයස අවුරුදු 8දී ඇය අපයෝජනයට ලක්වන්නේ ඇයගේම පියා අතිනි. මත්පැනට දැඩිව ලොල් වූ ඔහු මත්පැන් පානයට මුදල් හිඟ වූ අවස්ථාවේදී ඔහුගේ මිතුරන් දෙදෙනකුට ද දැරිය අපයෝජනයට ලක් කිරීමට ඉඩකඩ සලසා දෙන්නේ මත්පැන් වෙනුවෙන් කරනා හුවමාරුවක් ලෙසිනි. සිවු දෙනා අතින්ම මාරුවෙන් මාරුවට අපයෝජනයට ලක්වන දැරිය ඊළඟට ගොදුරු වන්නේ මවගේ අනියම් සැමියාටය. එය මවගේ අනුදැනුම මත සිදුවූවක් බව මේ වනවිට අනාවරණය වී ඇත.

තමන්ට සිදු වූ අතවර, විඳින්න වූ දුක් ගැහැට කිසිවකුට කීමට ඇය ඉදිරිපත් නොවුණද අදාළ සිද්ධි සියල්ල දිනපොතක සටහන් කර තැබීමට වගබලාගෙන ඇත. විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි මවට දියණියගේ මෙම දින සටහන් පොත හසුවී තිබුණද අකුරු කියැවීමට නොදන්නා ඇය මෙය කුමක්දැයි දියණියගෙන් විමසා තිබේ. එහි සටහන් සියල්ල පිළිබඳ ඇය මව හා පවසා සිටියේ සහනයක් අපේක්ෂාවෙනි.

නමුත් සිදුවූයේ නොසිතූ දෙයකි. දියණියගේ කතාව ඇසූ මව ඉන් උරණ වී එහි සඳහන් කිසිවක් කිසිවකුට නොපවසන ලෙස බල කරමින් පොත පුලුස්සා තිබේ. දියණියට සිදුවන අසාධාරණය නැවැත්වීමට කිසිවිටෙක උත්සාහ නොගත් මව දිනෙන් දින සිදු කළේ දියණිය තව තවත් අගාධයට ඇද දමනා ක්‍රියාවන්ය. මවත් පියාත් දෙදෙනාම එකතු වී තවත් පුද්ගලයන් කිහිප දෙනකුටම දැරිය ලබාදෙන්නේ යම් යම් වාසි තකාය.

ශාරීරිකව මෙන්ම මානසිකවත් මහත් වූ ව්‍යාධියකට මුහුණ දෙන දැරිය ඇයට වඩා වසර 25කින් වැඩිමහල් එනම් වයස අවුරුදු 38ක පුද්ගලයකු සමඟ පෙමින් බැඳෙන්නේ තමන් එතෙක් ජීවත් වූ පරිසරයෙන් මිදී පැන යෑමේ අරමුණිනි. පසුගිය වසරේදී ඇය නිවෙසින් පලායන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

දැරියගේ පලායෑම නොඉවසූ මවත් පියාත් එකතුව පොලිසියට පැමිණිලි කළේ ඇගේ අතුරුදන්වීම පිළිබඳවය. නමුත් ඒ පැමිණිල්ල ඔස්සේ මෙතෙක් දැරියට වූ අසාධාරණය හෙළි වනු ඇතැයි ඔවුන් කිසිවිටෙකත් නොසිතන්නට ඇත. මවුපියන්ගේ පැමිණිල්ල මත දැරිය අපහරණය කිරීමේ චෝදනාවට 38 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් කරා යොමු කළේය. දැරියගේ අතකට ඇතුළත් කළ උපකරණයක් හරහා උපත් පාලනයක් සිදු කිරීමට අදාළ රෝහලේ වෛද්‍යවරයා පියවර ගෙන තිබිණි. අවස්ථාව ලද මොහොතේ නිසි ප්‍රයෝජනය ගැනීමට සිතූ දැරිය මෙතෙක් ඇය විඳි කරදර සියල්ල පොලිස් නිලධාරීන් හමුවේ වෛද්‍යවරුන් ඉදිරියේ පාපෝච්චාරණය කළද ඇයගේ අවනඩුවට කිසිවකුත් කන් දුන්නේ නැත.

ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් පවසන්නේ දැරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇගේ අත වෙළුම් පටියකින් වෙලා ඇත්තේ මන්දැයි විනිසුරුවරයා විමසද්දී දැරිය අදාළ සිද්ධි දාමය අකුරක් නෑර ඔහු හමුවේ අනාවරණය කළ බවයි. විනිසුරුවරයා හරහා ළමා ආරක්ෂක අධිකාරියට යොමු කළ දැරිය දැන් සිටින්නේ ඔවුන් භාරයේය.

මෙම සිදුවීමට අදාළ විමර්ශන අවසන් කර අදාළ ගොනු මහාධිකරණයේ නඩු පැවරීම සඳහා නීතිපති වෙත යොමුකර තිබේ. මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව නැවත මාර්තු 22 වැනිදා කැඳවීමට නියමිතය.

චාමිණී ගම්මන්පිල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon