තොරතුරු සමාජයට තොරතුරු අහිමි කළ කටකතා තටු ලබපු සුදු කපුටු විකාරය

  👤  3448 readers have read this article !
By mawbima 2018-03-18

මාර්තු 6 වැනිදා උදෑසන වන විට රටම රත්වී තිබුණේය. තෙල්දෙණිය ප්‍රදේශයේ කුමකින් කුමක් සිදුවේදැයි සොයා බලන්නට ජනතාව උත්සුක වූහ. මේ අතර ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේත් දිගන, මහනුවර ආශි්‍රත ප්‍රදේශවල සිදුවන කලහකාරී තත්ත්වයන් පිළිබඳව තොරතුරු විමසමින් සිටියහ. සමාජ මාධ්‍ය හරහා ගිනි තැබීම්, මරණ වාර්තාවීම් පමණක් නොව, මුස්ලිම් ජනතාවට විරුද්ධව විවිධාකාරයේ ෆේස්බුක්, මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර් හරහා පින්තූර දිගින් දිගට ප්‍රචාරය වන්නට විය. එසේම මුස්ලිම් වෙළෙ¼දාමට විරුද්ධව හා මුස්ලිම් ජාතිකයන් සිදුකළා යැයි කියන දුරාචාර පිළිබඳව කියමින් ෆේස්බුක්, වට්ස්ඇප් ආදිය හරහා පණිවුඩ ගලා එන්නට විය. මාර්තු 7 වැනිදා දහවලට ආසන්න වනවිට ෆේස්බුක් සමාජ ජාලය ඇන හිටියේය. ආණ්ඩුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් නවතා තිබිණි.

තොරතුරු ගලා ආවේ මඳ අයුරිනි. දිගන සිදුවීම් පෙළ පිළිබඳව රූපවාහිනි හා ගුවන් විදුලි මාධ්‍යවලින් මෙන්ම පුවත්පත්වලින් ආ ප්‍රවෘත්ති පිළිබඳව සෑහීමකට පත්වන්නට නොහැකි තරම්ය. සමාජ මාධ්‍යවලට සාපේක්ෂව විද්‍යුත් මාධ්‍යවලින් ලැබෙන ප්‍රවෘත්තිවල සීමාකාරී බවක් බැලූ බැල්මට දක්නට ලැබිණි. වහ වහා ක්‍රියාත්මක වී ඍර්ථීව් ඇප් ඩවුන්ලෝඩ් කරගත් සමාජජාල භාවිත කරන්නන් නැවත සමාජ මාධ්‍ය සමඟ වහ වහා සම්බන්ධ වීමට උත්සුක විය.

පැය 72ක් ඇතුළත ෆේස්බුක් තහනම ඉවත් කරන බව කීවත් මාර්තු 7 වැනිදායින් ආරම්භ කෙරුණුු තහනම මාර්තු 15 වැනිදා වනතුරුත් එනම් සතියකට වැඩි කාලයක් නිල වශයෙන් පවත්වාගෙන ගියේය.

සැමට ඉහළින් නීතිය යන්න අප ඉගෙනගෙන ඇති පාඩමකි. රටේ සියලු පුරවැසියන්ට නීතිය සමාන බවත් අප ඉගෙන ගෙන ඇති පාඩමකි. එසේ නම් ෆේස්බුක් තහනම රටේ සියලු දෙනාටම බලපැවැත්විය යුතුය. රටේ පොදු ජනතාව මෙන්ම රටේ නායකයා, පළමු පුරවැසියා වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේත් රටේ දෙවැනි පුරවැසියා වන අගමැති, එනම් රනිල් වික්‍රමසිංහ මහතාගේත් ෆේස්බුක් ගිණුම් මාර්තු 8 වැනිදා අප්ඩේට් වන අයුරු දැක ගන්නට හැකි විය. එසේම විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා ඇමතිවරයා වන හරින් ප්‍රනාන්දු මහතා විසින් මාර්තු 7 වැනිදා අලුයම 00.53ට පමණ සිය නිල ෆේස්බුක් පිටුවේ "ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතන තාවකාලිකව ඉවත තබා, ඔබගේ වෛරයෙන් නිදහස් වීම, සැමට යහපත් ශ්‍රී ලංකාවක් බිහි කරන්න" යන පණිවුඩය සටහන් කර තිබුණත් ඇමැතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවද මාර්තු 9 වැනිදා වනවිටත් අප්ඩේට් වෙමින් පැවතිණි.

ඍර්ථීව් (ඍඥපබභචත ර්ථීපඪමඥබ ව්ඥබඹධපඬ) (වර්චුවල් ප්‍රයිවට් නෙට්වර්ක්) ඇප් හරහා වෙබ් සයිට්වලට පිවිසීම තොරතුරුවල පෞද්ගලිකත්වය රැක ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් නොවුණත් වීපින් ඇප් හරහා මෙරට ලක්ෂ 8ක් පමණ ෆේස්බුක් සමාජ ජාලයට පිවිසි බවට වාර්තා විය. මෙරට ෆේස්බුක් ගිණුම් ඇත්තේ ලක්ෂ 59 කි. ලංකාවේ වයිබර්, වට්ස්ඇප්, මැසෙන්ජර් වැනි සමාජ ජාල භාවිත කරන මුළු සංඛ්‍යාව මිලියන 6.8කි. සමාජජාල අවහිර කළ වහාම ටෙලිකොම් ඇතුළු සන්නිවේදන පහසුකම් පිළිබඳ දැන්වීම් පළ කරන ආයතන ඍජු විදෙස් දුරකතන පහසුකම් පිළිබඳව දැන්වීම් පළ කළේය.

ඒ අල්ලපනල්ලේ ජනාධිපතිවරයා පසුගිය 13 වැනිදා සිය ජපාන සංචාරයේදී ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ටෝකියෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතමින් කියන්නේ "සතියක් ෆේස්බුක් වහපු ගමන් ලෝකයේ හැම තැනම ඉන්න ලොකු සමාගම්වල මහත්වරු දැන් පසුගිය සතියේ ඉඳලා අපේ රටට එනවා අපේ සමාගම්වලට ලොකු පාඩුවක් කියලා. ඒ අයගේ ආදායම් පහළ බැහැලා කියලා. රජයේ ආයතනවල ආදායම් හොඳටම ඉහළ ගිහිල්ලා තිබෙනවා ෆේස්බුක්, වෙබ් සයිට් වහලා දැම්මට පස්සේ. ටෙලිකොම්, විදුලි සන්දේශන නියාමන කොමිසම දවසේ ආදායම මිලියන 200කින් වැඩිවෙලා තිබෙනවා" යන්නයි.

මහනුවර සිට සමාජ ජාල හරහා දේපොළ කොල්ලකෑම්, දේපොළ විනාශ කිරීම ස¼දහා දායක වූ පුද්ගලයන් ඒ සඳහා භාවිත කළ සේවා දත්ත ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මඟින් ලංකාවේ බලධාරීන් වෙත ලබා දී තිබුණත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට බොහෝ කල්ගත වූ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රංජිත් කීර්ති තෙන්නකෝන් සිය ලිපියක සටහන් කොට තිබිණි. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතියත්, රටටම බලපවත්වන පරිදි හදිසි නීතියත් දමා තිබියදී දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඒ දින කිහිපය පුරා සිදු විය. ඔවුන් අත්අඩංගුවට ගත්තේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා පටන් ගෙන දින කිහිපයකට පසුවය. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට යොමු වූ පුද්ගලයන් හා ඒවාට නායකත්වය දුන් සිංහල හා මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් නිරුපද්‍රිතව සිටියදී ආණ්ඩුව වහ වහා කළේ සමාජ ජාල සීමා කිරීමයි.

අද ඇත්තේ තොරතුරු සමාජයකි. ජනතාව නිරන්තරයෙන් තොරතුරු සොයා යෑමට පෙලඹී සිටිති. ජනතාව නව ප්‍රවෘත්ති හා අලුත් තොරතුරු වෙත පෙලඹීම වැළැක්වීමට නොහැකි තත්ත්වයකි අද ඇත්තේ. තොරතුරු සොයන ජනයා සමාජ මාධ්‍ය ජාල අවහිර වීමෙන් පසුව කටකතාවලට යොමු වී තිබිණි. මරණ සීයක් මහනුවරින් වාර්තා වෙනවා, තවම ගැටුම පහ වී නෑ යනාදී තොරතුරු දුරකතන ඔස්සේ ලබා ගත් ප්‍රවෘත්තිය. නිවැරැදි හා වඩාත්ම පැහැදිලි ප්‍රවෘත්ති විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් නොලැබුණු සතිය පුරාවට ජනතාව එදිනෙදා තොරතුරු ලබාගැනීමට තිබූ සමාජ මාධ්‍යද අහිමි වීම නිසා කටකතාවලට යොමු නොවූයේ යැයි කාටවත් කියන්නට බැරිය. එසේ ලැබෙන නොනිල තොරතුරු නිසා ජනතාව කලබලයට හා අපහසුතාවට පත්වූවා සේම ආණ්ඩුව පිළිබඳව ඇතිවුණු කළු පැල්ලම මෙකෙැයි කියා මිනිය නොහැකිය.

ඉන්ටර්නෙට් භාවිත කරමින් සිදු කරන්නේ ජාතිවාදය හෝ ආණ්ඩු විවේචනය පමණක් නොවේ. එකිනෙකා අතර සම්බන්ධතා පවත්වාගෙන යෑමටත් ව්‍යාපාරික කටයුතු සඳහාත් මේවායින් ලැබෙන්නේ පිටිවහලකි. විශේෂයෙන්ම විදෙස් රටවල ජීවත් වන තම සමීපතමයන් හා ඥාතීන් සමඟ අඩු මුදලකින් සන්නිවේදන කටයුතු සිදුකළ හැකි ක්‍රමවේදයකි. මේ තහනමත් සමඟ ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් විදෙස් රටවල තම ඥාතීන් සමඟ පවත්වාගෙන යන සම්බන්ධකම්වලට ඇතිවූයේ බාධාවකි.

නොමිලයේ වයිෆයි ලබාදීම, ටැබ්ලට් ලබාදීම පිළිබඳව මේ ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ඡන්ද පොරොන්දු ලබා දුන්නේය. එහෙත් ඒ පොරොන්දු සියල්ල විහිළුවක් වී හමාරය.

මුස්ලිම් විරෝධය මේ රටේ ඇති වන්නට පටන් ගත්තේ තෙල්දෙණියෙන් නොවේ. එය ඵෙතිහාසිකය. මෑත කාලීනව 2014 වසරේදී බේරුවල දර්ගා ටවුන්වල සිදුවීම මතකය. මුස්ලිම් ජාතිකයන්ට අයත් රෙදි කඩ ගිනි තැබූ අයුරු මතකය. ඊට අමතරව වඳපෙති, වඳවෙන යට ඇඳුම් ආදිය පිළිබඳ විශාල ප්‍රචාරයක් ගියේය. මේ සියල්ල මෙසේ සිදුවන විට ආණ්ඩුව කරබාගෙන සිටියේය. මේ අර ඇඳෙන්නේ කලකෝලාහලයකට බව දැන දැනත් නිහඬව සිටියේය. සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් වේවා භේදයකින් තොරව ජාතිවාදය වපුරනවා නම් රටේ නීති උල්ලංඝනය කරනවා නම් නිසි දඬුවම් දිය යුතුය. ආණ්ඩුව, දේශපාලන නායකයන් නිහඬව සිටියදී, පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන විටකදී ජනතාව නීතිය අතට ගෙන ඇත. නියපොත්තෙන් කඩන්නට තිබූ දෙය පොරොවෙන් කපන්නට සිදු වෙනවා කියන්නේ කට කහනවාට නොවේ. ආණ්ඩුවටද දැන් සිදු වී ඇත්තේ මේ ටිකය. සාමය සංහිඳියාව වෙනුවෙන් කරන්නට කොතෙකුත් තිබියදී ආණ්ඩුව මුලින්ම කළේ ෆේස්බුක් තහනමය.

ඒත් ඒ තහනම ඔළුවෙ කැක්කුමට කොට්ටය මාරු කිරීමක් මිස රටේ දැවෙන ආර්ථික සමාජ දේශපාලන ප්‍රශ්නවලට උත්තර නම් නොවන බව පසක් කළ යුතුය.

රසිකා හේමමාලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon