මහ නුග රුකේ ළය පැළිලා වැලි කතරේ මල් පෙති පර වෙලා දිය වෙයි බොර වතුරේ

  👤  3568 readers have read this article !
By mawbima 2018-03-18

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු වන්නේ දහසකුත් එකක් ප්‍රාර්ථනා මල්පල දරනු රිසියෙනි. එහෙත් එම ප්‍රාර්ථනා ඛේදනීයව කෙළවර වන හැටි මුළු සමාජය සුලබවම අත්විඳී. එහෙත් යළි යළිත් එය එකම විකල්පය ලෙස තෝරා ගනියි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2016 සංඛ්‍යා ලේඛන අනුව 2,42,930 දෙනෙක් විදේශ රැකියා සඳහා ගොස් සිටිති. සුළු පිරිසක් හෙවත් 6,574ක් වෘත්තිකයෝ වෙති.

ගෘහ සේවිකාවන්ගේ සංඛ්‍යාව 65,127 දෙනෙකි. රැකියා සඳහා විදේශ ගත වන අයගෙන් 35%ක්ම ගෘහසේවිකාවෝ වෙති.

විදේශ රැකියා සඳහා යෑමේදී සෞඛ්‍ය සම්පන්නව සිටීද යන්න පිළිබඳ පරීක්ෂා කරයි. එහෙත් විදේශවලදී විවිධ අතවරයන්ට ලක්වී මිය යන සංඛ්‍යාව අති විශාල වී තිබේ.

2013දී 298 දෙනකුද 2014දී 315 දෙනකුද, 2015දී 312 දෙනකුද, 2016දී 296 දෙනකුද වශයෙන් මියගොස් ඇත. ඒ අතරෙන් විශාල පිරිසක් ගෘහසේවිකාවෝ වෙති.

වැඩිම විදේශ විනිමයක් විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් ලබාගත්තද ඒ වෙනුවට ජීවිතවලින් වන්දි ගෙවීමට ශ්‍රී ලාංකේය ජාතියටම සිදුවී ඇත.

මේ අතර ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන මවුවරුන්, දියණිවරුන්, සහෝදරියන් පත්වන කටුක ඉරණමත් ඒ නිසාම පවුල් සංස්ථාවල ඇතිවන කඩාවැටීම් මෙරට සමාජය වඩාත් සංවේදී කරවන්නකි. ඒත් එය දවස් කිහිපයකට හෝ තවත් එක් සිදුවීමකට පමණක් ලඝු කොට අමතක කළ හැකිද යන්න යළිත් අප අපගෙන්ම ප්‍රශ්න කළ යුත්තක් බවට පත්වී ඇත.

ගාල්ල, වඳුරඹ, කටුබුරාව පදිංචිව සිට ගෘහසේවිකාවක ලෙස විදේශගතවී සිටියදී ඝාතනය කෙරුණු ප්‍රියන්තා ජයසේකර නමැති තිස් අට වියැති දෙදරු මවගේ කතාව විදේශීය මසුරන්වලට වඩා ජීවිතවල වටිනාකම ගැන යළි කතිකාවක් ගොඩනංවා ඇත. පසුගිය 10 වැනිදා ප්‍රියන්තා මහත්මියට බුරේද්හ්හිදී වෙඩි තැබූ ඝාතකයා ඇය සේවය කළ සෞදි අරාබියේ නිවෙසේ සිටි පුත්‍රයෙකි. ඔහු මානසික රෝගයකින් පෙළුණු බව නිවැසියන් එරට පොලිසියට ප්‍රකාශ කොට ඇත. එහෙත් එවැනි මානසික රෝගියකු එම නිවෙසේ සිටි බවක් ප්‍රියන්තා කිසිවිටෙකත් තම පවුලේ අයට සඳහන් කොට නොමැත. එහෙත් ප්‍රියන්තාගේ ඝාතනය මානසික රෝගියකුට බැරවී ඇති අතර ඔහුද වෙඩි තබා ගෙන දිවි නසා ගත් බව කියයි.

ප්‍රියන්තා ජයසේකර විවාහ වී සිටියේ එල්.ජී. උපුල් සමඟින් මීට විසි වසරකට ඉහතදීය. විවාහ වුවද උපුල්ට ස්ථිර රැකියාවක් නොතිබූ නිසා පවුලේ අගහිඟකම් එන්න එන්නම වැඩිවිය. ඊට කිසියම් ආර්ථික ශක්තියක් ලබාදෙන්නට ක්‍රමයක් නොතිබූ ප්‍රියන්තා ගෘහ සේවිකාවක ලෙස විදේශගතවීමට අදිටන් කරගෙන තිබුණේ ඉතා අපහසුවෙන්ය. ඒ දියණියන් ළඟ මවක් සිටිය යුතුම යැයි සිය දහස් වර කල්පනා කළ නිසාය. පවුලේ ප්‍රධාන ආර්ථික ශක්තිය බවට ප්‍රියන්තා පත්වීම නිසා ඇය කිහිප වරක්ම ගෘහ සේවිකාවක ලෙස විදේශ ගත වූවාය. එහෙත් 2009න් පසු ආපහු විදේශ ගත නොවන තීරණයට ඇය එළැඹ තිබිණි. ඒ තම පවුල වෙනුවෙන් කාලය වෙන් කළ යුතුව තිබූ නිසාය.

උපුල්ගෙත් ප්‍රියන්තාගෙත් කැදැල්ලෙහි සිටියේ දියණියන් තිදෙනෙකි. වැඩිමලා වූ විසි එක් වියැති චමිලා ආසිරි විවාහ වී ඇතත් ‍ෙදාළොස් වියැති අවිශ්කා හේමාලි සහ අවුරුදු අටක් වන නෙත්මි නවෝද්‍යා දැරියෝ උෟරල කනිටු විදුහලේ සිසුවියෝ වෙති.

එම දැරියන් දෙදෙනා හොඳින් ඉගෙන ගන්නවා දකින්නට ප්‍රියන්තාට නොනිත් සිහිනයක් තිබිණි. එමෙන්ම වසර ගණනක් තිස්සේ ඉදිකිරීම් අවසන් කරන්නට බැරි වූ නිවෙසද පෙනුණේ හිසට බරක් මෙනි. මේ අතර හදවතේ සිදුරක් නිසා බාල දියණියට අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට ඔවුන්ගේ සියලු සේසතම වැය කරන්නට සිදුවී තිබිණි. ප්‍රියන්තා යළිත් විදේශගත වීමට සිතන්නේ එවැනි ප්‍රශ්නවලට කිසියම් සහනයක් අපේක්ෂාවෙන්ය. ඒ 2017 අප්‍රේල් මාසයේදීය.

"දූලා දෙන්නා හොඳ ඉස්කෝලෙකට දාන්නම්. අලුත් පොත් බෑග් අරගෙන එන්නම් කියලයි එදා බිරිය ගියේ. ණයට අරගෙන තමයි අවශ්‍ය දේවල් ලෑස්ති කර ගත්තෙ. ඒත් මේ සැරේ ගිය දවසෙ ඉඳලම ප්‍රශ්න. ඒ ගෙදර මාරු කරලා දෙන්න කියලා එයා ඒජන්සියට පැමිණිල්ලක් කරලා තිබුණා. මාස හයෙන් තුනටයි පඩි දීල තිබුණෙ. පසුගිය මාසෙ දහවැනිදා තමයි එයා අන්තිමට කතා කළේ. දරුවො දෙන්නා බලාගන්න කිව්වා. පොඩි දරුවගෙ බෙහෙත් වෙලාවට දෙන්න කිව්වා. එයාට ඕන වුණේ පොඩි දරුවා ඉක්මනට සනීප කරගන්න. ගේ හදාගන්න ඕන කියලත් කතා කළා. එදා ඉක්මනට ෆෝන් එක තිබ්බා. ඊට පස්සෙ කතා කළේ නෑ" ප්‍රියන්තාගේ සැමියා කියා සිටියේය.

ප්‍රියන්තාගෙන් ඇමතුමක් වෙනුවට පසුගිය 12 වැනිදා විදේශ රටකින් කතාකොට ප්‍රියන්තා සොයාදෙන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස දන්වා තිබිණි. එහෙත් ඒ වනවිට බිරිය මියගොස් තිබූ බව සැමියා දැන නොසිටියේය.

ඇයගේ දේහය මේ ලිපිය ලියන සිකුරාදා (16දා) වනවිටත් සෞදි අරාබියේ අල්රාස් රෝහලේය. එම දේහය ගෙන්වා ගැනීමට ප්‍රියන්තාගේ පවුලේ සාමාජිකයන්ට බලධාරීන්ගේ පසුපස යෑමට සිදුවී ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (විදේශ සබඳතා) ඒ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රියන්තාගේ මෘත ශරීරය රැගෙන එන දිනයක් නිශ්චිතව කිව නොහැකි බව කීවේය. සිකුරාදා වනවිටත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට නොමැති බවද සඳහන් කළේය.

ප්‍රියන්තා ජයසේකරගේ ඝාතනයත් සමඟ ඔවුන් සාමූහිකව මැවූ බලාපොරොත්තු තවදුරටත් මිරිඟුවක්ව පවතී. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, රෝගී දැරියට නිසි ප්‍රතිකාර, නිවෙසක් ඇතුළු ඒ සියල්ල තවත් බරක් බවට පත්ව තිබේ. එමෙන්ම ඇයගේ ජීවිතයට සාධාරණයක් මේ ආත්මයේ ඉටු කිරීමට නොහැකිය.

මේ සියල්ල අපේ සමාජයට බොහෝ දේවල් සිතන්නට ඉතිරි කර ඇත. තීරණ ගත යුතු දේශපාලන අධිකාරිය ඇතුළු බලධාරීන් තවදුරටත් ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් පිටරට නොයැවීමට තීරණය කරන තාක්කල් මේ ඛේදවාචකය එලෙසම පවතිනු ඇත. ප්‍රියන්තා කුමාරිලා තව තවත් ඉදිරියේදිත් මුණගැසෙන්නේය.

දෙනගම ධම්මික රණවීර
ඉමදුව - ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon