තේ අනතුරේ

  👤  3819 readers have read this article !
By mawbima 2018-03-18

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ශ්‍රී ලංකවේ ජාතික ආර්ථිකයට විශාල විදේශ විනිමයක් ලබාදෙන තේ සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළේ පවතින ඉල්ලුම මේ වන විට අහිමි වී යෑමේ තත්ත්වයක් මතුවෙමින් තිබේ. ඒ හේතුවෙන් මෙරට තේ අලෙවි කිරීමේ බරපතළ ව්‍යසනයක ලකුණු පහළ වෙමින් තිබේ.

තේ නිෂ්පාදන කර්මාන්තශාලා හිමියන් අතරින් සියයට හැත්තෑවකට ආසන්න පිරිසක් මේ වනවිට තේ නිෂ්පාදනයේදී එහි පැහැය සහ බර වෙනස් කර ගැනීමේ අරමුණින් තේ, පාන්පිටි ඇතුළු බාහිර ආදේශකයන් එකතු කිරීම මත මේ තත්ත්වය මතුව තිබේ.

'ඉරිදා මව්බිම' ට වාර්තාවන අන්දමට තේ කර්මාන්තශාලා හිමියෝ තේවල පැහැය වෙනස් කිරීමට සීනි, පාන්පිටි, ග්ලූකෝස්, ජෙල් ඇතුළු විවිධ ඩයිවර්ග සහ පොටෑසියම් පර්මැංගනේට්, සෝඩියම් හයිඩේ‍රාක්සයිට්, සල්ෆේට් ආදී රසායන ද්‍රව්‍ය මේ ආදේශක වශයෙන් භාවිත කරනු ලබයි.

මෙසේ තේවලට සීනි එකතුකිරීමේ කාර්යය මේ වන විට වසර 10ක් තිස්සේ සිදුවෙමින් පවතින බවත් මීට වසර 2කට පමණ කාලයක සිට තේ සඳහා පාන්පිටි, එකතුකිරීම තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් වැඩි පිරිසකගේ අවධානය යොමුවී තිබේ.

මෙලෙස තේවලට පාන්පිටි ආදේශනය භාවිත කර තිබෙන්නේ තේ දල්ලේ කොළ පැහැය සහ බර වැඩිකර ගැනීමටයි. සාමාන්‍යයෙන් තේ නිෂ්පාදනයේදී ළපටි තේ දලු භාවිත කළත් මෙසේ පාන්පිටි කලවම් කිරීමෙන් සම්පූර්ණ තේ දල්ලක් වුවත් යොදා ගැනීමට හැකියාව ලැබේ. එසේ පාන්පිටි යොදාගෙන තේවල කොළ පැහැය කෘත්‍රිමව ලබාගැනීමට කර්මාන්ත හිමියන් යොමු වී තිබෙන්නේ තේවල පැහැය සඳහා ද අමතරව මිලක් ලැබෙන බැවිනි.

කෙසේ වෙතත් මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තේවල පැහැය සඳහා අමතර මිලක් ලබාදීම සිදුනොවේ. එසේ තේ දල්ලේ පැහැය වෙනුවෙන් ලබාදුන් අමතර විශාල ආදායමක් කර්මාන්ත ශාලා හිමියන් විසින් තේවලට පාන්පිටි එකතු කිරීමටත් මේ වන විට අහිමි වී තිබේ.

මෙරට තේ නිෂ්පාදනයන් අවම වශයෙන් වසර 2 - 3ක කාලයක් දක්වා තබා ගැනීමට හැකි වෙතත් මේ ආදේශකයන් භාවිත කරමින් වෙළෙඳපොළට නිකුත් කරන තේවල අවම කාලය වන්නේ මස 06ක් වැනි ඉතා කෙටි කාලයකි.

මේ හේතුවෙන් මෙරටින් පිටරට යැවෙන බොහෝ තේ නිෂ්පාදනවල කෘමියන් සිටීම, පුස් බැඳීම ආදී තත්ත්වයන් ඇතිවීමට ඇත්තේ ඉතා වැඩි ප්‍රතිශතයකි.

එවැනි අවස්ථා මෑතකදීද අපට අහන්නට ලැබීම මේ තත්ත්වයේ බරපතළ භාවයට කදිම නිදසුනකි.
කෙසේ වුවත් මෙලෙස තේ සඳහා සීනි ඇතුළුව විවිධ ආදේශක භාවිත කිරීමෙන් යම් විධියකින් මෙරට තේ මිලට ගනු ලබන විදේශීය ගැනුම්කරුවන් තේ මිලට ගැනීම ප්‍රතික්ෂේප කළහොත් එය සිලෝන් ටී නාමයට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇතිවන බරපතළ කැලැලක්ද වේ

අනෙක් අතට සමස්ත ජනගහනයේ සියයට පනහක පිරිසක්ම මේ තේ ක්ෂේත්‍රයට අදාළ රැකියාවන්හි නිරත වන්නේය. යම් හෙයකින් මෙරට තේවලට ඇති ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉඩකඩ අහිමි වුවහොත් එය මෙරට ජනතාවගේ ජීවන තත්ත්වයටද ප්‍රබලව බලපෑමක් සිදු කරනු ඇත.

මේ පිළිබඳව කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමරත්න මහතා පැවසුවේ මේ සඳහා තේ මණ්ඩලයේ වහාම මැදිහත්වීමක් සිදුවිය යුතු බවයි. සෙස් අරමුදලේ මුදල් තේ මණ්ඩලය වෙත ලබාදී මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන් වෙත ප්‍රතිපාදන සැලැස්වීම රජය දැන්වත් මැදිහත් විය යුතු බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතාගෙන් විමසූවිට හෙතෙම පැවසුවේ යම්කිසි කර්මාන්තශාලාවක් තේ නිෂ්පාදනයේදී කිසියම් ආදේශකයක් එකතු කර තිබේ නම් එම කර්මාන්තශාලාවේ බලපත්‍රය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට පියවර ගන්නා බවයි. මීට පෙර මෙම ආදේශක අන්තර්ගත වී තිබේද යන්න පිළිබඳව පැහැදිලිවම ඔප්පුකර ගැනීමට තේ මණ්ඩලයට හැකියාවක් නොතිබූ බව පැවැසූ හෙතෙම ගිය මාසයේ සිට පර්යේෂණයන් මඟින් ඒ බව අනාවරණය කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කර තිබෙන බවත් මින් ඉදිරියට එලෙස තේවලට ආදේශක කලවම් කර තේ නිෂ්පාදනයට කිසිදු කර්මාන්තශාලාවකට ඉඩක් නොලැබෙන බවත් පැවැසූ හෙතෙම මේ වන විට එවැනි කර්මාන්තශාලා 53ක් හඳුනාගෙන ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීම සිදුකරගෙන යන බවත් පර්යේෂණවලින් තහවුරු වුවහොත් ඒවා සියල්ලම අවලංගු කිරීමට කටයුතු කිරීමට මණ්ඩයට බලය තිබෙන බවත් වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon