අවදානම් කලාපවල සිටින ජනතාවට උසෙන් අඩු තට්ටු නිවාස ක්‍රමයක් ගැන අවධානය යොමු කරන්න

  👤  3683 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (21).jpg (600×350)

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

වර්ෂාපතනයෙන් හා ගංවතුර හේතුවෙන් විනාශ වූ සහ අවදානම් කලාපයේ සිටින ජනතාවගේ කැමැත්ත පරිදි ඔවුන්ට නිවාස ලබාදීම සඳහා උසෙන් අඩු තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් අත්හදා බැලීමක් ලෙස ඉදිකිරීමට අවධානය යොමු කරන මෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දන්වා සිටී.
නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති වර්ෂාපතන සහ ගංවතුර නිසා සිදු වූ ආපදාව යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමේ ගාල්ල දිස්ත්‍රික් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට මේ බව දැන්වීය.

අග්‍රාමාත්‍යවරයා තවදුරටත් උපදෙස් දුන්නේ ගංවතුර හේතුවෙන් පූර්ණ වශයෙන් හානියට පත්වූ පාසල් හා අත්‍යවශ්‍ය මහාමාර්ග යළි ඉදිකිරීමට ටෙන්ඩර් පටිපාටිවලට හිර නොවී භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට වහාම අවශ්‍ය මුදල් වෙන්කරවා ගෙන අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

විනාශ වූ පොලිස් ස්ථාන නැවත ඉදිකරන විට අවශ්‍ය සේවා පහසුකම් සහිතව දෙමහල් ගොඩනැඟිලි ඉදිකරන ලෙසද අගමැතිවරයා උපදෙස් දුන්නේය.
හානියට පත්වූ ව්‍යාපාරික ස්ථානවල තක්සේරු වාර්තා හැකිතාක් ඉක්මනින් ලබාගෙන දැනට ලබාදෙන සහන වැඩපිළිවෙළ කඩිනමින් ඉදිරියට ගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීමට හා ඔවුන්ගේ අතට මුදල් ලබාදී ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතා බලධාරීන්ට පැවැසීය.
ගවයන්, කුකුළන් ඇති කරමින් තම ජීවනෝපාය ගෙන ගිය ජනතාවගේ ජීවන තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් එම සතුන් ලබාදීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගොවිතැන් කටයුතුවල නියැළුණු ජනතාවට අවශ්‍ය මුදල් අතට ලබාදී ඔවුන්ගේ ගොවිතැන් කටයුතු යථා තත්ත්වයට පත් කරගෙන ගමේ ආර්ථිකය දියුණු කිරීමට පියවර ගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

සෞඛ්‍ය, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම හානියට පත්වූ තේ කර්මාන්තශාලා හිමියන්ට විශාල ප්‍රශ්නයක්ව පවතින රක්ෂණය නොකළ තේ තොග පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාදුන් අග්‍රාමාත්‍යවරයා වසර දෙකක් ඇතුළත දිවයිනේ රෝහල් සඳහා අමතර විදුලිජනක යන්ත්‍ර දෙකක්වත් සැපයීමට පියවර ගන්නා ලෙසද පැවැසීය.

මෙම රැස්වීමට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම උසස් රාජ්‍ය නිලධාරීහු, දේශපාලන නියෝජිතයෝ සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon