මහේන්ද්‍රන් අල්ලන්න අධිකරණය නියෝග කරයි

  👤  3516 readers have read this article !
By mawbima 2018-03-16

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (15දා) වරෙන්තු නිකුත් කළාය.
නීත්‍යනුකූල නොවන පරිදි මහ බැංකු බැඳුම්කර නිකුත් කර රජයට මිලියන 688ක මූල්‍යමය පාඩුවක් සිදුකිරීමේ සිද්ධිය (බැඳුම්කර සිද්ධිය) සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් සඳහා මහෙස්ත්‍රාත්වරිය හිටපු මහ බැංකු අධිපතිවරයාට එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබිණි.

වරෙන්තු සිංහල භාෂාවෙන්ම නිකුත් කරමින් වරෙන්තුවේ පිටපත් ඉංගී්‍රසි භාෂාවෙන් නිකුත් කරන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය වරෙන්තුව ජාත්‍යන්තර පොලිසියට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවේ පිටපතක් ඉංගී්‍රසි භාෂාවෙන් නිකුත් කරනු ලැබුවාය.

බැඳුම්කර සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගතකර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා මේ මස 29 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
හිටපු මහ බැංකු අධිපතිවරයාට බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අවස්ථා දෙකකදී කොටුව මහෙස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කළ අතර දැනට විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපතිවරයාට නොතිසිය භාරදීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නොතිබිණි.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඩී.එච්.එල්. (ච්ඩ්ඹ්) කූරියර් සේවය ඔස්සේ නොතිසි හිටපු මහ බැංකු අධිපතිවරයාට භාරදීමට කටයුතු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය පසුගිය නඩු වාරවලදී නියම කළ අතර නොතිසිය භාරදීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ කර ගැනීමට හා හමුවීමට නොහැකි වීම මත නොතිසි භාරදීමට නොහැකි වූ බව කුරියර් සේවය දන්වා සිටි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. හිටපු මහ බැංකු අධිපතිවරයාට වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග ඉල්ලීම ස¼දහා අදාළ නඩුවේ විමර්ශන නිලධාරියකු වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංක 3 අංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂිකා සංජීවනී කැප්පෙටිගේ අධිකරණය හමුවේ ඉල්ලීමට අදාළව සාක්කි ලබාදුන් අතර එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ ඉහත ක්‍රියාමාර්ගවලට අමතරව නොතිසි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂවරයාගේ ජංගම දුරකතනයෙන් කෙටි පණිවුඩයක් ලෙස සහ ඔහුගේම රාජකාරි පරිගණකයෙන් විද්‍යුත් තැපැල් (ඊමේල්) පණිවුඩයක් ලෙස යොමු කළ බවය.

දුරකතනයෙන් කෙටි පණිවුඩයක් ලෙස යොමු කළ ජංගම නොතිසිය ඔහුට ලැබුණු බවට ජංගම දුරකතන සම්බන්ධතා සැපයුම්කරුගෙන් සනාථ වුණ බව ද ඊමේල් පණිවුඩය ලැබී ඇති බවට විද්‍යුත් පණිවුඩ වාර්තා අනුව සනාථ වූ බව ද ඇය ප්‍රකාශ කර සිටියාය.

නීතිපතිවරයා නියෝජනය කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ ඉල්ලීම සලකා නොතිසිය නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියේ ඉදිරිපත් වූ සියලුම කරුණු සලකා බැලීමේදී අධිකරණය විසින් නිකුත් කළ සිතාසිවලට හෝ නිකුත් කළ දැන්වීම්වලට කීකරු නොවේ යැයි විශ්වාස කළ හැකි කරුණු උපරිමය වී ඇති බවට හා ඔහු නීති කෘත්‍ය මඟහරිමින් සිටින බවට සෑහීමට පත්විය හැකි කරුණු ඉදිරිපත් වී ඇති බවය.
වරෙන්තුවක් නිකුත් කළ හැකි වැරදි හිටපු අධිපතිවරයා සිදුකර ඇති බවට හා බැඳුම්කර නිකුත් කිරීමට අදාළව හිටපු මහ බැංකු අධිපතිවරයා සැකකරුවකු ලෙස නම් කළ හැකි ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් වී ඇති බවද මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර නිකුත් කිරීමට අදාළව සැකකරුවකු ලෙස නම් කර ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම (ර්ථීර්ථීඹ්) වෙනුවෙන් නියෝජිතයකු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා අධිකරණයෙන් කළ ඉල්ලීම පරිදි විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පසුගිය නඩු දිනයේදී නියෝජිතයකු ඉදිරිපත් කිරීමට එකඟ වූ පරිදි නියෝජිතයකු ඉදිරිපත් නොකිරීම මත සමාගම වෙනුවෙන් නියෝජිතයකු ඉදිරිපත් කරන ලෙසට නොතිසි නිකුත් කරන ලෙසට ඉල්ලීමක් කළ අතර නීතිමය කරුණු සම්බන්ධයෙන් පරිශීලනය කර ඉදිරි නඩු දිනයේදී ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදෙන ලෙස දන්වා සිටියාය.

විත්තිය පාර්ශ්වය නියෝජනය කරමින් සැකකාර අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ පර්පචුවල් සමාගමේ ගිණුම් මේ වන විට අත්හිටුවා ඇති බැවින් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිවීම මත ස්වේච්ඡාවෙන් නිලධාරියකු ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන යන අය නියෝජිතයකු ලෙස ඉදිරිපත් කළ හැකි බවය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා එයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කියා සිටියේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස කසුන් පලිසේන නමැත්තා මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබීම මත ඔහුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් නියෝජිතයකු ලෙස ඉදිරිපත් කිරීමෙන් ප්‍රායෝගික ගැටලු මතුවන බැවින් නීතිමය වශයෙන් යෝග්‍ය නොවන බවය.
නීතිය පරිශීලනය කර ඒ පිළිබඳවද ඉදිරි නඩු දිනයේදී නියෝගයක් නිකුත් කරන බව මහෙස්ත්‍රාත්වරිය එහිදී දන්වා සිටියාය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කොට සිටින 2 වැනි සැකකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් සහ 4 වැනි සැකකරු වන කසුන් පලිසේන යන අයගෙන් සිද්ධියට අදාළව වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අතිරේක සොලිසිටර්වරයා නියෝග ඉල්ලා සිටි අතර බැඳුම්කර නිකුතුව හරහා නීත්‍යනුකූලව උපයාගත් මුදලින් සැකකරුවන් දෙදෙනා පෞද්ගලික වත්කම් මිලදී ගැනීම් සහ එම මුදල් ස්ථාවර තැන්පතුවක ආයෝජනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ද එම හේතුව මත ඔවුන් දෙදෙනාගේම වත්කම් බැරකම් සහ මිලදී ගැනීම් සහ වියදම් කිරීම් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම් සම්බන්ධයෙන්ද නීතිය පරිශීලනය කර ඉදිරි නඩු දිනයේදී නියෝගයක් නිකුත් කරන බව දැනුම්දුන් කොටුව මහෙස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව ජංගම දුරකතන සංවාද වාර්තා පරිශීලනය කිරීම සඳහා දුරකතන වාර්තා ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිදුකළ ඉල්ලීමට දුරකතන සමාගම්වල කළමනාකාරීත්වයට එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස නියෝග කර සිටියාය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ලබා ගැනීමට ඉදිරියේදී ක්‍රියා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගයන් 'මව්බිම'ට පැවැසීය.

සිංගප්පූරුවේ සැඟවී සිටින බවට පැවැසෙන අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ කටයුතු සඳහා මෙලෙස රතු නිවේදනයක් ලබා ගත යුතු බවද එම ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

ජාත්‍යන්තර පොලිසියේ මෙරට ශාඛාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත අතර අර්ජුන මහේන්ද්‍රන් රතු නිවේදනය හරහා අත්අඩංගුවට ගෙන 'උදර්පන නීතිය' යටතේ මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ගයන් කියා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon