ප්‍රගතිශීලි ආණ්ඩුවක් හදාගන්න ජනතාවට පාරට බහින්න සිදුවෙලා

  👤  3298 readers have read this article !
By mawbima 2018-03-16

ප්‍රගතිශීලි ජනතාවාදී ආණ්ඩුවක් බිහි කිරීමට ජනතාවට පාරට බැසීමට සිදු වී තිබෙන බව එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා කීවේය.
ඔහු එම අදහස් පළ කළේ 14 වැනිදා එක්සත් සමාජවාදී පක්ෂය සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. නාරාහේන්පිට පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී වැඩිදුරටත් සිරිතුංග ජයසූරිය මහතා මෙසේද පැවැසීය.

අද අපේ රටේ විශාල අවුලක් තිබෙනවා. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් පසුව ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්වුණා. ජනතාව බරපතළ වියවුලකට පත්වී සිටියා. ඒ අතර තමයි මුස්ලිම් විරෝධී සංවිධානාත්මක කැරැල්ලක් ආරම්භ වුණේ.
මේ නිසා අගමැති විරෝධය යටපත් වුණා. ආණ්ඩුවට අස්වැසිල්ලක් වුණා. හදිසි නීතිය තවමත් ඉවත් කරලා නැහැ. මර්දනය තවමත් දියත් වෙනවා.
මේ ජාතිවාදී කැරැල්ල අහම්බෙන් වූ දෙයක් නෙවෙයි. රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ඒ සඳහා වැපිරීම් කළා. වත්මන් ආණ්ඩුව අවුරුදු 3ක් තිස්සේ පොල් ගෑවා පමණයි. ජාතිවාදී ගිනිදැල් නිවන්න මොකුත් කළේ නැහැ.

ආණ්ඩුව රටේ ප්‍රශ්න යටපත් කරන්න මර්දනය දියත් කරන්න, තමන්ගේ ප්‍රශ්න වසා ගන්න යොදා ගන්නවා.
අපි ආණ්ඩුව බලයට පත් කරන්න උදවු කළේ නැහැ. රාජපක්ෂ පරාජය කළ යුතු වුවත් උත්තරය මෛත්‍රිපාල නෙවෙයි කියලා අපි පැහැදිලිවම කිව්වා. නමුත් මේ රටේ ජනතාව අපි කියන අදහස ඇහුවෙ නැහැ.

මේ රටේ ජනතාව යළි කරන්න හදන්නේ හෝද හෝද මඩේ දමනවා වගේ දෙයක්. යම් යම් හේතු සාධක මත ජනතාව මහින්ද රාජපක්ෂ පරාජය කළා. මේ ආණ්ඩුව පරාජය කරන්නත් ජනතාව බලාගෙන ඉන්නවා.

ඒත් මේකට උත්තරය යළිත් මහින්ද රාජපක්ෂ මහත්තය බලයට ගෙන ඒම නෙවෙයි. අලුත් ප්‍රගතිශීලී බලවේගයක් ගොඩනැඟෙන්නට ඕන.
තාවකාලිකව මුස්ලිම් විරෝධය යටපත් වුණත් අළු යට ගිනි වගේ නැඟී සිටින්න පුළුවන්. බංකොලොත් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට මුළු රටම කිරිබත්ගොඩක් කර ගැනීමට අවශ්‍ය වී තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon