නව ඡන්ද ක්‍රමය ජාතික අපරාධයක්

  👤  3258 readers have read this article !
By mawbima 2018-03-16

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා හඳුන්වා දුන් නව මැතිවරණ ක්‍රමය ජාතික අපරාධයක් බවත් එය වහාම වෙනස් විය යුතු බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

මෙම මැතිවරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට පෑනෙන් ත්‍රස්තවාදය ඇති කරනවා වැනි ක්‍රමයක් බව පවසන හෙතෙම මෙම ක්‍රමය යටතේ නියෝජිතයන් පත් කිරීමේදී බරපතළ ගැටලු ඇතිවන බැවින් මේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බව සඳහන් කරයි.

දේශපාලන මත දරන සුළු පක්ෂවල නායකයන් තමන්ට නියෝජනයක් ලැබෙන බැවින් මේ ක්‍රමයට කැමැති වීමට ඉඩ ඇති නමුත් මේ ක්‍රමය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බවත් මේ ක්‍රමයට කිසියම් කෙනකු කැමැති වේ නම් එය හරියට ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට ආයුධ ගන්නවා වැනි ක්‍රියාවක් බවත් එහෙයින් මේ ක්‍රමයට අදාළ පනත සංශෝධනය කර එහි දුර්වලතා ඉවත් කර මේ ක්‍රමය කඩිනමින් වෙනස් කළ යුතු බවත් අවධාරණය කරයි.

කුරුණෑගල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

පාසල් ගිය ඕනෑම පොඩි දරුවකුට පවා අවබෝධ වෙනවා ශ්‍රී ලංකාවේ පළාත් පාලන සභිකයන් 4,000 සිට 8,000ක් දක්වා වැඩිවීම නරක දෙයක් කියලා. ඒක රටට දරන්න බැරි දෙයක් කියා ඕනෑම අයෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඇතැම් පළාත් පාලන ආයතනවලට මේ අලුත් සභිකයන්ට පහසුකම් දෙන්න වත්කමක් නැහැ. ඇතැම් තැන්වල ඔවුන්ට රැස්වෙන්න සුදුසු ඉඩකඩ නැහැ. සභාව රැස්වෙන විට මන්ත්‍රිවරුන්ට කතා කිරීමට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද අලුතෙන් සකස් කරන්න වෙලා තිබෙනවා. පෙරදින සභා වාරයකට පැටිස් 4,000ක් තේ 4,000ක් දුන්නා නම් ඉදිරියේදී එය 8,000 බැගින් දිය යුතු වෙනවා. මේක ජාතික ධනය විනාශ වීමක්. ඒ නිසා මේ ක්‍රමය වහාම වෙනස් කළයුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon