රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියකිරීමේ කුමන්ත්‍රණය ආණ්ඩුව යළිත් තහවුරු කරලා

  👤  3162 readers have read this article !
By mawbima 2018-03-16

හර්ෂනී අර්සකුලරත්න

සති දෙකකට වැඩි කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වීමට ඉඩහරිමින් රාජ්‍ය විශ්වවිද්‍යාල දියකර හැරීමේ කුමන්ත්‍රණය ආණ්ඩුව යළි යළිත් තහවුරු කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී ඇති බවත් මේ වනවිට ඒවායේ අධ්‍යාපන කටයුතු හා පර්යේෂණ කටයුතු නතර වී ඇතැම් පර්යේෂණ සඳහා යොදාගත් සාම්පල පවා විනාශවෙමින් පවතින තත්ත්වයක් යටතේ උසස් අධ්‍යාපන බලධාරීන් මීට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හෙළා දකින බවත් එම සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අරුණ කුමාර පැවැසුවේය.

රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීමට සුදුසුකම් නොලබන ශිෂ්‍යයන්ට රජයේ මැදිහත් වීමෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය බැංකු ණය පහසුකම් රාජ්‍ය බැංකු හරහා ලබාදීමට උත්සුක වන ආණ්ඩුව ඇතුළු උසස් අධ්‍යාපන බලධාරීන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අඩාල වීම සම්බන්ධව දක්වන නිහඬතාවෙන් එම කුමන්ත්‍රණකාරී මෙහෙයුම ගැන රතු එළියක් නිකුත් කර ඇති බවද හෙතෙම පැවැසීය.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එසේ හෙළි කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල දියකර හැරීමේ එක් අංගයක් ලෙස අනධ්‍යයන සේවක ගැටලුව ඔඩු දිවීමට ඉඩහැර බලාසිටීම හැඳින්විය හැකි බවද සඳහන් කළේය.

ආණ්ඩුව සිය නව ලිබරල්වාදී සංකල්ප ක්‍රියාවේ නැංවීමට මෙවැනි සිදුවීම් දඩමීමා කරගනිමින් ක්‍රියාත්මක වන බවත් ප්‍රතිපත්ති හරහා කළ නොහැකි දේ වහෙන් ඔරෝ ප්‍රකාශ කරමින් නිදහස් අධ්‍යාපනය හා රාජ්‍ය විශ්වවිද්‍යාල බාල්දු කිරීමේ මෙහෙයුමක නිරත වන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ එම සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවැසුවේ ලං.ග.ම දියකර හැරීමට ගත් පියවරම මෙවරද ආණ්ඩුව ක්‍රියාවේ නංවමින් සිටින බවත් විශ්වවිද්‍යාල පද්ධතියම ලාබ ලබන පද්ධතියක් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්ය.

කඩිනමින් අනධ්‍යයන සේවකයන් හා සාකච්ඡා කොට නිසි විසඳුම් ලබාදීමට සිය සංගමය ආණ්ඩුවට බල කරන බවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප -
දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon