‘ජිනීවා මිථ්‍යාව’ සනාථ කළ හැකි නව පනත් දෙකක් සම්මත කරගෙන

  👤  3334 readers have read this article !
By mawbima 2018-03-16

'ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර ඇත' යන ජිනීවා මිථ්‍යාව සනාථ කළ හැකි නව පනත් දෙකක් මේ වන විට සම්මත කර ගෙන ඇති මේ සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව, ජාතික බුද්ධි බළකායේ නිලධාරීන් රැසක් දඩයම් කිරීමේ මෙහෙයුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අරඹා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර අනාවරණය කර සිටියේය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (15දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

'පෙබරවාරි 10 වැනිදා ලත් මැතිවරණ පරාජයෙන් පස්සේ, තෙල්දෙණිය ගින්න සහ ෆේස්බුක් තහනම මැද්දේ රණවිරු දඩයම සහ බුද්ධි අංශ අඩපණ කිරීම වේගවත් කරන්න ආණ්ඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ෂානි අබේසේකරලාට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව බුද්ධි අංශ දඩයමේ නව වටය පසුගිය මාර්තු 13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළා. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම දියත් වන විට වන්නි ආඥා බල ප්‍රදේශය, ආරක්ෂක කලාපය සහ ආරක්ෂක නොවන කලාපය ලෙස කොටස් දෙකකට වෙන් කර තිබුණා. මේ කලාප දෙක වෙන් වූයේ ඕමන්තෙන්. ආරක්ෂක කලාපයේ සිට තමයි අපේ ආරක්ෂක හමුදා, ආරක්ෂක නොවන කලාපයේ යුද මෙහෙයුම් දියත් කෙළේ. ආරක්ෂක කලාපයේ කේන්ද්‍රය වූයේ වවුනියාවයි. වවුනියා ගුවන් හමුදා කඳවුර සහ ඊට යාබද යුද හමුදා කඳවුර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ලෙස පිහිටුවලා එතැන සිට තමයි මුළු මහත් වන්නියම මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ කළේ.

ඒ ගුවන් හමුදා ක¼දවුරට යාබද යුද හමුදා කඳවුර හැඳින්වූයේ 'ජෝසප් කඳවුර' නමින්. ඒ ජෝසප් කඳවුරේ තමයි ජාතික බුද්ධි බළකායේ පළමු ඛණ්ඩය ස්ථානගත වී සිටියේ. උතුරු පළාත හෙවත් වන්නියේ සියලු හමුදා මෙහෙයුම්වලට අදාළ බුද්ධි මෙහෙයුම් දියත් කළේ ඉහත කී ජෝසප් කඳවුරේ සිටයි. ඒ නිසාම දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේත් ඔවුන්ගේ හාම්පුතුන් වන බටහිර බලවේගවලත් බරපතළ විරෝධයට සහ වෛරයට, මේ ජෝසප් කඳවුරේ සිටි බුද්ධි මෙහෙයුම් නිලධාරීන් සහ සෙසු නිලයන් පාත්‍ර වී සිටියා. 2015 ජනවාරි 8 වැනිදා බලයට පත් වූ මේ රූකඩ ආණ්ඩුවට ඉහත කී බෙදුම්වාදී ඩයස්පෝරාව සහ බටහිර බලවතුන් බලපෑම් කළා. 'වහාම ජෝසප් ක¼දවුරේ සිටි බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්න. ඔවුන් හෙළිදරව් කරන්න. ඔවුන්ට අතුරුදන් කිරීමේ චෝදනා එල්ල කරන්න' කියා. කොටි සංවිධානයේ නූතන අනුප්‍රාප්තිකයන් වන ආර්. සම්පන්දන්ලා, විග්නේශ්වරන්ලා මේ ආණ්ඩුවට එවැනිම බලපෑමක් සිදු කළා.

ඒ බලපෑම්වලට හිස නමපු මේ ආණ්ඩුව, එක්සත් ජාතීන්ගේ විශේෂ මානව හිමිකම් නියෝජිත කණ්ඩායමකට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩකඩ හදලා දුන්නා 'ශ්‍රී ලංකාව තුළ සිදු වූ අතුරුදන් කිරීම් ගැන සොයන්න. බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින අය ගැන සොයන්න' කියමින් තමයි මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත කණ්ඩායම ආවේ. ඔවුන් 2017 දෙසැම්බර් 04 සිට දෙසැම්බර් 15 දක්වා ශ්‍රී ලංකාව තුළ සිටියා. අවසාන දින දෙක තුළ තමන්ගේ මූලික ඉලක්කය සපුරා ගැනීමේ වුවමනාවෙන් ඔවුන් ජෝසප් කඳවුරට ගියා. 'බලහත්කාරයෙන් පිරිස් රඳවා ගෙන ඉන්නවාද?' කියා බැලුවා. එම කඳවුරේ සියලු කටයුතු ඔවුන්ගේ නිරන්තර අවධානයට යොමු වුණා. ජොසේ අන්තෝනියෝ, ගුවේරා මුන්ඩේස්, ලේ ටුමේ, එලීනා ස්ටෙන්ටියර් යන නියෝජිතයන් සිවු දෙනා තමයි මේ කටයුත්තට ශ්‍රී ලංකාවට ආවේ. ඔවුන්ගේ වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ෂානි අබේසේකරලා පසුගිය මාර්ගු 13 වැනිදා සිට වැඩ අරඹලා තිබෙනවා. ඔවුන් එදින ජෝසප් ක¼දවුරේ සේවය කළ දැනට විශ්‍රාමික සහ දැනටමත් ක්‍රියාන්විත රාජකාරියේ නිරත නිලධාරීන් 5 දෙනකු කැඳවා කටඋත්තර ගෙන තිබෙනවා.

මේ ආණ්ඩුව දැන් එතැනින් නතර වී නැහැ. ජෝසප් කඳවුරේ සේවය කළ සියලුම බුද්ධි අංශ නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. 'ලිපියෙහි සඳහන් පොලිස් ස්ථානයට ගොස් කටඋත්තරයක් දෙන්න' කියා. මේ මහා බුද්ධි අංශ දඩයම මාර්තු 19 වැනිදා සිට ඇරැඹෙනවා.

මේ ආණ්ඩුව 2018 මාර්තු 7 වැනිදා වන විට රණවිරු දඩයම වෙනුවෙන්ම නීති දෙකක් හදලා තිබෙනවා. එක නීතියක් තමයි. 'අතුරුන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත'. ඒ නීතිය යටතේ දැන් කොළඹ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. එහි කොමසාරිස්වරුන් ලෙස කොටි ධේනුවක් වන නිමල්කා ප්‍රනාන්දු ඇතුළු බෙදුම්වාදී එන්ජීඕ නඩයක් පත් කර අවසන්. තෙල්දෙණියේ ගින්න මැද්දේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද නොතකා පසුගියදා සම්මත කර ගත් 'බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත' රණවිරු දඩයම් සඳහා හදපු අනෙක් නීතියයි. ඒ පනත් දෙක මඟින් 'ශ්‍රී ලංකාවේ ආරක්ෂ හමුදා යුද අපරාධ සිදු කර ඇත' යන ජිනීවා මිථ්‍යාව සනාථ කර ගත හැකියි. එසේ තිබියදී තමයි තවත් වටයකින් බුද්ධි අංශ නිලධාරීන් දඩයම ආරම්භ කර ඇත්තේ. මේ කනගාටුදායක තත්ත්වයට එරෙහිව මේ රටේ කෘතගුණ දත් ජනතාව පෙළගැස්වීමට ජාතික නිදහස් පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය ලෙස අප කටයුතු කරනවා. රණවිරු දඩයමට එරෙහිව පෙරට එන ලෙස ලක් මාතාවගේ කෘතගුණ දත් සියලු දූ පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon