ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජපාන - ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෝ ප්‍රතිඥා දෙති

  👤  3057 readers have read this article !
By mawbima 2018-03-16

ශ්‍රී ලංකාවට ණය නොවන ආධාර ලබාදීමට හැකි සෑම අවස්ථාවකම කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහාය ලබාදීමේදී හැකි සෑම අවස්ථාවකම ණය නොවන ආධාර ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව පැවැත්වුණු අතර එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම ජපානය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ලබාදෙන සහාය අඛණ්ඩව ඉදිරියට ලබාදෙන බවටද මෙහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හමුවේ සහතික විය.
එහිදී වරාය සංවර්ධනයට ප්‍රමුඛත්වයක් ලබාදෙන අතර දැනටමත් කොළඹ සහ ත්‍රිකුණාමලය වරායේ සංවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන සහාය පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනය සඳහා අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීමට සූදානම් බව පැවැසූ ජපාන අග්‍රාමාත්‍යවරයා අධිවේගී මාර්ග පද්ධතියේ ඉදිකිරීම් සඳහාද සහාය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
ජපානයේ විශේෂ වූ කාර්මික වැඩසටහන්වල දායකත්වය
ශ්‍රී ලංකාවට ලබාදීමට හැකි බවද ජපාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාගැනීම සඳහා සහාය වන ලෙස ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමටද යහපත් ප්‍රතිචාරය පළ කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සඳහා සහාය ලබාදීමටද ජපාන අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළේය.
ආරක්ෂක සහ නාවික කටයුතුවලදී ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහිදී සිහිපත් කළ ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සාගර කලාපයේ රටවල් අතරින් ජපාන රජයේ එම සහාය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් බවද කියා සිටියේය.
ඒ පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී ජපාන රජය සහ අග්‍රාමාත්‍යවරයා වෙත සිය විශේෂ ස්තුතිය පිරිනැමීය.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේදී රාජ්‍ය අංශයේ පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය සමඟ ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ පටන් පවතින සමීප මිත්‍රත්වයේ තවත් නැවුම් පියවරක් සනිටුහන් වනු ඇති බවයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට රජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් කිරීම පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා පසුගිය ජී - 7 සමුළුවෙන් ශක්තිමත් වූ ජපාන ශ්‍රී ලංකා සබඳතාවලට මෙම සංචාරයෙන් අනතුරුව තවත් තිර පදනමක් සැකසෙනු ඇති බව කියා සිටියේය. එමෙන්ම පසුගිය ජී-7 සමුළුවේ සාර්ථකත්වයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත ස්තුතිය පිරිනැමීමටද මෙය අවස්ථාවක් කර ගත්තේය.
ඊයේ දින අකිහිතෝ අධිරාජ්‍යයා බැහැදුටු අවස්ථාවද ගෞරවයෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා එහිදී එතුමා විසින් සිදුකරන ලද ආදරණීය සහ උණුසුම් පිළිගැනීම පිළිබඳවද තම කෘතවේදීත්වය පළ කෙළේය.

නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනය මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලී ලෙස පිළිගනු ලැබීය.

රාජ්‍ය නායක දෙපළ අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා අවසානයේ ජපාන - ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබඳ නව ගිවිසුමකටද අස්සන් තැබිණි.
ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාව අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිත නිල පිළිගැනීමේ උත්සවය ඉතා අභිමානවත් අයුරින් පැවත්වුණේ දෙරටේ බැඳීම මැනවින් විදහා දක්වමිනි.
නිල පිළිගැනීමේ උත්සවය අවසානයේ නායක දෙපළ සුහද කතා බහකට එක්විය.

අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස ප්‍රධාන සාකච්ඡා ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර එහිදී නායකයන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon