මුහුදු ගිය තිදෙනා එනතෙක් ඉරණවිල ධීවර ගමක්ම සුසුම් හෙළයි

  👤  3240 readers have read this article !
By mawbima 2018-03-16

ආණමඩුව - ඒකනායක
නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

වයඹ මුහුදු තීරය ක්‍රමයෙන් රළු වන්නට පටන් ගත්තේය. වසරකට වරක් තම මුහුදු තීරය ප්‍රචණ්ඩ වන බව වයඹ මුහුදු තීරයේ ධීවරයෝ හොඳින්ම අවබෝධ කරගෙන සිටියහ. සෑම වසරකම මුල් කාලය තුළ හලාවත අවට ධීවරයන්ට වාරකන් සමය උදාවන්නේය. වාරකන් කාලයේ වයඹ මුහුදු තීරයේ ධීවර කර්මාන්තයෙන් ඉවත්වී නැඟෙනහිර මුහුදේ ධීවර කටයුතුවලට ගමන් කිරීම අතීතයේ සිටම වයඹ ධීවර ශ්‍රමිකයන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත විය. වසරේ එක් කාර්තුවක හෝ දෙකක වයඹ මුහුදු තීරයේ රැඳෙන අතර අනෙක් කාලසීමාවේ නැඟෙනහිර මුහුදින් මත්ස්‍ය අස්වැන්න නෙළා ගනියි.

හලාවත ඉරණවිල ජනතාව ධීවර කර්මාන්තය පරම්පරාවෙන් උරුමකරගත් ජන කොට්ඨාසයකි. මහ සයුරට ඉතා ආසන්නයේ පිහිටි ඉරණවිල සෑම පවුලකම පිරිමි පාර්ශ්වය ධීවර කර්මාන්තයේ නිරත වූහ.

මිරැන්ඩා ඇතුළු පිරිස ධීවර කර්මාන්තයේ නිරතවෙමින් සිය ජීවන වියදම සරිකර ගන්නට මුහුද සමඟ ජීවිත කාලයේම පොරබදන ඉරණවිල පදිංචිකරුවන්ය. මිල්රාජ් මිරැන්ඩාට සිටියේ එකම පුතෙකි. තවමත් විසිහතර වැනි වියේ පසුවන ඔහු නිදුර්දන් මිරැන්ඩා විය. මිරැන්ඩාගේ පවුලේ දියණියන් දෙදෙනෙකි. ඒ ඩිරකිසිනි මිරැන්ඩා හා ක්‍රිෂාන්ති මිරැන්ඩායි. මේ දියණියන් දෙදෙනා අතර එකම පුතා වූ නිදුර්දන් සියලු දෙනාගේ ආදරයට පත්වෙමින් හැදී වැඩුණේය. දුව පැන ඇවිද්දේය. තරුණයකු වනවිට නිදුර්දන් ද තම පියා සමඟ වයඹ වෙරළ තීරය ආක්‍රමණය කළේය. තාත්තා සමඟ ඉරණවිල අවට මුහුදේ බෝට්ටුවේ ගොස් ධීවර කර්මාන්තයේ යෙදෙමින් අත්දැකීම් එක්කර ගත්තේය.

මහ සයුරේ රළ පහරේ රළු ස්වභාවය මිරැන්ඩා තම එකම පුතාට කියාදුන්නේය. මහ සාගරයේ ප්‍රචණ්ඩ බව, නිශ්චල බව, බියකරු බව, ශාන්ත බව, සුළගේ ක්‍රියාකාරිත්වය, මුහුදු රස්සාවේ බැරෑරුම්කම,
දුෂ්කරතාවය වයඹ මුහුදේදී මිරැන්ඩා තම පුතාට අවබෝධ කර දුන්නේය. ඒ සියල්ල වටහා ගනිමින් නිදුර්දන් තම පියාත්, බාප්පාත් තවත් ධීවර පිරිසක් සමඟ වයඹ මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙමින් අත්දැකීම් එකතු කර ගනිමින් ජීවන ගමන්මඟ ආරම්භ කරමින් සිටියේය.

හලාවත ඉරණවිලට වාරකන් සමය එළැඹීමත් සමඟ මිල්රාජ් නැඟෙනහිර වෙරළ තීරයට හා උතුරු මුහුදු තීරය අවට දැල් රස්සාවට යෑමට තීරණය කළේය. ධීවරයන් මුහුදේ මාළු ඇල්ලීම දැල් රස්සාව ලෙස හඳුන්වයි. වාරකන් සමයේ ගෙදරට වී සිටීමෙන් කිසිදු ආදායමක් නොමැති නිසා දරු පවුල නඩත්තු කිරීමට සුළු මුදලක් හෝ සොයාගත යුතු හෙයින් මිල්රාජ් තම එකම පුතු නිදුර්දන් හා තම සහෝදරයා වූ එම්මානුවෙල්ද සමඟ ධීවර කණ්ඩායමක් එකතු කරගෙන මුලතිව් බලා ගමන් කළේය.
අතීතයේ මෙන් නොව විවිධ
දුෂ්කරතා නිසා මුහුදු රස්සාව තුළ පවතින අවිනිශ්චිතතාව කාලගුණික ගැටලු තුළින් තීව්‍ර වන හෙයින් ඩිරෙක්සිනි සහ ක්‍රිෂාන්ති තම පියාත් මල්ලිත් මුලතිව් යෑම ගැන සිටියේ දෙගිඩියාවෙනි.

හලාවත - කරුකුපනේ පදිංචිව සිටි මිල්රාජ් මිරැන්ඩා (අවු.50) ඔහුගේ සහෝදරයා වන එම්මානුවෙල් මිරැන්ඩා (අවු.48) සහ මිල්රාජ්ගේ එකම පිරිමි දරුවා වන නිදුර්දන් මිරැන්ඩා (අවු.24) මේ වනවිට අතුරුදන් වී සිටින පිරිස වේ. පසුගිය මාසයේ 12 වැනිදා හලාවත සිට මුලතිව් බලාගොස් ඇති ඔවුන් මුලතිව් වෙරළ තීරයේ තාවකාලික වාඩි සාදාගෙන ධීවර කර්මාන්තයට සූදානම් වී ඇත. ධීවර කර්මාන්තයේ නිරත වීම සඳහා වන අවසරය ලබාගැනීමට ඔවුන් ටික දිනක් වෙහෙස මහන්සි වී ඇත. ධීවර අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අංශවල අවසරය ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය 09 වැනිදාය. එම අවසරය ඇතිව ඔවුහු ඉකුත් 12 වැනිදා
"සතිෂ් පුතා" එක්දින යාත්‍රාවෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් ඇත.

දින කිහිපයක් මුලතිව් ධීවර වාඩියේ ගත කළ ඉරණවිල ධීවර පිරිස මුහුදු රළ, මුහුදු සුළඟ සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසුගිය 12දා උදේ පාන්දර මහ සයුරට පියමං කළේ තම දැල් රස්සාවටය. ධීවර යාත්‍රා සමූහයක් සමඟ මිරැන්ඩාගේ ධීවර යාත්‍රාවද තම පුතු හා සහෝදරයාද සමඟ ගමන් කළේ දියඹටය.
මහ සයුරේ තම පියාටත් තම එකම සහෝදරයාටත් තම බාප්පාටත් අත්වූ ඉරණම
පිළිබඳව පැහැදිලි කළ මිල්රාජ්ගේ දියණිය ඩිරක්සිනි මිරැන්ඩා,

"අනේ මගෙ තාත්තත් මගෙ මල්ලිත් අපේ පවුල ජීවත් කරන්න මුහුදු රස්සාවට ගියේ. මගේ මල්ලි අපේ පවුලේ එකම කොල්ලා අපිට කොච්චර ආදරේද. අක්කේ බයවෙන්න එපා. දැන් මට මුහුද පුරුදුයි. තාත්තත් එක්කනෙ යන්නෙ. අපි මේ සැරේ හුඟක් කල් ඉන්නෙ නෑ. ඉක්මනට එනවා. අක්කලා දෙන්නා පරිස්සමින් ඉන්න. බයවෙන්න එපා. අපි කට්ටියමනෙ යන්නෙ. ගෙදර ඉඳලා හරියන්නෙ නැහැ. අක්කෙ එහෙ හරි රස්සාවට යන්න ඕනෑ. මගෙ අක්කලා බයවෙන්න එපා. මට කතා කරන්න. එහෙම කියලා මගෙ මල්ලි ගියේ. තවමත් හොයනවා අනේ ඒත් වෙච්ච දෙයක් නැහැ."

"සාමාන්‍යයෙන් උදේ පාන්දර ගියහම දවල් වෙනකොට ආපහු ගොඩ බිමට එන්න පුළුවන්. ඒත් අපේ කට්ටිය තවම ගොඩ බිමට ඇවිත් නැහැ. ඒ අයට මොනවද වෙලා තියෙන්නේ කියන්න දන්න කෙනකුත් නැහැ. අපේ පවුල්වල හැම කෙනෙක්ම කරන්නේ ධීවර කර්මාන්තය තමයි. මේ දවස්වල මුලතිව් මුහුදේ මාළු හොඳට අහුවෙන නිසා තමයි තාත්තයි, මල්ලියි, බාප්පයි එහේ ගියේ. අම්මත් මල්ලි අලුත කැන්දාගෙන ආපු බිරියත් මේ ගමනට එකතු වුණා. ඒ අය දැන් මුලතිව්වලට වෙලා කන්නේ බොන්නේ නැතිව මුහුද දිහා බලාගෙන ඉන්නවා. අපි කියන්නේ මොන ක්‍රමයට හරි කමක් නැහැ අපේ කට්ටියව හොයලා දෙන්න කියන එකයි." ඇය නැවතත් ඉකි ගසන්නට වූවාය.
මිල්රාජ් මිරැන්ඩා මහතාගේ දයාබර බිරිය ඩේසි රානි කුරේරා මහත්මිය,

"අනේ දෙයියනේ මොකක්ද මේ සිද්ධවුණු විපත. මගේ දරුවා මගේ එකම පුතා, මගේ මහත්තයා, සහෝදරයා මේ තුන්දෙනාම අද නෑ. මේ විපත කොහොම දරාගන්නද? මගේ පුතාගේ මුහුණ ආයේ කවදා දකින්නද? මගේ සුදු පුතා නැතිව මම කොහොමද ජීවිතය ගෙවන්නේ?
කරුකුපනේ ධීවර සමිතියේ සභාපති රෝයි ප්‍රනාන්දු මහතාද අපිට හමුවිය ඔහු මෙසේ කියා සිටියේය.

"සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම මේ දවස්වලට අපේ ගමේ අය මුලතිව්වලට යනවා මාළු අල්ලන්න. ඒක සිරිතක්. ඒ පුරුද්දට තමයි ඔය මේ පාරත් ගිහින් තියෙන්නේ. මේ වෙනකොට නාවික හමුදාවේ අධිවේගී යාත්‍රා 03ක් නැතිවුණ ධීවරයන් හොයන්න පිටත් වෙලා තියෙනවා. අපි ධීවර අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා ගුවනින් මේ අයව හොයන්න කියලා. දැන ගන්න ලැබිලා තියෙන ආකාරයට හෙලිකොප්ටර් යානයක් පවා ඒ සඳහා යොදවලා තියෙනවා. ඒ අතර අපේ ධීවරයන් බෝට්ටු 50ක් පමණ යොදාගෙන මේ අයව හොයනවා. නමුත් තවම ආරංචියක් නැහැ.

14 වැනිදා සවස වනවිට මුලතිව් සිට යාපනය - කට්ටකාඩු ප්‍රදේශය දක්වා මෙහෙයුම් කරලා තියෙනවා. පසුගිය 12 වැනිදා සුළඟත්, දියකඩත් තිබිලා තියෙන්නේ ඉන්දියාව පැත්තට වෙන්න. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ බෝට්ටුව හුළඟට අහුවෙලා ඉන්දියාව පැත්තට පාවෙලා යන්න ඇති කියලයි. කොහොම වුණත් රජය මේ වනවිට මේ සම්බන්ධයෙන් ඉන්දියන් රජය දැනුවත් කරලා කියලත් දැන ගන්න තියෙනවා.

අතුරුදන් වෙලා ඉන්න අයට මුහුද හොඳට හුරුයි. මොකද ඒ අය දන්න කියන දවසේ ඉඳලම කරන්නෙ මුහුදු රස්සාව. අපිටත් පුදුමෙ ඇයි මෙහෙම දෙයක් වුණේ කියන එකයි." ඔහු කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon