'මවුගුණ' කවි බණ කියමින් හදවත් හඬවන ඉන්දීවරී සහ සකුන්තල

  👤  3581 readers have read this article !
By mawbima 2018-03-16

සිය ආදරණීය මවට හදිසියේ වැලඳුණු දරුණු හෘදයාබාධයකින් ඇයව ගලවා ගැනීමට තම පියා සමඟ මවු ගුණ කවි බණ ගායනා කරමින් රට වටේ ගොස් රුපියල් ශත එකතු කරන අපූරු දරු දෙදෙනකු ඉබ්බාගමුව, කුඹුක්ගැටේ, කෝම්බුව පුරාණ රජමහා විහාරයේ දී පසුගිය 10 වැනිදා 'මවුබිමට' මුණ ගැසිණි.

පොළොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි ඉන්දීවරී සකුන්තලා එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 13 වසර ඉගෙනුම ලබන සිසුවියකි. ඇයගේ එකම සොහොයුරා ඉඳුවර සකුන්තල ද ප්‍රදේශයේ වෙනත් පාසලක 5 වසර ඉගෙනුම ලබයි. මේ අක්ක මලෝ යුවළ තම පියා වන තිලක් ගාමිණී මහතා සමඟින් ඉකුත් 10 වැනිදා වයඹ පළාතේ පිහිටි ඓතිහාසික කෝම්බුව රජමහා විහාරයට පැමිණෙන්නේ සුමධුර මවුගුණ කවි බණ සුගායනයක් සිදු කිරීමටය. ඒ කෝම්බුව රජමහා විහාරයේ විහාරාධිපති ගල්ගමුව ශ්‍රී සීලානන්ද මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී හාතිගමුවේ අනුරුද්ධ හිමියන් ප්‍රමුඛ සිරිසුගත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් හා ඔවුන්ගේ මවුපියන් විසින් කළ ආරාධනයකට අනුවය.

කෝම්බුව රජමහා විහාර භූමියෙහි තැනූ කුඩා මණ්ඩපයක සිට පැමිණ සිටි සිය ගණනක් ජනතාව ඉදිරියේ මේ සහෝදර දෙපල,
මහමෙර තරම් කරුණාවයි මගෙ අම්මා
මට කිසි දුකක් දුන්නේ නැති මගෙ අම්මා
අම්මට නැතත් මගෙ කුස පිරවූ අම්මා
මගෙ අම්මා වගේමයි ලොව සැම අම්මා

යනුවෙන් අතිශය මධුර හ¾ඩින් පැය දෙකකට වඩා වැඩි කාලයක් කවි බණෙන් මවුගුණ ගයනා කළේ පැමිණ සිටි පිරිස මෝහනයට පත් කරවමිනි. ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට තාලය ගෙන ගයන සියලු පද පේළි රචනා කොට ඇත්තේ පියා වන තිලක් ගාමිණී මහතා විසින්ය. මේ කවි බණ ගායනාව අතරතුර බොහෝ දෙනකු කාටත් හොරා තම දෑසින් ගැලූ කඳුළු කැට පිසදා ගත්තේ ඉන්දීවරී හා සකුන්තල ගයන මවුගුණ ගායනාව ඉතා සංවේදී වූ නිසා විය යුතුය.
මෙසේ මවුගුණ කවි බණ ගයමින් ලංකාව පුරා යන මොවුන් දෙදෙනාගේ එකම වෑයම දරුණු හෘදයාබාධයකින් පීඩා විඳින සිය ආදරණීය මව ඉන්ද්‍රානි දීපා මහත්මිය එම රෝගයෙන් ගලවා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමය.

වෛද්‍ය වාර්තා අනුව ඉන්ද්‍රානි දීපා මහත්මියට වැලඳී ඇත්තේ හෘද වස්තුවෙන් ශරීරයට අවශ්‍ය රුධිරය නිවැරැදිව පොම්ප කිරීමේ දුර්වලතාවකි. මේ රෝගය හේතුවෙන් ඇය පපුව රිදීම, අධික හිසරදය, ශරීර අප්‍රාණිකත්වය හා අසීමිත ලෙස ශරීරය මහත්වීම ඇතුළු තවත් රෝගාබාධ කිහිපයකින් සෑම තත්ත්පරයකම දැඩි ලෙස පීඩා විඳින්නීය.
වසර කිහිපයක් තිස්සේ පවතින මේ රෝගය කොළඹ ජාතික රෝහල, මහනුවර ශික්‍ෂණ රෝහල, පොළොන්නරුව මහ රෝහල ඇතුළු ලොකු කුඩා රෝහල් ගණනාවකින් ප්‍රතිකාර කළ නමුත් ඇයගේ රෝගය සුවවී නොමැත. අද වනවිට එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ඇයගේ පවුලේ ආර්ථිකය සහමුලින් කඩා වැටීමය.
පවුලේ කැණිමඬල වූ ඉන්ද්‍රානි දීපා මහත්මියගේ මේ අවාසනාවන්ත රෝගී තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩගෙන ඇය සුවපත් කර ගැනීමට අවශ්‍ය වන්නේ මුදල්ය. ඒ සඳහා තිලක් ගාමිණී මහතා අද තම දියණිය හා පුතා සමඟ ලංකාව පුරා යමින් මවුගුණ කවි බණ දේශනා පවත්වයි. එයින් ලැබෙන මුදල් ඉන්ද්‍රානී මහත්මියගේ රෝගය සුවපත් කර ගැනීමට විය පැහැදම් කරයි.

තම මවගේ අවාසනාවන්ත රෝගී තත්ත්වයෙන් ඇය මුදා ගැනීමට මුදල් සෙවීමේ අරමුණින් තම පියා කුඩා සොහොයුරා සමඟින් සිදුකරන මේ මවුගුණ කවිබණ ගායනාව සම්බන්ධයෙන් 'මව්බිම'ට අදහස් දක්වමින් පවුලේ එකම දියණිය වන ඉන්දීවරී සකුන්තලා මෙසේ පැවැසුවාය.
'අපේ තාත්තා ඉංග්‍රීසි, සිංහල, දෙමළ භාෂා තුනම උගන්වපු පෞද්ගලික පන්ති ගුරුවරයෙක්. තාත්තා පොළොන්නරුව හා අවට ප්‍රදේශවල පෞද්ගලික පන්ති කරලා හොයපු මුදල්වලින් අම්මයි, මල්ලියි, මමයි ගොඩක් සතුටින් ජීවත් වුණා. ඇත්තටම අපිට කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ. හොඳ ගෙදරක් තිබුණා. වාහනයක් තිබුණා. ඔහොම ඉන්න අතරේ අපේ අම්මා හදිසියේම අසනීප වුණා. අපි තාම පාසල් යන නිසා තාත්ත තමයි අම්මා බලාගෙන ගෙදර ඉන්නේ. ඒ හින්දා තාත්තට පන්ති කරන්න විදියක් නෑ.
අද වෙනකොට අම්මගේ අසනීපෙට වියදම් කරන්න තාත්තට ශක්තියක් නෑ. ඒ නිසයි අපි මෙහෙම කවිබණ කියලා මුදල් එකතු කරන්නේ. කවිබණ කියලා හම්බ කරන හැම සතයක්ම අපි අම්මගේ ලෙඩේ හොඳ කරගන්න වියදම් කරනවා'

ඔවුන් තිදෙනා දරන උත්සාහයට ලංකාවාසී ඕනෑම කෙනකුට දායක විය හැකිය.
ගමේ පන්සලේ, පාසලේ, දහම් පාසලේ, ආයතනයේ ඇතුළු ඕනෑම ස්ථානයක කවි බණක් සංවිධානය කොට ඉන්දීවරී හා සකුන්තලට ඇරැයුම් කළ හැකිය. ඉඳුවර හා සකුන්තලා විසින් ගයන මවුගුණ බලය කියැවෙන කවි බණ දෙසුම වෙනුවෙන් යම් මුදලක් ඔවුන්ට පරිත්‍යාග කළ හැකිය. එය තම මව සුවපත් කර ගැනීමට ඔවුන් දරන වෑයමට දැවැන්ත ශක්තියක් වනු නොඅනුමානය.

එමෙන්ම අංක 312, පුලස්තිගම, පොළොන්නරුව යන ලිපිනයට පැමිණ හෝ 076 8947062, 072 5218070 යන දුරකතන අංකවලට අමතා ඉඳුවර හා සකුන්තලා සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි අතර ඉන්ද්‍රානි දීපා මහත්මිය සුවපත් කර ගැනීමට යම් මුදල් පරිත්‍යාග කළ හැකි අයෙක් වෙත්නම් පොළොන්නරුව කොමර්ෂල් බැංකුවේ එච්.එල්. තිලක් ගාමිණී ජයරත්න යන නමින් ඇති 8880031328 යන ගිණුම් අංකයට මුදල් බැරකොට ඔවුන්ගේ උත්සාහයට දායක විය හැකිය.

කුරුණෑගල - සම්පත් සෙනවිරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon