විභාගය නැවැත්වූවාට අල්ලස් කොමිසමෙන් පෙත්සමක්

  👤  2812 readers have read this article !
By mawbima 2018-03-15

හිටපු අගවිනිසුරුවරයකුට හා වත්මන්හි සේවාගත අභියාචනාධිකරණ විනිසුරුවරයකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුවක් විභාග කිරීම අත්හිටුවමින් ඉකුත් 26 වැනිදා දෙන ලද ශේ්‍රෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගයට අභියෝග කරමින් එම කොමිසම ඊයේ (14දා) ශේ්‍රෂ්ඨාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනුකරනු ලැබීය.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සහ වත්මන් අභියාචනාධිකරණ විනිසුරුවරයකු වන ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා 2010දී නීතිපති හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුර දරමින් දෙන ලද නීති උපදෙසක් දෝෂ සහිත බව පවසමින් ඔවුන්ට එරෙහිව වත්මන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉකුත් පෙබරවාරි මස 09 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දූෂණ චෝදනා නඟමින් නඩුවක් පවරා ඇත.
එම ක්‍රියාමාර්ගයට එරෙහිව එකී විනිසුරුවරුන් දෙදෙනාත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ශේ්‍රෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් "රිට්" පෙත්සම් 03ක් ගොනු කරනු ලැබීය.

ඉකුත් පෙබරවාරි මස 26 වැනි දින එකී පෙත්සම් විමසුමට ලක්කළ ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට නියමිතව ඇති එකී නඩු විභාගය ශේ‍ර්ෂ්ඨාධිකරණ කොමිසම් විභාගය නිමවන තෙක් අත්හිටුවනු ලැබීය.
එලෙස ශේ්‍රෂ්ඨාධිකරණය විසින් දෙන ලද එම අතුරු නියෝගයට අභියෝග කරමින් ඊයේ (14දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකරන ලද අතුරු පෙත්සමෙන් ප්‍රකාශක කොට ඇත්තේ පෙබරවාරි මස 26 වැනි දින දෙන ලද එකී නියෝගය දෝෂ සහිත බවත්, එදින ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ මුලසුන හෙබවූ වැඩබලන අගවිනිසුරු ඊවා වනසුන්දර විනිසුරුවරියද 2010දී ඉහත ප්‍රශ්නගත සිද්ධිය සිදුවන අවධියේ එකී රාජකාරි වපසරිය තුළ ක්‍රියාකාරීව සිටි බැවින් එම නියෝගය දුන් එකී විනිශ්චය මණ්ඩලය නියෝජනය කිරීම ප්‍රශ්න සහගත බවත්ය.

එම තත්ත්වය මත එකී නියෝගය බලරහිත වන බැවින් එය අත්හිටුවන ලෙසත් එකී පෙත්සම් විභාගය නැවත විනිසුරුවන් 05 දෙනකුට නොඅඩු පූර්ණ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විමසුමට ලක්කිරීමට නියෝග කරන ලෙසත් එමඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ඇතුළු සාමාජික කොමසාරිස්වරුන් සිවුදෙනා සහ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාද වගඋත්තරකාර පෙත්සම්කරුවන් වශයෙන් ඉදිරිපත් වෙමින් මෙම පෙත්සම ගොනුකොට ඇත.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එහි පෙත්සම්කාර වගඋත්තරකරු ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාත්, එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතාත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උදය රොහාන් ද සිල්වා මහතා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසත් එම පෙත්සමෙන් නම් කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon