ආයුර්වේදයේ ලොක්කෝ දෙන්නෙක් අල්ලස් දැලේ

  👤  2747 readers have read this article !
By mawbima 2018-03-15

ආයුර්වේද නිෂ්පාදන ව්‍යාපාරිකයකුට 2018 වසර සඳහා බලපත්‍රය අනුමත කර දෙන බව පවසා නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළදී රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබාගත් එම දෙපාර්තමේන්තුවේ සහකාර නීති නිලධාරිවරයකු හා සූත්‍ර කමිටුවේ සාමාජිකයකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.

ආයුර්වේද නිෂ්පාදන කටයුතුවල යෙදෙන දංඕවිට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු 2018 වසර සඳහා ලබාගත යුතු බලපත්‍රය මහරගම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් අනුමත කරවා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා ව්‍යාපාරිකයා අමතා අදාළ ගොනුව කමිටුවට ඉදිරිපත් කොට අනුමත කර දීමට හැකි බව පවසා ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාදෙන ලෙස ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.

එම නිලධාරීන් දෙදෙනා අල්ලස් ඉල්ලීම පිළිබඳව ව්‍යාපාරිකයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව එහි නිලධාරීන්ගේ උපදෙස් මත එකී මුදල රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා අඩු කරගෙන තිබූ බව පොලිසිය කියයි.
එකී මුදලින් රුපියල් පනස් දහසක් අත්තිකාරම් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තුන්වැනි මහලේ නීති සහකාර කාර්යාලය තුළදී ලබා ගනිද්දී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.

සැකකරුවන් දෙදෙනා නයිනමඩම හා පස්යාල පදිංචිකරුවන්ය. ඔවුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon