සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගුවන් ගිලන් රථ සේවයක්

  👤  2746 readers have read this article !
By mawbima 2018-03-15

කුමුදු උපුල් ශාන්ත

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා යොදා ගනිමින් මුළු රටම ආවරණය වන පරිදි ගුවන් ගිලන් රථ සේවයක් ආරම්භ කිරීමට ගුවන් හමුදාවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

එවැනි ගිලන් රථ සේවයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව හා වැදගත්කම පිළිබඳ යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ගුවන් හමුදාව වෙත දන්වා ඇති බවද ඒ අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු ආකාරය පිළිබඳ දැක්වෙන කරුණු කාරණා ඇතුළත් ගුවන් හමුදාවේ නිගමනයන් ගුවන් හමුදාව මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ වනවිටද දන්වා යවා ඇති බවද අනාවරණය වෙයි.

හදිසි ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් ඉතා කෙටි කාලසීමාවක් තුළදී අදාළ රෝහල් වෙත ඇතුළත් කර ඔවුන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදී ඔවුන්ගේ ජීවිත ගලවා ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වී ඇති අතර විශේෂයෙන් දුර පළාත්වල රෝගීන් කොළඹ මහ රෝහල වැනි ස්ථාන වෙත මහා මාර්ග ඔස්සේ ගිලන් රථ මඟින් රැගෙන යන අවස්ථාවන්හිදී ඇතිවන ප්‍රමාදය හා අවහිරතාවන් පිළිබඳ සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවද අනාවරණය වෙයි.

මේ පිළිබඳව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි අවශ්‍යතාවක් තිබෙන බවත් ඒ අනුව මෙය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සාකච්ඡා මේ වනවිට දෙපාර්ශ්වය අතර සිදුවෙමින් පවතින බවත් එකී සාකච්ඡාවල ප්‍රතිඵල අනුව ඉතා කඩිනමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon