වෙනස් කරන්නට ඇමැතිගෙන් නියෝග

  👤  2935 readers have read this article !
By mawbima 2018-03-15

සිරිනාම රාජපක්‍ෂ

එළැඹෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ලේකම්වරයා ලෙස කටයතු කළ ගාමිණී ජයසිංහ මහතාත්, එම සම්මේලනයේම සභාපතිවරයා වූ සුමිත් එදිරිසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන කළමනාකරුවකු ලෙසත් පත් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව (එන්.ඕ.සී.) තීරණය කර තිබුණද එම තීරණය වෙනස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කරන ලදැයි "මව්බිම"ට වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ එන්.ඕ.සී. නිලධාරීන් අතර පෙරේදා (13දා) පැවැති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එකී නියෝගය කරන ලදැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ අප කළ විමසීමකදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා "ශ්‍රී ලංකා හොකී සම්මේලනය කියන්නේ අධිකරණයෙන් වාරණයක් පනවන ලද ක්‍රීඩා සංගමයක්. ඔවුන්ගේ තනතුරු වාරණයට ලක්ව ඇති නිසා එහි සභාපති හා ලේකම් විධියට කටයුතු කළ අය කණ්ඩායමේ ප්‍රධානි හා කළමනාකරු වැනි ඉහළ තනතුරුවලට පත්කරලා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යැවීම මට අනුමත කරන්න බැහැ. ඒ නිසා මම එන්.ඕ.සී. යට දැනුම් දුන්නා එම තනතුරු සඳහා වෙනත් අය පත්කරන්න කියලා" යනුවෙන් පැවැසීය.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයට අනුබද්ධිත ක්‍රීඩා සමාජයක් වන කොළඹ හොකී සංගමයේ සභාපතිවරයා සහ උප ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා හොකී සම්මේලන නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය අත්හිටුවන ලෙසට ඉල්ලා ගොනුකරන ලද නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා හොකී සම්මේලනයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලදී. 2018 මාර්තු 7දා නිකුත් කරන ලද එම වාරණ නියෝගයට අනුව සහ ශ්‍රී ලංකා හොකී සම්මේලන සභාපති, ලේකම් සහ නියෝජ්‍ය උප සභාපති පෙරුමාල් විශ්වනාදන් යන අයගේ හොකී ක්‍රීඩාව සම්බන්ධ ක්‍රියාකාරකම් අත්හිටුවා ඇත.

තවද පැමිණිලිකරුවන් එකී නඩු විභාගයේදී පෙන්වා දී තිබුණේ ඔවුන් හොකී සම්මේලනයේ එම තනතුරු දැරූ සමයේ විවිධ විසමාචාර හා අක්‍රමිකතා සිදුවූ බවත්, ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවට විශාල පරිහානියක් සිදුවූ බවත්ය. 2018 ජනවාරි මස 8 දින නිකුත් කර ඇති 2053/7 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟිින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා හොකී සම්මේලන නිසි බලධරයා ලෙස පත්කර සිටියද ඉහත කී හොකී සම්මේලන නිලධාරීන් එම නියෝග නොතකා කටයුතු කර ඇති බවද පැමිණිලිකරුවෝ පෙන්වා දී තිබිණි. එසේම හිටපු හොකී සංගම් සභාපතිවරයා පසුගිය ඔලිම්පික් නිලවරණයේදී නිලධාරියකු ලෙස පත්වීමද නීති විරෝධී බවට පැමිණිලිකරුවෝ චෝදනා කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon