කන්ද උඩරට නිල් මහා සටන හෙට - අනිද්දා මහනුවර අස්ගිරියේදී

  👤  2724 readers have read this article !
By mawbima 2018-03-15

ඉෂාන් රශ්මිත

මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසල් ද්විත්වයක් වන ත්‍රිත්ව සහ ශාන්ත අන්තෝනි දෙවිදුහල් අතර වන 101 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට (16දා) සහ අනිද්දා (17දා) දෙදින අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

"කන්ද උඩරට නිල් මහා සටන" ලෙස විරුදාවලිය ලද, මෙම තරගය පසුගිය 9 සහ 10 දෙදින පැවැත්වීමට නියමිතව තිබුණද මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මෙම සති අන්තය දක්වා කල් දමනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලෝක වාර්තා රැසක් පිහිටුවූ මුත්තයියා මුරලිදරන්, ශ්‍රී ලංකා පළමු ටෙස්ට් පිලේ කඩුලු රකින්නා වූ මහේෂ් ගුණතිලක, පියල් විජේතුංග ආදී ක්‍රීඩකයන් රැසක් ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් පිලට එක්වූ අතර, ලෝකපූජිත පිතිකරුවකු වන කුමාර් සංගක්කාර, රවි රත්නායක, නිරෝෂන් දික්වැල්ල, සචිත් පතිරණ සහ ළහිරු කුමාර ආදී ක්‍රීඩකයන් රැසක් ත්‍රිත්ව විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් පිලට එක්වූහ.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කරමින් වාර්තා අතරට එක්වූ හසිත බෝයගොඩ මෙම 101 වැනි මහා ක්‍රිකට් තරගයේදී ත්‍රිත්ව පිල මෙහෙයවනු ලබන අතර, ජනිඳු හිම්සර මෙවර ශාන්ත අන්තෝනි පිල මෙහෙයවයි.
මෙතෙක් පැවැති තරග 100 අතුරින් තරග 23ක ජය ලබා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කන්ද උඩරට නිල් මහා සටනේ වැඩි ගෞරව හිමිකර ගෙන ඇති අතර, ශාන්ත අන්තෝනි පිල මෙම තරග ඉතිහාසයේ ජය ලබා ඇත්තේ තරග 12කදී පමණි. අනෙක් තරග සියල්ල ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.
ත්‍රිත්ව පිල අවසන් වරට 2012 වසරේදී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේ ජය ලබා ඇති අතර, උමේෂ් ද අල්විස්ගේ නායකත්වය යටතේ 1992 වසරේදී ශාන්ත අන්තෝනි පිල අවසන් වරට ජය ලබා ඇත.
ත්‍රිත්ව විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙස දෙදින තරගාවලියේ දෙවැනි වටයටත්, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය පරදවා අර්ධ අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලැබීය. එක්දින තරගාවලියේද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ නායක හසිත බෝයගොඩ, හසින්ත ජයසූරිය, පුබුදු බණ්ඩාර, අභිෂේක් ආනන්දකුමාර් සහ අවිෂ්ක සේනාධීර පිතිකරුවන් ලෙසත්, උප නායක ට්‍රෙවොන් වීරසූරිය තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයකු ලෙසත්, ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ රශ්මික ඩිල්ෂාන්, විමුක්ති නෙතුමාල් සහ කවිෂ්ක සේනාධීර පන්දු යවන්නන් ලෙසත් ශාන්ත අන්තෝනි පිලට දස්කම් දක්වනු ඇතැයි විශ්වාසය තබා සිටියි.

මෙවර තරගවාරයේදී පිත්තෙන් දස්කම් දැක්වූ උප නායක තීක්ෂ ගුණසිංහ, සුනෙර ජයසිංහ, මොහොමඩ් අබ්සර් සහ ඩියොන් ස්ටවුටර් මෙන්ම තුන් ඉරියව් දස්කම් දැක්වූ නවෝද්‍ය විජේකුමාර, ජනිඳු හිම්සර, කල්හාර සේනාරත්න යන ක්‍රීඩකයන් ද, පන්දුවෙන් දස්කම් දැක්වූ නිම්නක ජයතිලක සහ ගිහාන් අචින්ත ත්‍රිත්ව පිලට අභියෝගයක් එල්ල කරනු ඇත.

ශාන්ත අන්තෝනි විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙස දෙදින තරගාවලියේ දෙවැනි වටයටත්, කළුතර විද්‍යාලය පරදවා අර්ධ අවසන් පූර්ව වටයටත් සුදුසුකම් ලැබීය. එක්දින තරගාවලියේද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon