සිංහල අම්මලාට දරුවො හදන්න කියන අය එකතු වෙලා කිරිපිටි ටිකවත් අරගෙන දෙන්න

  👤  2873 readers have read this article !
By mawbima 2018-03-15

පාරේ බෝඩ් එකක් අල්ලගෙන හිටියට සිංහල ජාතිය වැඩි වෙන්නේ නෑ. ඔය ෆේස්බුක්වල කෑ ගහපු තරුණයෝ සිංහලයන්ට දරුවෙක් හදන්න කියලා පණිවුඩය දෙන්න. ගමේ දුප්පත් අම්මාට තාත්තාට දරුවෙක් පෝෂණය කරන්න බැරි නම් ෆේස්බුක් එකේ කෑ ගහන තරුණයෝ ටික එකතු වෙලා දරුවෙක් පෝෂණය කරන්න කිරි පිටි ටික අරන් දෙන්න. දරුවෙක් පාසල් යවන්න අධ්‍යාපන උපකරණ අරන් දෙන්න. ගම්වල වැඩි වැඩියෙන් ළමයින් හදන අම්මලා තාත්තලාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ක්‍රමයක් හදන්න. සිංහල ජාතිය වැඩි කරන්න දරුවෙක් එකතු කරන්න හයියක් දෙන්න කියලා ෆේස්බුක් එකේ කෑ ගහන තරුණයන්ගෙන් අපි ඉල්ලනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (13දා) රාජාංගණය යාය 15 විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම හා පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්ය.
එහිදී මහ ලේකම්වරයා මෙසේද පැවැසීය.

ලංකාව කියන්නේ බෞද්ධ රටක්. අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා. හොඳ උරුමයක් තියෙනවා. අපේ ඉතිහාසය කොච්චර වටිනවා වුණත් හොඳ උරුමකම් තියෙන ජාතියක් වුණත් අපේ පොඩි වරදකුත් තියෙනවා. හොඳත්, නරකත් දෙකම අපි වැලඳ ගන්නවා. හොඳට වඩා නරක තමයි අපි අරගෙන තියෙන්නේ. ලෝකයේ අපි තරම් බණ අහපු ජාතියක් නැතිව ඇති. හැබැයි ඒ තරම් බණ අහන රටේම රෑට රූපවාහිනිය බලනකොට මරණම පෙන්වනවා දෙකක්, තුනක්. ඒවා ස්වාභාවික විපත් නම් කමක් නෑ. හැබැයි සමහර වෙලාවට එතැනින් එහාට ගියපු දේවලුත් අපිට අහන්න දකින්න ලැබෙනවා.

අම්මෙකුට තාත්තෙකුට තමන්ගේ දරුවෙක් වැරැදි පාරක යනවා නම් කරබාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. හැබැයි පසුගිය කාලයේ හොඳ හෝ නරක දේවල් සිදු වුණා. ඒ නරක දේවල් සිද්ධ වුණේ අපි ලබා දුන්න ප්‍රජාත්‍රන්තවාදය වැරැදි විදිහට පාවිච්චි කරන්න ගිහින්. අර නරක ගොඩ යට කරන්න හොඳ ගොඩට පුළුවන් වෙයි කියලා අපි හිතුවා. හැබැයි අවසානයේ සිද්ධ වුණේ හොඳ ගොඩ යටකරගෙන අර නරක ගොඩ මේ හැම දේම පාලනය කරන තත්ත්වයට පත් වුණා.

පසුගිය කාලයේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හේතුවෙන් මේ රටේ විශාල විනාශයන් සිද්ධ වුණා. අපි ජාතීන් කිහිපයක් බොහෝම සමඟියෙන් හිටපු රටක් මේක. ආයේ පාරක් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර අවිශ්වාසයක් ගොඩනඟා ගන්න අපිට ඕනකමක් නෑ. කියන්න කනගාටුයි කොච්චර හොඳ අය හිටියත්, නරක කිහිපදෙනෙක් හිටියහම ඇති මුළු සමාජයම ගඳ ගස්වන්න. ඒ අයට මහා විනාශයක් කිරීමේ අරමුණක් විතරයි තියෙන්නේ. මේ අතරේ සියලු ජාතීන්වල අයම හිටියා. හැබැයි ඒ අයට ජාතියක් නෑ. ඒ අයට ඕනකම තිබුණේ මොකක් හෝ මතයක් හදලා චරිතයක් බවට පත්වීම පමණයි. වඳ පෙති කතාවලින් මුළා වෙමින් ෆේස්බුක්වල ගෑගහන්නේ නැතිව දරුවෙක් දෙන්නෙක් වැඩියෙන් හදාගමු.

පුංචි පවුල රත්තරන් නෙවෙයි. තවත් දරුවෙක් පවුලට එකතු කරගන්න පවුල රත්තරන් කියන දේ සමාජයට එකතු කරමු. අපිට මහ ජාතිය විදිහට එතකොට ඉන්න පුළුවන්.

මැදවච්චිය - ගයාන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon