දේදුනු විප්ලවයක් කරන බව කියපු ආණ්ඩුව ජාතීන් අතර අවිශ්වාසය වැපුරුවා

  👤  2905 readers have read this article !
By mawbima 2018-03-15

මහින්ද රාජපක්ෂට ‍ෙදාස් පවරමින් දේදුනු විප්ලවයක් කිරීමට බලයට පැමිණි ආණ්ඩුව සියලු දෙනා අතර අවිශ්වාසය වැපුරූ බවත් එවැනි පරිසරයක් තුළ එකිනෙකාට එරෙහිව ආයුධ අතට ගැනීම පුදුමයක් නොවන බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය ඩිලන්ත විතානගේ පවසයි.
ඔහු මේ බව පැවැසුවේ පෙරේදා (13දා) රාජගිරිය බොදුබල සේනා ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද පැවැසීය.

පසුගියදා ඇතිවූ සිද්ධියේදී ජනාධිපතිව පේන්න නැතිව ගියා. ඡන්දෙ කාලෙ රට වටේ ගිය අගමැති පේන්න නැතිව ගියා. පළාත් පාලන මැතිවරණයක් තිබ්බා මැතිවරණ කොමසාරිස් පේන්නෙ නෑ. එවැනි අවස්ථාවක මිනිස්සු නීතිය අතට ගන්න එක සාධාරණයි. ඒක හරිද නැද්ද කියන දේ නෙවෙයි මම කියන්නේ. රට අරාජික වූ පසුබිමක් තුළ මිනිසුන් තුළ විවිධ, විවිධ තත්ත්වයන් ඇතිවෙනවා. මෙතැනදි ඒවත් හොයලා බැලිය යුතුයි.

යහපාලනයේ සඟරජුන් වීමට වෙර දරන දඹර අමිල හාමුදුරුවො පසුගියදා මාධ්‍ය ඔස්සේ තර්ජන කළා. එය අප දකින්නේ යහපාලන ස්වරූපයේ තර්ජනයක් ලෙසයි. මේ අතර අපි දකිනවා භයානක තත්ත්වයක්. උන්වහන්සේ මේ කියන්නේ හමුදාවට රට භාරගන්න කියලද කියලත් හිතෙනවා. එතැනදි ජනාධිපතිවරයා වසලයෙක්, හොරෙක් කියලත් කියනවා. දහස් ගණන් අත්අඩංගුවට ගන්න කියලත් කියනවා. රට තුළ විවිධ පාර්ශ්වයන් බෙදී යෑමේ අන්තවාදය හිස එසවීමේ තර්ජනයක් පවතිනවා. අපි මේ කතා කරන්නේ රට බෙදී යෑම වළක්වන්න මැදිහත් වෙන්න, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, රටේ දියුණුව සාමය සංහිඳියාව ඇතිකරන්න මිස වෙනයම් කාරණාවකට නෙවෙයි.
ෆේස්බුක් කියන්නේ විශාල සමාජ මෙහෙවරක් කළ හැක්කක්. නමුත් අද ෆේස්බුක්වලින් ආශීර්වාදය ලබා බලයට පත්වුණු ෆේස්බුක් ආණ්ඩුව අද ෆේස්බුක් වහලා රට පාලනය කරන්න යන තත්ත්වය තුළ ඒ සඳහා අද භයානක මර්දනයක් යොදා තිබෙනවා.

මේ ෆේස්බුක් තහනම, අවිධිමත්. අත්අඩංගුවට ගැනීම්, නීතිය ක්‍රියාත්මක කිරීමේ ස්වරූපය තුළ තිබෙන වැරැදි නිසා අද පැහැදිලිවම ජනතාව තුළ විශාල බියක් නිර්මාණය වෙමින් පවතිනවා. සිංහලයෝ හැටියට ඥානසාර හාමුදුරුවො ප්‍රකාශ කළා අපි ලෑස්තියි නිවෙන්න, අපි ලෑස්තියි නිවන්න. හැබැයි අපි මුස්ලිම් අන්තවාදී නායකයන්ටත්, ආණ්ඩුවටත් කියනවා නිවෙන්න සහ නිවන්න ලැහැස්ති වෙන්න කියලා.

මෙවැනි ගැටලුවලදී දකින්න තියෙන ප්‍රධාන දෙයක් තමයි බෝල පාස් කිරීම. අලුත්ගම සිද්ධිය සම්බන්ධව රාජිත කියනවා ඒක මහින්දලා කළා කියලා. ඒ අය කියනවා නෑ මේක රාජිතලා, චම්පිකලා කළා කියලා. මේක විහිළුවක්. අදත් උත්සාහ කරනවා මේකට දේශපාලනය ගාවන්න. අපිට ලොකු ගැටලුවක් තියෙනවා ඔය ආයුධ ගන්නවා කියපු බදියුදීන්ලා, හකීම්ලා මේ යටගැසීම් පිටිපස්සේ ඉන්නවද කියලා. ඒ වගේම බෞද්ධයන්ට සමාව ගන්න කියන ලැජ්ජ නැති කිරිඇල්ල මහත්තයා මේව පිටුපස්සේ ඉන්නවද කියලා.

චන්ද්‍රිකා මැතිනියගෙ ඉඳලා, රනිල් වික්‍රමසිංහලා, මනෝ ගනේෂන්ලා සංහිඳියාව ඇති කරන්න හදන්නේ සිංහලයො, බෞද්ධයො වැඩි පිරිසක් තරහ කරගෙන සුළු පිරිසක් සතුටු කරන්න. ගාමිණී වියන්ගොඩ අහනවා ඥානසාර හාමුදුරුවො මොකටද නුවර මළ ගෙවල්වල යන්නෙ කියලා. සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ පොලිසියට. ඥානසාර හාමුදුරුවො සිවිල් පුරවැසියෙක් පමණයි. මළ ගේක යෑමට අයිතියක් නැද්ද..? සංහිඳියාව ඇතිකළ යුතු නමුත් මේක ඇති කරන්න චන්ද්‍රිකාටත්, රනිල්ටත්, මෛත්‍රිටත් බැහැ කියලා පේනවා. ඒක හරියට කරන්න මහින්දටත් බැරිවුණා.

ඒ නිසා මේ රටේ බහුතරයක් වන සිංහල බෞද්ධයාට හිතකර ව්‍යවස්ථාවක් තමයි රටට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම බහුතර සිංහල බෞද්ධයාට හිතකර සංහිඳියා වැඩපිළිවෙළක් තමයි අවශ්‍ය වෙන්නේ.

හර්ෂනී අර්සකුලරත්න
ඡායාරූප - උදේෂ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon